5. මහායඤ්ඤ වර්ගය
1-2. විඤ්ඤාණට්ඨිති ආදි සූත්‍ර වර්ණනා
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි විඤ්ඤාණට්ඨිතියො යනු ප්රතිසන්ධි විඥානයාගේ ස්ථානයෝයි, සෙය්යථාපි යනු නිදර්ශනාර්ත්ථයෙහි නිපාතයෙකි, මිනිස්සු යන අරුතයි, අපමණවූ සක්වළෙහි අපමණ වූ මිනිසුන්ගේ පැහැය සටහන් ආදිවශයෙන් දෙදෙනෙක් ද එක්සමානවූවෝ නැත්තෝමය, කිසිතැනක නිවුන් සොහොයුරෝ පැහැයෙන් හෝ සටහනින් හෝ සමානවෙත්. ඔවුන්ගේ ද ඉදිරිබැලීම් හාත්පස බැලීම් කීම් සිනහසීම් යාම් සිටීම් ආදියෙන් වෙසෙසක් වේමය, එබැවින් නානත්තකායා යි කියන ලදි, මොවුන්ගේ ප්රතිසන්ධි සංඥාව වනාහි ත්‍රිහේතුක වූයේත් ද්විහේතුක වූයේත් අහෙතුක වූයේත් වෙයි. එහෙයින් නානත්තසඤ්ඤිනො යි කියන ලදි. එකච්චෙ ච දෙවා යනු සවැදෑරුම් කාමාවචරයන්හි දෙවියෝයි, ඔවුනතුරෙනුදු කිසිවකුගේ ශරීරය නිල්පැහැ වෙයි, කිසිවකුගේ කහ ආදී පැහැයයි. මොවුන්ගේ සංඥාව ද්විහෙතුකවූයේත් ත්රිහෙතුකවූයේත් වෙයි, අහේතුක වූයේ නොවෙයි, එකච්චෙ ච විනීපාතිකා යනු සතර අපායෙන් මිදුනා වූ උත්තරමාතා යකින්නිය පියංකරමාතාව ඵුස්සමිත්තා ධම්මගුත්තා යන මේ ආදීහු ද වෙනත් වෛමානික ප්‍රේතයෝ ද වෙති. මොවුන්ගේ සුදු කලු කසට තද දුඹුරු ආදි පැහැය වශයෙන් ද සිහින් මහත කෙටි දිගු වශයෙන් ද සිරුර වෙනස් වෙයි. මිනිසුන්ගේ මෙන් ද්විහේතුක ත්‍රිහේතුක අහේතුක වශයෙන් සංඥා ද වෙනස් වෙති. ඔවුහු දෙවියන් මෙන් මහෙශාක්යයෝ නොවෙති. දිළිදු මිනිසුන්ට මෙන් අල්පෙශාක්යයෝයි. ආහාර හා වස්ත්‍ර දුර්ලභ බැවින් දුකින් පෙළෙමින් වෙසත්. ඇතැම්හු අවපක්ෂයෙහි දුකින් පෙළුනෝය, පුරපක්ෂයෙහි සුවපත්වූවෝ වෙති. එහෙයින් සැප වැඩිබවින් පිරිහුණු නිසා විනිපාතිකයෝයි කියනලදි. මෙහි යමෙක් ත්‍රිහේතුක වූවෝ ද ඔවුනට ධර්මය වැටහීමද වෙයි. පියංකර මාතා ආදීන්ට මෙනි.
බ්රහ්මකායිකා යනු බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්මපුරෝහිත මහාබ්රහ්මයෝයි, පඨමාභිනිබ්බත්තා ඒ සියල්ලෝම ප්‍රථම ධ්‍යානයෙන් උපන්නෝය. බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්මයෝ වනාහි පරිත්ත ධ්යානයෙනි. ඔවුනට කල්පයෙන් තුනෙන් කොටසක් ආයුෂ ප්‍රමාණය වෙයි. බ්රහ්මපුරෝහිතයෝ මධ්‍යම ධ්යානයෙනි, ඔවුනට කල්පයෙන් භාගයක් ආයුෂ ප්‍රමාණය වෙයි. ඔවුන්ගේ ශරීරය ද බැබළීම වැඩිවූයේ වෙයි. මහා බ්‍රහ්මයෝ ප්‍රණීත ධ්යානයෙනි, ඔවුනට කල්පයක් ආයුෂ ප්‍රමාණය වෙයි. ඔවුන්ගේ ශරීරය ද අතිශයින් බබළන්නේ වෙයි. මෙසේ ඔවුහු කයෙන් වෙනස් වන බැවින් ප්‍රථම ධ්‍යාන වශයෙන් හා සංඥාවෙන් එකත්ව වන බැවින් නානත්තකායා එකත්තසඤ්ඤිනොයි දතයුතුය.
ඔවුහු යම්සේ ද සතර අපායයන්හි සත්ත්වයෝ ද එසේයි. නිරයෙහි කිසිවකුගේ සිරුර ගව්වකි. කිසිවකුගේ අඩ යොදුනකි. කිසිවකුගේ යොදුනක් ආත්මභාවය වෙයි, දෙවදත්තගේ ආත්මභාවය යොදුන් සියයක් වූයේය. තිරිසනුන් අතුරෙහි ද කිසිවෙක් කුඩා වෙත්. කිසිවෙක් මහත් වෙත්, ප්‍රෙත භවයෙහි කිසිවෙක් රියන් හැටකි. කිසිවෙක් රියන් අසූවකි. කිසිවෙක් රන්වන්ය. කිසිවෙක් දුර්වර්ණය. කාළකකුජක අසුරයෝ ද එසේමය. මෙහි ද දිගුපිට ඇති ප්‍රේතයෝ නම් සැටයොදුන් වූවෝ ද වෙත්. සියල්ලන්ගේම සංඥාව වනාහි අකුසල විපාක අහේතුක වූයේම වෙයි. මෙසේ අපාගත සත්ත්වයෝ ද නානත්තකායා එකත්තසඤ්ඤිනො යනුවෙන් සැලකීමට යති.
ආභස්සරා යනු දඬුහුලක ගිනිදැල්ල මෙන් මොවුන්ගේ සිරුරෙන් ආලෝකය සිඳී සිඳී වැටෙන්නාක් මෙන් හැසිරෙයි පැතිරෙයිනුයි ආභස්සරා නමි. ඔවුනතුරෙහි පඤ්චක ක්රමයෙහි දෙවැනි තෙවැනි ධ්‍යාන දෙක පරිත්ත වශයෙන් වඩා උපන්නාහු පරිත්තාභානම් වෙත්, ඔවුන්ගේ ආයුෂ ප්‍රමාණය කල්ප දෙකකි. මධ්‍යම වශයෙන් වඩා උපන්නාහු අප්පමාණාහා නම් වෙති. ඔවුන්ගේ ආයුෂ ප්‍රමාණය කල්ප සතරකි. ප්‍රණීත වශයෙන් වඩා උපන්නාහු ආභස්සරා නම් වෙති. ඔවුන්ගේ ආයුෂ ප්‍රමාණය කල්ප අටකි. මෙහි වනාහි උත්කෘෂ්ට පරිච්ඡෙදයෙන් (උපරිමයෙන්) ඒ සියල්ලෝම ගන්නා ලදහ. ඒ සියල්ලන්ගේම ශරීරය එක් බැබළීමක්ම වෙයි. සංඥාව වනාහි අවිතක්ක විචාර පමණින් හෝ අවිතක්ක අවිචාර වශයෙන් හෝයි වෙනස්ය.
සුභකිණ්හා යනු යහපතින් ගැවසීගත්, විසුරුණුයි, යහපත් සිරුරු පැහැයෙන් එකතුව සිටි යන අරුත්ය. මොවුන්ගේ වනාහි ආභස්සර බ්‍රහ්මයන්ගේ මෙන් ප්‍රභාව සිඳිසිඳී නොයයි. පඤ්චක ක්රමයෙහි පරිත්ත මධ්‍යම ප්‍රණීත චතුර්ථ ධ්‍යානයාගේ වශයෙන් සොළොස් දෙතිස් සිවුසැට කල්ප ආයුෂ ඇත්තෝ පරිත්ත අප්පමාණ සුභකිණ්හ නම් වී උපදිති. මෙසේ ඒ සියල්ලෝම එකත්තකාය වූවාහුම චතුර්ථධ්යාන සංඥාවෙන් එකත්තසඤ්ඤී වූවාහු ද වෙතියි දතයුතුය. වෙහප්ඵල බ්‍රහ්මයෝ ද චතුර්ථධ්යාන විඥානස්ථිතියම ඇසුරු කරති. අසංඥ සත්ත්වයෝ විඥානය නොමැති බැවින් මෙහි ඇතුළත් නොවෙත්. සත්වාවාසයන්හි යති.