3. අනාගතභය වර්ගය
1. පඨමචෙතොවිමුත්තිඵල සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි යතො ඛො භික්ඛවෙ යනු යටකී පරිද්දෙන්ම විදසුන් වඩා රහත්බවට පත් භික්ෂුවගේ ගුණ කියනු සඳහා දැන් මෙය අරඹන ලදි, එහි යතො ඛො යනු යම් කලෙක වනාහියි, උක්ඛිත්තපලිඝො යනු අවිද්‍යාව නමැති බාධාව ඔසවා ඉවත්කොට සිටියේයි, සංකිණ්ණපරිබො යනු සසර අගල විසුරුවා විනාශකොට සිටියේයි, අබ්බුළ්හෙසිකො යනු තෘෂ්ණා සංඛ්‍යාත වූ තණ්හා නමැති කණුව උදුරා සිඳ සිටියේයි, නිරග්ගළො යනු නීවරණ අගුළ විවරකොට සිටියේයි, පන්නද්ධජො පන්නභාරො යනු මාන නමැති ධ්වජය ද ස්කන්ධ අභිසංස්කාර ක්ලෙශභාරය ද හෙලා බහා සිටියේයි, විසංයුත්තො යනු සසරින් මිදුණේයි, සෙස්ස පෙළෙහි ආ ක්‍රමයෙන්ම දතයුතුය, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් කෙලෙසුන් ක්‍ෂය කොට නිරොධය නමැති යහනට ගොස් නිවන අරමුණු වූ ඵලසමාපත්තියට නංවා වසන්නාවූ භික්ෂුවගේ කාලය දක්වන ලදි,
යම්සේ නගර දෙකකින් එකක් සොරු වෙසෙන නගරක් ද එකක් අනතුරු රහිත නගරයක් වේ ද ඉක්බිති එක් මහා යෝධයකුට මෙසේ සිතෙන්නේය, යම්තාක් මේ සොරුන් වෙසෙන නගරය තිබේ ඒතාක් අනතුරු රහිත නගරය බියෙන් නොමිදෙයි, සොරුන් වෙසෙන නගරය නගරය නොවූවක් කරමියි යුද ඇඳුම් ඇඟලා කඩුව ගෙන සොර නගරයට එළඹ නුවර දොරටුවෙහි ඔසවන ලද එෂිකාස්ථම්භයන් කඩුවෙන් සිඳ දොරටු හා උළුවසු සමඟ කවුළු බිඳ හරස් පොල්ල ඔසවාදමා පවුර බිඳ දිය අගල විසුරුවා නගරයේ ශෝභාව සඳහා ඔසවන ලද කොඩි බිම හෙළා නුවර ගින්නෙන් දවා උවදුරු රහිත නුවරට පිවිස පහයට නැඟී නෑ සමූහයා විසින් පරිවරණ ලද්දේ මනාරසැති බොජුන් බුදින්නේ ද මෙසේ චොරනගරය මෙන් සත්කාය (ස්වකීකය, ශරීරය ) යයි, උවදුරු රහිත නගරය මෙන් නිවනයි, මහා යෝධයා මෙන් යෝගාවචරයායි, ඔහුට මෙසේ අදහස් වෙයි. “යම්තාක් සත්කාය වෘත්තය (ශරීරයාගේ සංසාරික පැවැත්ම) පවතියිද එතෙක් දෙතිස් දඩුවම්, අනූවක් රෝග පස්විසි මහබිය යන මේවායින් මිදීමක් නැත යනුවෙනි.” හෙතෙම මහා යෝධයකු මෙන් ශීල නමැති සන්නාහයෙන් සන්නද්ධව ප්‍රඥා නමැති කඩුව ගෙන කඩුවෙන් එසිකාස්තම්භය මෙන් රහත් මගින් තෘෂ්ණාව නමැති කණුව කපා ඒ යෝධයා දෙරටු හා දොරබා සහිත නගර කවුළුව මෙන් පංච ඕරමහාගිය නමැති අගුළ හැර ඒ යෝධයා හරස් පොල්ල මෙන් අවිද්‍යා නමැති හරස් පොල්ල ඔසවාදමා ඒ යෝධයා පවුර බිඳින්නේ දිය අගල මෙන් කර්‍මාභිසංස්කාරයන් බිඳිමින් උපතේ සැරිසැරීම වූ අගල විසුරුවා හැර ඒ යෝධයා නුවර සරසනු සඳහා ඔසවා තිබූ කොඩි මෙන් මාන නමැති කොඩි හෙලා සත්කාය නමැති නගරය දවා ඒ යෝධයා උවදුරු රහිත නුවරෙහි මතුමහලෙහි මනාබොජුන් මෙන් කෙලෙස් නිවීම නමැති නුවරට පිවිස අමරණීය වූ නිරොධය අරමුණු කොට ඇති පලසමවත් සුවය විඳිමින් කාලය ගෙවයි.
2. දුතියචෙතොවිමුත්තිඵල සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අනිච්චසඤ්ඤා යනු ස්කන්‍ධ පංචකය ඇතිවී නැතිවී යන අයුරින් අනිත්‍යයයි උපදින හැඟීමයි, අනිච්චෙ දුක්ඛසඤ්ඤා යනු යමක් අනිත්‍යය ද එය පීඩනයට පත්වන අයුරින් දුක්යැයි උපදින හැඟීමයි, දුක්ඛෙ අනත්තසඤ්ඤා යනු යමක් දුක ද එය තමා යටතෙහි නොපවත්නා අයුරින් අනාත්මයයි උපදින හැඟීමයි, සෙස්ස යට පැහැදිලි කළ අයුරින්මය, මෙම සූත්‍ර දෙකෙහි දී විදර්‍ශනා ඵලය කියන ලදි.
3. පඨමධම්මවිහාරී සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි දිවසං අතිනාමෙති යනු දිනය ගෙවයි, රිඤ්චති පටිසල්ලාණං යනු හුදෙකළා බව දුරු කරයි, දෙසෙති යනු කියයි, ප්‍රකාශ කරයි. ධම්මසඤ්ඤත්තියා යනු ධර්‍මය හැඟවීම සඳහායි, ධම්මං පරියාපුණාති යනු නවංග වශයෙන් සිවුසස් දහම උගනියි, පිළිපදියි, කියයි. න රිඤ්චති පටිසල්ලාණං යනු හුදෙකළා බව අත් නොහරියි, අනුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං යනු ස්වකීය අධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය ඇසුරු කරයි, වඩයි, සමථ කර්‍මස්ථානයෙහි යෙදී නියැළුනේ වෙයි,