3. වජ්ජිසත්තක වර්ගය
1. සාරන්දද සූත්ර වර්ණනාව
තෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි සාරන්දදෙ චෙතියෙ යනු මෙසේ නම් ඇති විහාරයෙහියි, තථාගතයන් වහන්සේ එළැඹි කල්හි එහි සාරන්දද යක්ෂයාගේ නිවාසස්ථානය චෛත්යයක් වූයේය, ඉක්බිති මෙහි භාග්යවතුන් වහන්සේට වෙහෙරක් කරවූහ. එය සාරන්දද චෙතියයි ප්රසිද්ධියට ගියේය. යාවකීචඤ්ච යනු යම් පමණ වූ කාලයක් යනුයි, අභිණ්හං සන්තිපාතා යනු දිනකට තෙවරක් රැස්වන්නාහු ද අතරතුර රැස් වන්නාහු ද නිතර රැස්වන්නෝමය, සන්නිපාතබහුලා යනු ඊයේත් කලින් දිනයේත් රැස්වූවෝ වෙමු. (යළි) අද කුමක් සඳහා රැස්වන්නෙමුදැයි අවසානයකට නොපැමිණීමෙන් රැස්වීම් බහුලවූවෝයි, වුද්ධියෙව ලිච්ඡවි වජ්ජිනං පාටිකංඛා නො පරිහානි යනු නිතර රැස්නොවන්නාහු ඒ ඒ දිශාවන්ගෙන් පැමිණි හසුන් (පණිවුඩ) නොඅසත්, එයින් අසුවල් ගම් සීමාව හෝ අසුවල් නියම්ගම් සීමාව අවුල්ය, අසුවල් තැන්හි සොරු නැගී සිටියාහුය නොදනිත්, සොරුද රජවරු පමා වූවෝයයි දැන ගම්නියම්ගම් පහරමින් දනව් වනසති, මෙසේ රජුන්ගේ පිරිහීම වෙයි, නිතර රැස්වන්නාහු එම පුවත් අසති, එයින් බලසෙන් යවා සතුරු මැඬීම කරති, සොරු ද රජවරු උනන්දුය රොද බැඳ හැසිරීමට අපට නොහැකියයි වෙන් වී පළායති. මෙසේ රජවරුනට අභිවෘද්ධිය වෙයි. “වුද්ධියෙව ලිච්ඡවි වජ්ජිනං පාටිකංඛා නොපරිහානි”යි එහෙයින් කියන ලදි.
සමග්ගා යනාදියෙහි රැස්වීම් දන්වන බෙර හඬ නික්මුණු විට අද අපට වැඩක් ඇත. මඞගල්යයක් ඇතැයි වියවුල් බවක් කරමින් සමඟියෙන් රැස් නොවෙත් නමි, බෙරහඬ අසාම බුදිනු ලබන්නෝ ද සැරසෙන්නාහු ද ඇඳුම් අඳින්නාහු ද අඩක් අනුභව කළෝ ද අඩක් සැරසුණාහු ද ඇඳුම් හඳිමින්ම රැස්වන්නාහු සමගියෙන් රැස්වෙති නමි, රැස් වූවාහු සිතා මතා කළයුත්ත කොට එක්ව නොනැඟිටින්නාහු සමඟියෙන් නොනැඟීසිටිත් නමි, මෙසේ නැගිටි කල්හිද, යමෙක් පළමුව යත්ද ඔවුන්ට මෙසේ අදහස් වෙයි. “අප විසින් බැහැර කථාම අසන ලදි. දැන් තීරණාත්මක කථාව වන්නේය”. එක්ව නැඟී සිටින්නාහු වනාහි සමඟියෙන් නැඟී සිටිත් නමි, තවද අසුවල් තැන ගම්සීමාව හෝ නියම්ගම් සීමාව වියවුල්ය, සොරු හෝ නැඟී සිටියාහුයි අසා කවරෙක් ගොස් සතුරන් මැඬීම කරන්නේදැයි කී කල්හි පළමුව මමයි පළමුව මමයි කියා යන්නාහු ද සමඟියෙන් නැඟී සිටිත් නමි. කෙනෙකුගේ කටයුත්තක් ඇතිවිට සෙස්සෝ පුතුන් සොහොයුරන් යවා ඔහුගේ කටයුත්තට උදවුවන්නාහු ද අසවලාගේ ගෙට යන්න අසවලාගේ ගෙට යන්නැයි නොකියා සියල්ලෝ එක්ව ආගන්තුක රජවරුනට සලකන්නාහුද එකෙකුට මඟුලක් හෝ අසනීපයක් හෝ එබඳු වෙන යම්කිසි සුවදුක් ඇතිවිට සියල්ලෝ එහි සහාය බවට යන්නාහු ද සමඟියෙන් වජ්ජීන්ගේ කටයුතු කරත් නමි.
අපඤ්ඤත්තං යනාදියෙහි පෙර නොකරන ලද අය බද්දක් හෝ බලියක් හෝ දඬුවමක් හෝ ගෙන එන්නාහු නොපැනවූවක් පනවත් නමි, පැරණි ප්රවේණියෙන් ආ දෙයක්ම ගෙන එන්නාහු පැනවූවක් නොසිඳිත් නමි, සොරෙකැයි ගෙන දැක්වූ කල්හි නිශ්චය නොකොටම සිඳීම් බිඳීම් (දඬුවම්) නියම කරන්නාහු පැරණි වජ්ජි ධර්මය පිළිගෙන නොපවතිත් නමි, නොපනවන ලද්දක් පනවන්නා වූ ඔවුන්ගේ අලුත් අයබදු ආදියෙන් පෙළුණා වූ මිනිස්සු දැඩි උවදුරට පත්වූවම්භ කවරෙක් මොවුන්ගේ රටෙහි වසන්නාහුදැයි පසල් දනව්වට පිවිස සොරු හෝ සොරුනට සහායකයෝ වී දනව්ව වනසති. පනවන ලද්දක් කඩකරමින් ප්රවේණියෙන් ආ අයබදු ආදිය නොගන්නවුන්ගේ භාණ්ඩාගාරය පිරිහෙයි, එයින් ඇත් අස් බලසෙන් අතැවුරු ආදීහු නොකඩවා වියදම් නොලබමින් ශක්තියෙන් පිරිහෙත්, ඔවුහු යුදකරනු හැකිවූවෝ නොවෙත්, සේවා කරනු හැකිවූවෝ නොවෙත්. පැරණි වජ්ජි ධර්මය පිළිගෙන නොපවතින්නන්ගේ රටෙහි මිනිස්සු අපගේ පුතා පියා සොහොයුරා නොසොරෙකුව සිටියදීම සොරකු කොට නැසුවාහුය පෙළුවාහුයයි කිපී පසල් දනව්වට පිවිස සොරු හෝ සොරුන්ගේ සහායකයෝ හෝ වී දනව්ව වනසති, මෙසේ රජවරුන්ගේ පිරිහීම වෙයි. නොපැනවූවක් නොපැනවූවන්ගේ වනාහි ප්රවේණියෙන් ආ දෙයම රජවරු කරතියි මිනිස්සු තුටු පහටුව කෘෂිවණික් ආදී කර්මාන්තයන් සම්පාදනය කරති, පැනවූ දෙය නොසිඳ ප්රවේණියෙන් ආ අයබදු ආදිය ගන්නවුන්ගේ භාණ්ඩාගාරය වැඩෙයි, එයින් ඇත් අස් බලසෙන් අතැවුරු ආදීහු නොකඩවා වියදම් ලබන්නාහු ශක්තියෙන් යුක්තවූවාහු යුද්ධයට හැකිවූවෝත් සේවයෙහි හැකිවූවෝත් වෙති. පැරණි වජ්ජි ධර්මයන් පිළිගෙන පවත්වන්නවුන්ට මිනිස්සු නොකිපෙති, “රජවරු පැරණි ප්රවේණියට අනුව කටයුතු කරති. අට්ටකුලිකයන් (විනිසුරුවන්?) සෙනෙවියන් යුවරජුන් විසින් පරීක්ෂා කරනලද තෙමේද පරීක්ෂා කොට ප්රවේණිපොත කියවා සුදුසුවූම දඬුවමක් පනවත් මොවුන්ගේ දොසක් නැත. දෝෂය අපගේම යයි (සිතා) නොපමාවූවාහු කර්මාන්තවල නියැලෙති. මෙසේ රජවරුන්ගේ අභිවෘද්ධිය වෙයි.
සක්කරිස්සන්ති යනු ඔවුනට යම්කිසි සත්කාරයක් කරන්නාහු සොඳුරුවූවක්ම කරත්. ගරුකරිස්සන්ති යනු ගරුභාවය පිහිටුවාම කරත්. මානෙස්සන්ති යනු සැලකිල්ලෙන් ප්රියකරත්. පූජෙස්සන්ති යනු ප්රත්යය පූජාවෙන් පුදති. සොතබ්බං මඤ්ඤිස්සන්ති යනු දවසට දෙතුන්වරක් උවටැනට ගොස් ඔවුන්ගේ කථාව ඇසියයුත්තක් හැදැහිය යුත්තක් කොට හඟිත්, එහි යමෙක් මෙසේ මහලු රජවරුනට සත්කාරාදිය නොකරත්ද අවවාද ලබනු සඳහා හෝ උවටැනට හෝ නොයෙත් ද ඔවුහු ඔවුන් විසින් අත්හරිනු ලද්දාහු අර්ත්ථයෙන් අවවාද නොලබන්නාහු කෙළිදෙලෙහි නියුතු වන්නාහු රාජ්යයෙන් පිරිහෙත්. යමෙක් එසේ පිළිපදිත්ද ඔවුනට මහලු රජවරු මෙය කළයුතුය මෙය නොකළ යුතු යයි පැරණි ප්රවෙණිය කියා දෙත්. යුද්ධයට එළඹවුවද මෙසේ පිවිසිය යුතුය, මෙසේ නික්මිය යුතුයයි උපාය දක්වත්, ඔවුන් ඔවුන් විසින් අවවාද දෙනු ලබන්නාහු ඔවදනට අනුව පිළිපදින්නාහු රාජ්ය ප්රවෙණිය පවත්වන්නට හැකිවෙත්. එහෙයින්, “වුද්ධියෙව ලිච්ඡවී වජ්ජිනං පාටිසංඛා”යි කියන ලදි.