2. දෙවැනි පණ්ණාසකය
1. නීවරණ වර්ගය
1. නීවරණ සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි වැසීම් වශයෙන් ආවරණා නමි, අවහිර කිරීම් වශයෙන් නීවරණා නමි, චෙතසො අජ්ඣාරුහා යනු සිතට නැගුණුයි, විදර්‍ශනා ප්‍රඥාවේ ද මාර්‍ග ප්‍රඥාවේ ද උපත වළහන අරුතින් දුර්‍වල කෙරෙත්නුයි පඤ්ඤාය දුබ්බලීකරණා නමි, මේවා සමඟ ගැවසුණු යම් ප්‍රඥාවක් උපදියි ද එය දුර්‍වල කෙරෙත්නුයි පඤ්ඤායදුබ්බලීකරණා නමි, අබලාය යනු පංච නීවරණයන්ගෙන් වැසුණු බැවින් පහවූ බලය ඇත්තාවූයි, උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං යනු දශකුශල කර්‍මපථ සංඛ්‍යාත වූ මනුෂ්‍ය ධර්‍මයන්ගෙන් මත්තෙහි ආර්යභාවය (ඇති) කිරීමට සමර්‍ත්‍ථ ඥානදර්‍ශන විශේෂයයි, හාරහාරීණී යනු අත්හළයුත්ත අතහැරීමට සමර්‍ත්‍ථවූයි, නඞ්ගලමුඛානි යනු ජලමාර්‍ගයි, ඒවා නඟුලට සමාන බැවින් හෝ නඟුල්වලින් කරනලද බැවින් නඞ්ගලමුඛානියි කියනු ලැබෙත්,
එවමෙව ඛො යනු මෙහි දියපහර මෙන් විදර්‍ශනා ඥානය දැක්විය යුතුය, දෙපසින් ජලමුඛ විවෘත කරන කාලය මෙන් සදොරෙහි සංවරය මුදාහළ කාලයයි. නදිය මැද ගල්මුල් කොටා පිදුරු තණ මැටිවලින් වැසූ කල්හි ජලය විසිරී පැතිරී සිටි කාලය මෙන් පංචනීවරණයන්ගෙන් වැසුණු කාලයයි, මෙසේ ආවරණය කළ කල්හි පහවූ වේගය ඇති ජලයට තණ පිදුරු ආදිය ඇදගෙන මුහුදට පැමිණීමට නොහැකි කාලය මෙන් විදර්‍ශනා ඥානයෙන් සියලු අකුසලයන් නසා නිවන් සයුරට පැමිණීමට නොහැකි කාලයයි දතයුතුය, යහපත් පැත්තෙහි කියන ලද්දට වෙනස් ලෙස යෙදිය යුතුය. මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි, දෙවැනි සූත්‍රය පැහැදිලි අරුත් ඇත්තේමය.
3. පධානියඞ්ග සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයෙහි පධානියඞ්ගානි යනු උත්සාහ කිරීම පධානයි කියනු ලැබේ. උත්සාහය මොහුට ඇත්තේනුයි පධානියො නමි. උත්සාහය ඇති භික්ෂුවගේ අංගයෝනුයි පධානියඞ්ගාන නමි. සද්ධො යනු ශ්‍රද්ධාවෙන් යුක්තවූයේයි, මේ ශ්‍රද්ධාව වනාහි ආගම සද්ධා අධිගම සද්ධා ඔකප්පන සද්ධා පසාද සද්ධායි සිවුවැදෑරුම් වෙයි, එහි සර්‍වඥබෝධිසත්වයන්ගේ ශ්‍රද්ධාව (බුද්ධත්වය සඳහා වූ) අධිෂ්ඨානයේ පටන් පැමිණි බැවින් ආගමන සද්ධා නමි, ආර්‍යශ්‍රාවකයන්ගේ වැටහීමෙන් අවබෝධ කළ බැවින් අධිගම සද්ධා නමි, බුද්ධ - ධම්ම - සංඝ යැයි කියනලද තෙරුවනහි නොසැලෙන බැවින් වූ විශ්වාසය ඔකප්පනසද්ධා නමි, ප්‍රසාදයේ ඇතිවීම පසාදසද්ධා නමි, මෙහි ඔකප්පන සද්ධාව අදහස් කරන ලදි, බොධිං යනු මාර්‍ග සතරෙහි ඥානයයි, එය තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරන ලදැයි අදහයි, මෙය දේශනා ශීර්ෂයක් ද වේ. මේ අංගයෙන් ත්‍රිවිධ රත්නයෙහි ශ්‍රද්ධාව අදහස් කරන ලදි, යමකුගේ බුද්ධාදීන්හි පැහැදීම බලවත් වේද ඔහුගේ වීර්යය ඉෂ්ට වෙයි,
අප්පාබාධො යනු නිරෝගී වූයේයි. අප්පාතඞ්කො යනු නිදුක් වූයෙයි, සමවෙපාකිනියා යනු සමව පැසෙන්නාවූයි, ගහණියා යනු කර්‍මයෙන් හටගත් තෙජො ධාතුවෙනි, නාතිසීතාය නාච්චුණභාය යනු දැඩි ශීතතෙජොධාතුක වූ තැනැත්තේ ශීතට බිය ඇත්තේ වෙයි, දැඩි උෂ්ණ තෙජොධාතුක වූ තැනැත්තේ උණුසුමට බිය ඇත්තේ වෙයි, ඔවුන්ගේ වීර්යය සමෘද්ධ නොවේ. මධ්‍යම තෙජොධාතුක වූ තැනැත්තාගේ වීර්‍යය සමෘද්ධ වෙයි, එහෙයින් මජ්ඣිමාය පධානක්කමාය යි කියන ලදි: යථාභූතං අත්තානං ආචිකතත්තා යනු ඇති සැටියෙන් තමාගේ අගුණ පවසන්නායි, උදයත්‍ථගාමිනියා යනු හටගැනීම ද විනාශය ද පිරිසිඳ දැනීමට සමත් වූයි, මෙයින් ලක්ෂණ පණහකින් යුත් උදයව්‍යය ඥානය කියන ලදි, අරියාය යනු පිරිසුදුවූයි, නිබ්බෙධිකාය යනු නොනැසූවිරූ ලොභස්කන්ධාදිය වැනසීමට හැකි වූයි, සම්මාදුක්ඛ යගාමිනියා යනු තාවකාලික වශයෙන් කෙලෙසුන් ප්‍රහීන කළ බැවින් යම් දුකක් ගෙවේ ද ඒ දුකේ විනාශයට යන්නාවූයි, මෙසේ මේ සියලු පදයන්ගෙන් විදර්‍ශනා ප්‍රඥාවම කියන ලදි, දුර්‍වල ප්‍රඥා ඇත්තහුගේ උත්සාහය සාර්‍ත්‍ථක නොවෙයි: