2. වස්සකාර සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි ආභියාතුකාමො යනු මැඬ පැවැත්වීම සඳහා යනු කැමැත්තේයි: වජ්ජි යනු වජ්ජි රජවරුයි. එවං මහිද්ධිකො යනු මෙබඳු වූ මහත් රාජ සෘද්ධියකින් යුක්තවූයේයි, එයින් මොවුන්ගේ සමඟිබව කියයි, එවං මහානුභාවො යනු මෙබඳු වූ මහත් රාජානුභාවයකින් යුක්ත වූයේයි. එයින් මොවුන්ගේ හස්ති ශිල්පාදියෙහි කළ පුහුණුව කියයි. “යම්සේ නම් සියුම් යතුරු සිදුරෙන් ඊතලයෙන් ඊතලය නොවළහා යවන්නහුද එසේ මේ ලිච්ඡවි කුමාරවරු ඒකාන්තයෙන්ම හික්මුණහ. මනාව හික්මුණහ”යි එහෙයින් කියන ලදි. උච්ඡෙච්ඡාමි යනු සිඳින්නෙමියි, විනාස්සෙසාමි යනු නොපෙනෙන බවට යවන්නෙමියි, අනයව්‍යසනං යනු අවැඩ ද ඥාති විනාශය ද යනුයි, ආපාදෙස්සාමි යනු පමුණුවන්නෙමියි,
මෙසේ වනාහි හෙතෙම සිටීම් හිදීම් ආදියෙහිදී මේ යුද්ධ කථාවම කරයි. ගමනට සූදානම් වෙයි ද බලසෙනඟට අණවයි, කුමක් හෙයින්ද? ගංගා නදියෙහි එක් පටුන් ගමක් ඇසුරුකොට අඩයොදුනක් අජාසත් රජුගේ යටත් පෙදෙසෙකි, අඩයොදුනක් ලිච්ඡවීන්ගේය. එහි පර්‍වත පාමුල මාහැඟි සුවඳ බඩු ගොඩබායි. එය අසා අද යමි හෙට යමියි අජාසත් රජු සූදානම් වනවිට ලිච්ඡවි රජවරු සමඟියෙන් සතුටුව කලින්ම අවුත් සියල්ල ගනිති. අජාසත් රජ පසුව අවුත් එපුවත දැන කිපී ආපසු යයි, ඔවුහු පසු වසරෙහි ද එසේම කරත්. ඉක්බිති හෙතෙම (අජාසත් රජ) බලවත් සේ බැඳි වෛර ඇත්තේ එකල්හි මෙසේ කළේය.
සමුහයා සමඟ යුද්ධය නම් බැරෑරුම්ය, එකකුදු හිස් පහරදීමක් නම් නැත. එක් පඬිවරයකු සමඟ සාකච්ඡා කොට කරන්නේ අපරාධ නැත්තේ වෙයි. ශාස්තෲන් වහන්සේ සමාන වූ පඬිවරයෙක් ද නැත්තේය. ශාස්තෲන් වහන්සේ ද නුදුරෙහි අසළ විහාරයෙහි වෙසෙති. මම කෙනකු යවා උන්වහන්සේ විමසමි, ඉදින් මගේ යාමෙන් කිසි අර්‍ත්‍ථයක් වන්නේ නම් ශාස්තෲන් වහන්සේ නිහඬවන සේක. අනර්‍ත්‍ථයක් ඇති කල්හි රජු එහි යාමෙන් කවර වැඩෙක්දැයි කියන සේකැයි රජු තෙමේ වස්සකාර බමුණා යැවීය. බමුණා ගොස් එකරුණ තථාගතයන් වහන්සේට සැළ කළේය. එහෙයින් “අථ ඛො රාජා -පෙ- ආපාදෙස්සාමි වජ්ජි”යි කියන ලදි.
භගවන්තං විජමානො යනු තෙරණුවෝ වත්හිස සිට භාග්‍යවතුන් වහන්සේට පවන් සලති. භාග්‍යවතුන් වහන්සේට ශීතලක් හෝ ඌෂ්ණයක් නැත. භාග්‍යවතුන් වහන්සේ බමුණාගේ වචනය අසා ඔහු සමඟ අමතා තෙරුන් සමඟ කථාකරනු කැමැති සේක් “කින්ති තෙ ආනන්ද සුතං”යි ආදිය කී සේක. එය කියන ලද අරුත් ඇත්තේමය.
එකමිදාහං යන මෙය භාග්‍යවතුන් වහන්සේ පෙර වජ්ජීන්ට මේ වජ්ජි සප්තකය දෙසන ලද බව පැවසීම සඳහා කියන ලදි. අකරණීයා යනු නොකළයුතු දේයි. නොගතයුතු දේ යයි අරුත්ය. යදිදං යනු නිපාත මාත්‍රයකි. යුද්ධස්ස යනු කරණාර්ථයෙහි සම්බන්ධ විභක්තිඩවචනයි. මුහුණලා කරන යුද්ධයෙන් ගැනීමට නොනැකැයි අරුත්ය. අඤ්ඤත්‍ර උපලාපනාය යනු රැවටීමෙන් හැරයි, උපලාපනය නම් විවාදයෙන් වැඩක් නැත. සමඟි වෙමුයි ඇත් අස් රථ රන් රුවන් ආදිය යවා සංග්‍රහ කිරීමයි. මෙසේ සංග්‍රහ කොට හුදෙක් විශ්වාසයෙන් ගැනීමට හැකිය යන අරුත්ය. අඤ්ඤත්‍ර මිථුභෙදා යනු ඔවුනොවුන් බිඳවීම හැරයි. මෙයින් අන්‍යොන්‍ය භේදය කොට ද මොවුන් ගැනීමට හැකියයි දක්වයි. මෙය බමුණා භාග්‍යවතුන් වහන්සේගේ කථාවෙන් නය (ක්‍රමය) ක් ලැබ කීවේය. භාග්‍යවතුන් වහන්සේ බමුණාගේ මේ කථාවෙන් නයලාභයක් දන්නා සේක්ද? එසේය දන්නා සේක. දන්නා සේක් කුමක්නිසා කී සේක්ද? අනුකම්පාවෙනි. මෙසේ උන්වහන්සේට අදහස් විය. මා නොකී කල්හි ද කිහිපදිනකින් ගොස් සියල්ලන් ගන්නේය. කීකල්හි සමඟි වූවන් බිඳිමින් තුන් වසරකින් ගන්නේය. මෙපමණක් ජීවිතයටම උතුම්ය. මෙපමණක් ජීවත් වන්නාහු තමන්ට ප්‍රතිෂ්ඨාව වූ පින් කරන්නහුය යනුවෙනි. අභිනන්දිත්වා යනු සිතින් සතුටුවීයි. අනුමොදිත්වා යනු භවත් ගෞතමයන් විසින් මෙය මනාව කියන ලද්දකැයි වචනයෙන් අනුමෝදන් විය. පක්කාමි යනු රජුගේ සමීපයට ගියේය. රජතෙමේත් ඔහුවම යවා සියල්ලන් බිඳුවා ගොස් විනාශයක් පැමිණවීය.
3. භික්ඛුඅපරහානීය සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි අභිණ්හං යනු මෙය වජ්ජි සප්තකයෙහි කියන ලද්දට සමානමැයි, මෙහි ද නිතර රැස්නොවන්නාහු ඒ ඒ පෙදෙස්වලින් පැමිණි පණිවිඩ (තොරතුරු) නොඅසත්. එයින් අසුවල් විහාර සීමාව අවුල්ය, පෙහෙවස් පවුරුණු සිටියේය. අසුවල් තැන භික්ෂුහු වෙදකම් දූතකම් ආදිය කරති. විඤ්ඤත්ති බහුලව (සිවුරු පිරිකර ආදිය සඳහා හැඟවීම් කරමින්) මල්දීම් ආදියෙන් දිවිගෙවති යනාදිය නොදනිත්. ඒ පවිටු භික්ෂුහු ද සංඝයා ප්‍රමාදයෙහි යෙදුනෝයි දැන මුළුමුළුව සසුන පිරිහෙලත්. නිතර රැස්වන්නාහු ඒ ඒ පුවත් අසත්. එමගින් භික්ෂු සංඝයා යවා සීමාව සෘජු කරති. පොහෝ පවුරුණු පවත්වති. වැරදි දිවි පැවතුම් ඇත්තන් වැඩි තැන්වලට අරියවංසය දන්නවුන් යවා අරියවංසය කියවති. පවිටු භික්ෂූන්ට විනයධරයන් ලවා නිග්‍රහ කරවති. පවිටු භික්ෂුහු ද සංඝයා අප්‍රමාදයයි දැන අපට වග බැඳ ගෙන හැසිරෙන්නට නොහැකැයි වෙන්ව යති. මෙසේ මෙහි වැඩ අවැඩ දතයුතුය.