3. භික්ඛුඅපරහානීය සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි අභිණ්හං යනු මෙය වජ්ජි සප්තකයෙහි කියන ලද්දට සමානමැයි, මෙහි ද නිතර රැස්නොවන්නාහු ඒ ඒ පෙදෙස්වලින් පැමිණි පණිවිඩ (තොරතුරු) නොඅසත්. එයින් අසුවල් විහාර සීමාව අවුල්ය, පෙහෙවස් පවුරුණු සිටියේය. අසුවල් තැන භික්ෂුහු වෙදකම් දූතකම් ආදිය කරති. විඤ්ඤත්ති බහුලව (සිවුරු පිරිකර ආදිය සඳහා හැඟවීම් කරමින්) මල්දීම් ආදියෙන් දිවිගෙවති යනාදිය නොදනිත්. ඒ පවිටු භික්ෂුහු ද සංඝයා ප්‍රමාදයෙහි යෙදුනෝයි දැන මුළුමුළුව සසුන පිරිහෙලත්. නිතර රැස්වන්නාහු ඒ ඒ පුවත් අසත්. එමගින් භික්ෂු සංඝයා යවා සීමාව සෘජු කරති. පොහෝ පවුරුණු පවත්වති. වැරදි දිවි පැවතුම් ඇත්තන් වැඩි තැන්වලට අරියවංසය දන්නවුන් යවා අරියවංසය කියවති. පවිටු භික්ෂූන්ට විනයධරයන් ලවා නිග්‍රහ කරවති. පවිටු භික්ෂුහු ද සංඝයා අප්‍රමාදයයි දැන අපට වග බැඳ ගෙන හැසිරෙන්නට නොහැකැයි වෙන්ව යති. මෙසේ මෙහි වැඩ අවැඩ දතයුතුය.
සමග්ගා යනාදියෙහි චෛත්‍ය පිළිදැගුම් කිරීම සඳහා හෝ බෝධිඝර උපොසථාගාර වැසීම සඳහා හෝ කතිකාවතක් හෝ තබනු කැමැත්තෙන් සංඝයා රැස්වේවායි බෙරය හෝ තැටිය ගැසූ පමණින් මට සිවුරු වැඩක් ඇත. මගේ පාත්‍රය පිසිය යුතුය, මට නවකම් ඇතැයි වික්ෂෙප කරන්නේ සමඟියෙන් රැස් නොවෙති නමි. ඒ සියලු කටයුතු තබා මම පළමුව මම පළමුවයයි එක්විටම රැස්වන්නාහු සිතාමතා කටයුතු කොට නොනැගිටින්නාහු සමඟිව නැඟී නොසිටිත් නමි. මෙසේ නැඟී සිටියවුන් අතුරින් යමෙක් පළමුව යත්ද ඔවුනට අප විසින් බැහැරි කථාවම අසන ලදි. දැන් විනිශ්චය කථාව වන්නේයයි මෙසේ අදහස් වෙයි. එකවිටම නැගීසිටින්නාහු වනාහි සමඟියෙන් නැඟීසිටිත් නමි. තවද අසුවල් තැන විහාර සීමාව අවුල්ය, පොහෝ පවුරුණු නැවතිණ. අසුවල් තැන වෙදකම් ආදිය කරන පවිටු භික්ෂූහු වැඩියයි දැන කවරෙක් ගොස් ඔවුනට කරන්නේදැයි කීකල්හි මම පළමුව මම පළමුවයි කියා යන්නාහු ද සමඟියෙන් නැඟී සිටිත් නමි.
ආගන්තුකයකු දැක මේ පිරිවෙනට යව අර පිරිවෙණට යව අප කවුදැයි නොකියා සියල්ලෝ වත් කරන්නාහු ද සිඳුණු පාසිවුරු ඇත්තකු දැක ඔහුට පිඬු හැසිරීමේ වතින් පාසිවුරු සොයන්නාහු ද ගිලනකුට ගිලන් බෙහෙත් සොයන්නාහු ද ගිලනෙකි. අනාථයෙකි. අසුවල් පිරිවෙණට යවයි නොකියා තම තමන්ගේ පිරිවෙණෙහි පිළිදැගුම් කරන්නාහු ද කිසියම් ඇදෙමින් පවත්නා බාධකයක් ඇතිවිට නුවණැති භික්ෂුවකට සංග්‍රහ කොට එය ඔහු ලවා ඉවත් කරවන්නාහු ද සමඟියෙන් සංඝ කටයුතු කරත් නමි.
අපඤ්ඤත්තං යනාදියෙහි අලුත් අදැහැමි කතිකාවතක් හෝ ශික්ෂා පදයක් හෝ පිළිගන්නාහු නොපැනවූවක් පනවත් නමි. පුරාණ සත්ථත කථාවස්තුවෙහි සැවතෙහි භික්ෂුහු මෙනි. ධර්‍මවිරෝධී විනය විරෝධී සසුනක් මතුකොට දක්වන්නාහු පැනවුණු දේ සිඳිත් නමි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී අවුරුදු සියයක් ගියකල විශාලාවෙහි වජ්ජිපුත්තක භික්ෂූන් මෙන් කුඩා අනුකුඩා ඇවැත් දැන දැන ඉක්මවන්නාහු පැනවුණු සිකපදයන්ට අනුව සමාදන්ව නොපවතිත් නමි. අස්සජී පුනබ්බසුකයන් මෙනි. එසේ නොකරන්නාහු නොපැනවූවක් නොපනවත්, පැනවූවක් නොසිඳිත්. පැනවුණු සිකපද අනුව සමාදන්ව පවතිත් නමි. ආයුෂ්මත් උපසේන මෙනි, ආයුෂ්මත් යස කාකණ්ඩපුත්ත මෙනි, ආයුෂ්මත් මහාකාශ්‍යප මෙනි. වුද්ධියෙව යනු ශීලාදිගුණයෙන් අභිවෘද්ධියක්මය, පරිහානියක් නොවේ.