2. දුතියචෙතොවිමුත්තිඵල සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අනිච්චසඤ්ඤා යනු ස්කන්‍ධ පංචකය ඇතිවී නැතිවී යන අයුරින් අනිත්‍යයයි උපදින හැඟීමයි, අනිච්චෙ දුක්ඛසඤ්ඤා යනු යමක් අනිත්‍යය ද එය පීඩනයට පත්වන අයුරින් දුක්යැයි උපදින හැඟීමයි, දුක්ඛෙ අනත්තසඤ්ඤා යනු යමක් දුක ද එය තමා යටතෙහි නොපවත්නා අයුරින් අනාත්මයයි උපදින හැඟීමයි, සෙස්ස යට පැහැදිලි කළ අයුරින්මය, මෙම සූත්‍ර දෙකෙහි දී විදර්‍ශනා ඵලය කියන ලදි.
3. පඨමධම්මවිහාරී සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි දිවසං අතිනාමෙති යනු දිනය ගෙවයි, රිඤ්චති පටිසල්ලාණං යනු හුදෙකළා බව දුරු කරයි, දෙසෙති යනු කියයි, ප්‍රකාශ කරයි. ධම්මසඤ්ඤත්තියා යනු ධර්‍මය හැඟවීම සඳහායි, ධම්මං පරියාපුණාති යනු නවංග වශයෙන් සිවුසස් දහම උගනියි, පිළිපදියි, කියයි. න රිඤ්චති පටිසල්ලාණං යනු හුදෙකළා බව අත් නොහරියි, අනුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං යනු ස්වකීය අධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය ඇසුරු කරයි, වඩයි, සමථ කර්‍මස්ථානයෙහි යෙදී නියැළුනේ වෙයි,
හිතෙසිනා යනු හිත කැමතිවන්නා විසිනි, අනුකම්පකෙන යනු අනුකම්පා කරන්නහු විසිනි, අනුකම්පං උපාදාය යනු සිතින් අනුකම්පාව වැළඳගෙනයි, නිසායිද කියන ලද්දේ වෙයි, කතං වො තං මයා යනු මේ පංච පුද්ගලයන් (ගැන) දෙසන්නාවු මවිසින් නුඹලාට එය කරන ලදි, යම් මේ අවිපරිත ධර්‍මදේශනාවක් වේද අනුකම්පා කරන්නා වූ ශාස්තෲන් වහන්සේගේ කෘත්‍යය එපමණක්ම වෙයි, මෙයින් මත්තෙහි වනාහි ප්‍රතිපත්තිය නම් ග්‍රාවකයන්ගේ කෘත්‍යයයි, එබැවින් “එතානි භික්ඛු රුක්ඛමූලානි -පෙ- අම්හාකං අනුසාසනී”යි කියන ලදි. එහිද රුක්ඛමුලානි යන මෙයින් රුක්ඛමූල සෙනාසනය දක්වයි, සුඤ්ඤාගාරානි යනු මෙයින් ජනයාගෙන් තොර තැනයි, (පද) දෙකින්ම භාවනාවට සුදුසුවූ සෙනසුන ප්‍රකාශ කරයි. දායාදය පවරාදෙයි, ඣායථ යනු අරමුණු මෙනෙහි කිරීමෙන් අටතිස් අරමුණු ද ලණ මෙනෙහි කිරීමෙන් අනිත්‍යදී වශයෙන් ස්කන්ධ ආයතනාදිය ද මෙනෙහි කරවු, සමථය ද විදර්‍ශනාව වඩමුයි කියන ලද්දේ වෙයි, මා පමාදත්‍ථ යනු නොපමාවෙහුයි, මා පච්ඡා විප්පටිසාරින්නා අහුවත්‍ථ යනු යමෙක් පෙර තරුණ කල ද නීරෝගී කල ද, සත්තසප්පාය ආදී සම්පත්ති කාලයෙහි ද ශාස්තෲන් වහන්සේ මුණගැසුණු කාලයෙහි ද නුවණින් මෙනෙහි කිරීමෙන් තොරවූවාහු රෑදාවල් විපිළිසරවී නිදිසුව නිදිමතසුව විදිමන් පමා වෙත්ද ඔවුහු පසුව ජරාවට පත්කාලයෙහි ද රෝගකාලයෙහි ද මරණ කාලයෙහි ද විපත් කාලයෙහි ද ශාස්තෲන් වහන්සේ පිරිනිවුණු කල්හි ද ඒ පෙර පමාව හැසිරීම සිහිකරමින් ප්‍රතිසන්ධි සහිත මරණය ද බැරෑරුම් කොට දකිමින් විපිළිසර වෙත්. නුඹලා වනාහි එබඳුවූවෝ නොවෙමු යන මෙකරුණ දක්වමින් “මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්‍ථ” යනුවෙන් කීවේය. අයං වො අම්හාකං අනුසාසතී යනු ධ්‍යාන වඩවූ පමා නොවවු යන මෙය අපගේ සමීපයෙන් නුඹලාට වූ අනුශාසනයයි අවවාදයයි කියන ලද්දේ වෙයි.
4. දුතියධම්මවිහාරී සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි උත්තරිඤ්චස්ස පඤ්ඤාය අත්‍ථං නප්පජානාති යනු ඒ පර්‍ය්‍යාප්තියෙන් මත්තෙහි විදර්‍ශනා සහගත මාර්‍ග ප්‍රඥාවෙන් යුක්තවූ ඒ ධර්‍මයාගේ අර්‍ත්‍ථයක් නොදනියි, සිවුසස් නොදකියි, අවබෝධ නොකෙරේයයි අර්‍ත්‍ථයයි, සෙසු වාරයන්හි ද මේ ක්‍රමයමයි, මෙසේ මේ සූත්‍ර දෙකෙහිම බහුශ්‍රැත භික්ෂුව. විදර්‍ශනාවෙහි යෙදෙන්නා, සෝවාන් තැනැත්තා සකෘදාගාමියා අනාගාමියා ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ යන සදෙනා ධම්මවිහාරී නම් වූවාහුයයි දතයුත්තාහ.
5. පඨමයොධාජීවූපම සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි යොධාජිවා යනු යුද්ධයෙන් ජීවත් වන්නාහුයි. රජග්ගං යනු ඇත් අස් ආදීන්ගේ පාපහරින් බිඳුණු බිමෙන් නැඟුණු දුවිලි සමුහයයි, න සන්ථමහති යනු යටපත් කොට සිටීමට නොහැකි වෙයි, සහති රජග්ගං දුවිලි සමුහය දැක ද ඉවසයි, ධජග්ගං යනු ඇත් අසුන්ගේ පිටෙහි හෝ රථයන්හි හෝ නංවනලද කොඩිවල අගය, උස්සාදනං යනු ඇත්-අස් රියවල මෙන්ම බලකායේ ද උස්හඬ, මහහඬයි, සම්පහාරෙ යනු පැමිණි සුළුවූ ද පහරෙහියි, ආහඤ්ඤති යනු දුක්වෙයි, තැවුලට පත්වෙයි, ව්‍යාපජ්ජති යනු විපතට පැමිණෙයි, ප්‍රකෘති ස්වභාවය අත් හරියි, සහති සම්පහාරං යනු දෙතුන් පහරකට පැමිණ ද ඉවසයි, උසුලයි, තමෙව සංගාමසීසං යනු ඒ ජය කඳවුරයි, අජ්ඣාවසති යනු දිනසතක් පමණ මැඩ පවත්වා වෙසෙයි, කුමක් හෙයින්දයත්? ලද පහරවල පහර යටපත් කරනු සඳහා මෙන්ම කළකටයුතුවල විශේෂත්වය දැන තනතුරු දීම සඳහා ද අධිපති සැපත විඳිනු සඳහා ද වේ.