10. නන්දමාතා සූත්‍ර වර්ණනාව
දසවැන්න අර්‍ත්‍ථොත්පත්ති (කරුණක් එළඹීම්) වශයෙන් දේශනා කරන ලදි. ශාස්තෲන් වහන්සේ වනාහි විසූවස් ඇති සේක් පවරා දෙඅගසවුවන් අතහැර දක්‍ෂිණාගිරියට චාරිකා කරන්නෙමැයි පිටත්වූ සේක. පසේනදි කොසොල් රජ, අනේපිඬු ගෘහපති, විශාඛා උවැසිය හා අන් බොහෝ දෙනා ද භාග්‍යවතුන් වහන්සේ නැවැත්වීමට අපොහොසත් වූහ. අනේපිඬු ගෘහපතිතුමා ශාස්තෲන් වහන්සේ නැවැත්වීමට නොහැකිවීමියි රහසින් (තනිව) සිතමින් හුන්නේය. ඉක්බිති පුන්නා නම්වූ දැස්ස ඔහු දැක “කිමෙක්ද ස්වාමීනි, පෙර මෙන් ඔබතුමාගේ ඉඳුරෝ පැහැපත් නොවන්නාහු මන්දැ”යි ඇසුවාය, “එසේය, පුණ්ණාවනි, ශාස්තෲන් වහන්සේ චාරිකාවෙහි වඩිනසේක් මම උන්වහන්සේ නැවැත්වීමට අපොහොසත් වීමි, යළි ඉක්මණින් ආපසු වඩින සේක්ද, නැත්දැයි දැනගැනීමට නොහැකිය. එහෙයින් මම සිතමින් හුන්නෙමියි” කීවේය. “ඉදින් මම දශබලයන් වහන්සේ නවත්වන්නෙම් නම් මට කුමක් කරන්නෙහිදැ”යි ඕ ඇසුවාය. “ඔබ නිදහස් වූවක කරන්නෙමි”. ඕතොමෝ ගොස් ශාස්තෲන් වැඳ ස්වාමීනි, නවතිනු මැනවැයි කීවාය. “මගේ නැවතීම හේතුවෙන් නුඹ කුමක් කරන්නෙහිදැ”යි ඇසූ සේක. “ස්වාමීනි නුඹවහන්සේ මගේ වහල්බව දන්නා සේක. අන්කිසිවක් කළ නොහැක්කෙමි. සරණයෙහි පිහිටා පන්සිල් රකින්නෙමි”යි ඕ කීවාය. මැනව, මැනව පුණ්ණාවෙනියි ශාස්තෲන් වහන්සේ ධර්‍ම ගෞරවයෙන් කියන ලද එක් වචනයකින්ම නැවතුණු සේක. “මහණෙනි තථාගත තෙමේ ධර්‍මය ගරුකොට ඇත්තේය, ධර්‍මගෞරවය ඇත්තේය”යි යන මෙය (එහෙයින්) කියන ලදි.
ශාස්තෲන් වහන්සේ නැවතී දෙව්රම් මහ වෙහෙරට වැඩිසේක. මහජනයා පුණ්ණාට දහස් ගණන් සාධුකාර දුන්නේය. ශාස්තෲන් වහන්සේ ඒ මහජන රැස්වීමෙහි දම්දෙසූ සේක. අසූසාර දහසක් ප්‍රාණීහු අමාපැන් බීවාහුය. පුණ්ණා ද (අනේපිඬු) සිටු විසින් අනුදන්නා ලද්දී භික්ෂුණි අසපුවකට ගොස් පැවිදි වූවාය. සම්බුදුන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම අමතා “මම යම් දෙසකට චාරිකාවෙහි නික්මුණෙම් එහි නොයමි. නුඹලා නුඹලාගේ පිරිස සමග එදෙසට චාරිකාවෙහි යහුයි පවසා පිටත්කොට යැවූ සේක. මේ අර්‍ත්‍ථොත්පත්තියෙහි “එකං සමයං ආයස්මා සාරිපුත්තො” යනාදිය කියන ලදි.
එහි වෙළුකණ්ටකී යනු වෙඑකණ්ටක නම් නුවර වැසියෝයි, එනුවර පවුර ආරක්ෂාවීම සඳහා පවුර කෙළවරින් හුණ වවන ලද්දේය. එබැවින් එනුවරට වෙඑකණ්ටක යැයි නමක් විය. පාරායනං යනු නිවන සංඛ්‍යාත පරතෙරට යොමු වී ඇති බැවින් ලද ව්‍යවහාරය ඇති ධර්‍මයයි. සරෙන භාසති යනු සත්බුමු පහයෙහි මතුමහල් තලයෙහි මනාව සංවිධානය කරන ලද ආරක්ෂිත ස්ථානයක හුන්නී සමවත් බෙලෙන් රෑකල ගෙවා සමවතින් නැඟිට මේ රාත්‍රියෙන් ඉතිරි කාලය කවර ඇල්මකින් වසන්නෙම්දැයි සිතා දහම් ඇල්මෙනැයි කළ සනිටුහන් ඇත්තී තුන් පලයට පත් ආර්ය ශ්‍රාවිකාතොමෝ ගාථා දෙසිය පණහක් ඇති පාරායන සූත්‍රය මිහිරි හඬින් කියයි. අස්සොසි ඛො යනු අහසෙහි වූ විමන් පරිහරණය කොට ඒ පහයෙහි මත්තෙහි යන මගින් නාරිවාහන (ගැහැනියක විසින් උසුලාගෙන යන) යානයක නැඟී යන්නා වූ තැනැත්තෙක් ඇසීය. කථාපරියොසානං ආගමයමානො අට්ඨාසි යනු යහළුව මේ කවර හඬක්දැයි අසා නන්දමාතා උවැසියගේ ස්වර බිඳින හඬයැයි කීකල්හි බැස මෙය කීවේය යන මේ දෙසුම් කෙළවර බලමින් නුදුරු තැනක අහසෙහි සිටියේය.
සාධු භගිනී සාධු භගිනී යනු නැගණිය ඔබ විසින් මනාව ගන්නා ලදි. දම් දෙසුම මනාව කියනලදි. පාසාණක චෛත්‍යයෙහි හිඳ සොළොස් පාරායනක බමුණන්ට සම්බුදුන් වහන්සේ විසින් දෙසන ලද දිනයේ ද අද ද කිසි අතරක් (වෙනසක්) නොදකිමි. මැදින් බිඳුණු ස්වර්‍ණියක් මෙන් ඔබ විසින් ශාස්තෲන් වහන්සේ විසින් කියන ලද්දට සමානවම කියන ලදැයි පවසා සාධුකාර දෙන්නේ මෙසේ කීවේය. කො පනෙසො භද්‍රමුඛා යනු මේ මනාව පිළියෙල කරන ලද ආරක්ෂිත ස්ථානයෙහි මෙසේ මහ හඬින් මේ කවර නම් භද්‍ර මුඛයෙක්ද ලද්ධ මුඛයෙක්ද කිම නාගයෙක්ද සුපර්‍ණියෙක් ද දෙවියෙක්ද, මාරයෙක් ද බ්‍රහ්මයෙක්දැයි රන්වන් කවුළුව හැර පහවූ ඇලීම් ඇත්තී තුන් පලයට පත් ආර්‍යශ්‍රාවිකාව වෙසවුණු සමඟ කථාකරමින් මෙසේ කීවාය. අහං තෙ භගනි භාතා යනු තෙමේ සෝවාන් බැවින් අනාගාමි ආර්‍ය්‍යශ්‍රාවිකාව ජ්‍යෙෂ්ඨ යයි සලකමින් නැගනියයි කියා යළි අය පළමු වියෙහි සිටි බැවින් තමාට කනිටු වූ තැනැත්තියට තමන්ට අවුරුදු අනූලක්ෂයක් ආයුෂ ඇති බැවින් මහළුබව හඟිමින් සොහොයුරායි කීවේය. සාධු භද්‍රමුඛ යනු මනා මුවැත්ත, මැනවි සොඳුරුය. ඔබගේ පැමිණීම මනා පැමිණීමකි. පැමිණීමට යුතු තැන්හිම පැමිණියේ වෙහියි අරුත්ය. ඉදං තෙ හොතු ආතිථෙය්‍යං යනු මේ ධර්‍මය කීමම ඔබට පඬුරු වේවා! මීට වඩා උසස් අන් දියයුත්තක් නොදකිමියි අදහසයි. එවං මෙ භවිස්සති ආතිථෙය්‍යං යනු මෙසේ තමන්ට පින්දීම අයැද මෙය ඔබට ධර්‍මකථික සත්කාර යයි එක්දහස්දෙසිය පණහක් කොටුගෙවල් රත්හැලින් පුරවා, මේ උවැසිය යම්තාක් හැසිරෙයිද ඒතාක් නිමාවට නොයේවායි අදිටන් කොට පිටත්ව ගියේය. එතැන් පටන් නන්දමාතවගේ කොටුගෙය මෙනැයි ව්‍යවහාරයක් හටගත්තේය.
අකතපාතරාසො යනු නොවැළඳු උදා අහර ඇත්තේයි, පුඤ්ඤානි යනු අපර චෙතනාවයි. සුඛාය හොතු යනු සුව පිණිස හිත පිණිස වේවා, මෙසේ තමන්ගේ දානයෙහි වෙසවුණුට පින් දුන්නේය.
පකරණෙ යනු කාරණයෙහියි, ඔක්කස්ස පස්යහ යනු ඇඳ මැඩ පවත්වායි, යක්ඛයොනිං යනු බුමාටු දෙවි බවයි, තෙනෙව පුරිමෙන අත්තභාවෙන උද්දස්සෙති යනු මුල් සිරුර වැනිවූම සිරුරක් මවා අලංකාරයෙන් පිළියෙල වූයේ සිරියහන් ගැබෙහි යහන් තලයෙහි තමා දැක්විය. උපාසිකා පටිදෙසිතා යනු උවැසිය මමයි මෙසේ උවැසිබව දැක්විය. යාවදෙව යනු යාවදෙ එව යන වචනයෙන්ගේ එකතුවයි. සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.