9. දානමහප්ඵල සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි සාපෙඛො යනු තෘෂ්ණා සහිත වූයේයි, පටිබද්ධවිත්තො යනු විපාකයෙහි බැඳුණු සිතැත්තේයි, සන්නිධිපෙඛො යනු නිධාන අපේක්ෂා ඇත්තේම වීයි, පෙච්ච යනු පරලොවට ගොස් ද යනුයි, තං කම්මං ඛෙපෙත්වා යනු එම කර්‍ම විපාකය ගෙවායි, ඉද්ධිං යනු විපාක ඍද්ධියයි, යසං යන පිරිවර සම්පත්තියයි, ආධිපච්චං යනු දෙටුබවට හේතුවූයි, ආගන්තා ඉත්‍ථතතං යනු මේ පංචස්කන්ධයෙහි ස්ත්‍රී බවට යළි පැමිණෙන්නේයි, එහිම උපත ඇත්තේ ද, මතු මත්තෙහි උපත ඇත්තේ ද නොවේ යටට යන්නේම වේයයි අරුත්ය. සාහු දානං යනු දීම නම්වූ මෙය මනාව ලබන ලද්දකි, සොඳුරුය. තානි මහායඤ්ඤාති යනු ගින්නෙන් වෙඬරු දීකිරි, මීපැනි ආදියෙන් නිමාවට ගිය ඒ මහාදානයෝයි, චිත්තාලඞ්කාරං චිත්තපරික්ඛාරං යනු සමථ විදර්‍ශනා සිතට අලංකාර වූයේ හා පිරිවර වූයේයි, බ්‍රහ්මකායිකානං දෙවානං සහව්‍යතං යනු එහි දානයෙන් ඉපදීමට නොහැකිය. යම් හෙයකින් එය සමථ විදර්‍ශනා සිතට අලංකාර වූයේද එහෙයින් ඒ දානයෙන් අලංකාර කරන ලද සිතෙන් ධ්‍යානය ද ආර්‍යයමාර්‍ගය ද උපදවා ධ්‍යානයෙන් එහි උපදියි. අනාගාමී හොති යන ධ්‍යානානාගාමී නම් වෙයි, අනාගන්තා ඉත්‍ථත්තං යනු යළි ස්ත්‍රීභාවයට නොඑන්නේ මත්තෙහි උපදින්නේ හෝ එහි උපදින්නෙක් හෝ වී එහිම පිරිනිවෙයි. මෙසේ මේ දානයන්හි පළමුවැන්න තණ්හුත්තරිය දානය ද දෙවැන්න චිත්තීකාරදානය ද තෙවැන්න හිරොත්තප්ප දානය ද සිවුවැන්න නිරවසෙස දානය ද පස්වැන්න දක්ඛිණෙය්‍ය දානය ද සවැන්න සොමනස්සූපවිචාර දානය ද සත්වැන්න අලංකාරපරිවාර දානය ද නම් වේ.
10. නන්දමාතා සූත්‍ර වර්ණනාව
දසවැන්න අර්‍ත්‍ථොත්පත්ති (කරුණක් එළඹීම්) වශයෙන් දේශනා කරන ලදි. ශාස්තෲන් වහන්සේ වනාහි විසූවස් ඇති සේක් පවරා දෙඅගසවුවන් අතහැර දක්‍ෂිණාගිරියට චාරිකා කරන්නෙමැයි පිටත්වූ සේක. පසේනදි කොසොල් රජ, අනේපිඬු ගෘහපති, විශාඛා උවැසිය හා අන් බොහෝ දෙනා ද භාග්‍යවතුන් වහන්සේ නැවැත්වීමට අපොහොසත් වූහ. අනේපිඬු ගෘහපතිතුමා ශාස්තෲන් වහන්සේ නැවැත්වීමට නොහැකිවීමියි රහසින් (තනිව) සිතමින් හුන්නේය. ඉක්බිති පුන්නා නම්වූ දැස්ස ඔහු දැක “කිමෙක්ද ස්වාමීනි, පෙර මෙන් ඔබතුමාගේ ඉඳුරෝ පැහැපත් නොවන්නාහු මන්දැ”යි ඇසුවාය, “එසේය, පුණ්ණාවනි, ශාස්තෲන් වහන්සේ චාරිකාවෙහි වඩිනසේක් මම උන්වහන්සේ නැවැත්වීමට අපොහොසත් වීමි, යළි ඉක්මණින් ආපසු වඩින සේක්ද, නැත්දැයි දැනගැනීමට නොහැකිය. එහෙයින් මම සිතමින් හුන්නෙමියි” කීවේය. “ඉදින් මම දශබලයන් වහන්සේ නවත්වන්නෙම් නම් මට කුමක් කරන්නෙහිදැ”යි ඕ ඇසුවාය. “ඔබ නිදහස් වූවක කරන්නෙමි”. ඕතොමෝ ගොස් ශාස්තෲන් වැඳ ස්වාමීනි, නවතිනු මැනවැයි කීවාය. “මගේ නැවතීම හේතුවෙන් නුඹ කුමක් කරන්නෙහිදැ”යි ඇසූ සේක. “ස්වාමීනි නුඹවහන්සේ මගේ වහල්බව දන්නා සේක. අන්කිසිවක් කළ නොහැක්කෙමි. සරණයෙහි පිහිටා පන්සිල් රකින්නෙමි”යි ඕ කීවාය. මැනව, මැනව පුණ්ණාවෙනියි ශාස්තෲන් වහන්සේ ධර්‍ම ගෞරවයෙන් කියන ලද එක් වචනයකින්ම නැවතුණු සේක. “මහණෙනි තථාගත තෙමේ ධර්‍මය ගරුකොට ඇත්තේය, ධර්‍මගෞරවය ඇත්තේය”යි යන මෙය (එහෙයින්) කියන ලදි.
ශාස්තෲන් වහන්සේ නැවතී දෙව්රම් මහ වෙහෙරට වැඩිසේක. මහජනයා පුණ්ණාට දහස් ගණන් සාධුකාර දුන්නේය. ශාස්තෲන් වහන්සේ ඒ මහජන රැස්වීමෙහි දම්දෙසූ සේක. අසූසාර දහසක් ප්‍රාණීහු අමාපැන් බීවාහුය. පුණ්ණා ද (අනේපිඬු) සිටු විසින් අනුදන්නා ලද්දී භික්ෂුණි අසපුවකට ගොස් පැවිදි වූවාය. සම්බුදුන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම අමතා “මම යම් දෙසකට චාරිකාවෙහි නික්මුණෙම් එහි නොයමි. නුඹලා නුඹලාගේ පිරිස සමග එදෙසට චාරිකාවෙහි යහුයි පවසා පිටත්කොට යැවූ සේක. මේ අර්‍ත්‍ථොත්පත්තියෙහි “එකං සමයං ආයස්මා සාරිපුත්තො” යනාදිය කියන ලදි.
එහි වෙළුකණ්ටකී යනු වෙඑකණ්ටක නම් නුවර වැසියෝයි, එනුවර පවුර ආරක්ෂාවීම සඳහා පවුර කෙළවරින් හුණ වවන ලද්දේය. එබැවින් එනුවරට වෙඑකණ්ටක යැයි නමක් විය. පාරායනං යනු නිවන සංඛ්‍යාත පරතෙරට යොමු වී ඇති බැවින් ලද ව්‍යවහාරය ඇති ධර්‍මයයි. සරෙන භාසති යනු සත්බුමු පහයෙහි මතුමහල් තලයෙහි මනාව සංවිධානය කරන ලද ආරක්ෂිත ස්ථානයක හුන්නී සමවත් බෙලෙන් රෑකල ගෙවා සමවතින් නැඟිට මේ රාත්‍රියෙන් ඉතිරි කාලය කවර ඇල්මකින් වසන්නෙම්දැයි සිතා දහම් ඇල්මෙනැයි කළ සනිටුහන් ඇත්තී තුන් පලයට පත් ආර්ය ශ්‍රාවිකාතොමෝ ගාථා දෙසිය පණහක් ඇති පාරායන සූත්‍රය මිහිරි හඬින් කියයි. අස්සොසි ඛො යනු අහසෙහි වූ විමන් පරිහරණය කොට ඒ පහයෙහි මත්තෙහි යන මගින් නාරිවාහන (ගැහැනියක විසින් උසුලාගෙන යන) යානයක නැඟී යන්නා වූ තැනැත්තෙක් ඇසීය. කථාපරියොසානං ආගමයමානො අට්ඨාසි යනු යහළුව මේ කවර හඬක්දැයි අසා නන්දමාතා උවැසියගේ ස්වර බිඳින හඬයැයි කීකල්හි බැස මෙය කීවේය යන මේ දෙසුම් කෙළවර බලමින් නුදුරු තැනක අහසෙහි සිටියේය.