පඤ්චක නිපාතය අටුවාව
1. ප්‍රථම පණ්ණාසකය
1. සෙඛබල වර්ගය
1. සෙඛබලසඞ්ඛිත්ත සූත්‍ර වර්ණනාව
පඤ්චක නිපාතයේ පළමුවැනි සූත්‍රයෙහි ශෛක්ෂයන් සත්දෙනාගේ බලයෝනුයි සෙඛබලානි නමි, සද්ධාබල ආදියෙහි මිථ්‍යා විශ්වාසයෙන් නොසැලේනුයි සද්ධාබලං නමි, ලජ්ජා නැති බවින් නොසැලේනුයි හිරිබලං නමි, බිය නැති බවින් නොසැලේනුයි ඔත්තප්පබලං නමි, කුසීතබවින් නොසැලෙනුයි විරියබලං නමි, අවිද්‍යාවෙන් නොසැලේනුයි, පඤ්ඤාබලං නමි, තස්මා යනු යම් හෙයකින් මේ ශෛක්ෂයන්ගේ බලයෝ වෙත් ද එහෙයිනි.
2-5. සෙඛබලවිත්ථත ආදි සූත්‍ර වර්ණනා
දෙවැනි සූත්‍රයෙහි කායදුච්චරිතෙන යනු සම්බන්ධාර්‍ත්‍ථයෙහි කරණ විභක්ති වචනයි. ලජ්ජා කටයුතු කාය දුශ්චරිතාදියේ ලජ්ජාවෙයි පිළිකුල් කරයි යන අර්‍ත්‍ථයයි, ඔත්තප්ප නිර්දේශයෙහි හෙත්‍වර්‍ත්‍ථයෙහි කරණ විභක්ති වවනයි, කායදුශ්චරිතාදී වූ ඔත්තප්පයට හේතුවූ දෙයින් බියවෙයි යන අර්‍ත්‍ථයයි,
ආරද්ධවිරියො යනු දැඩිසේ ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ නොබසුබස්නා සිත් ඇත්තේයි, පහානාය යනු දුරුකිරීම සඳහායි, උපසම්පදාය යනු ලැබීම සඳහායි, ථාමවා යනු වීර්ය ජවයෙන් යුක්තවූයේයි, දළ්හ පරක්කමො යනු ස්ථීර පරාක්‍රමය ඇත්තේයි, අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු යනු කුසල ධර්‍මයන්හි බහා නොතැබු වගකීම් ඇත්තේ නොපසුබස්නා වීර්ය ඇත්තේයි,
උදයත්‍ථගාමිනියා යනු පඤ්චස්කන්ධයන්ගේ හටගැනීම හා විනාශය ඇති කරන්නාවූ හටගැනීම ද, විනාශය ද අවබෝධ කිරීමට සමර්‍ත්‍ථවූයි, අරියාය යනු යටපත් කිරීම් වශයෙන් ද මුලිනුදුරා දැමීම් වශයෙන් ද කෙලෙසුන්ගෙන් දුරුව සිටීමෙන් පිරිසුදුවූයි, පඤ්ඤාය සමන්නාගතො යනු විදර්‍ශනා ප්‍රඥාවෙන් මෙන්ම මාර්‍ග ප්‍රඥාවෙන් ද යුක්ත වූයේයි, නිබ්බෙධිකාය යනු එම ප්‍රඥාවම නිර්‍වේදයට පත්වන බැවින් නිබ්බෙධිකායි කියනු ලැබේ, එයින් යුක්තවූයේය යන අර්‍ත්‍ථයි, එහි මාර්‍ග ප්‍රඥාව මුළුමනින් සිඳලීම් වශයෙන් සිඳලිය නොහැකිවිරූ වූ පලාලිය නොහැකිවිරූ වූ ලොභස්කන්ධය, ද්වෙශ ස්කන්ධය හා මොහස්කන්ධය සිඳලයි සසර දුක ද කෙලෙස් දුක ද පලාලයි යන්නෙන් නිබ්බෙධිකා නමි, විදර්‍ශනා ප්‍රඥාව තාවකාලිකව යටපත් කිරීම් වශයෙන් නිබ්බෙධිකා නමි, මාර්‍ගප්‍රඥාව ලැබීමට හේතුවීම් හෝ වශයෙන් ද විදර්‍ශනාව නිබ්බෙධිකායි කීමට වටියි, සම්මා දුක්ඛක්ඛය ගාමිනියා යනු මෙහි ද මාර්‍ග ප්‍රඥාව මනා හේතුවෙන් ක්‍රමයෙන් සසර දුක හා කෙලෙස් දුක ගෙවමින් යේනුයි සම්මා දුක්ඛක්ඛයගාමිනි නමි, විදර්‍ශනාව තදඞ්ග වශයෙන් සසර දුක ද කෙලෙස් දුක ද ගෙවමින් යන්නේනුයි දුක්ඛක්ඛයගාමීනියි, දුක්දුරු කිරීම ඇති කරවන්නා වූ මාර්‍ග ප්‍රඥාව ලැබීම සඳහා පවතින බැවින් ද මෙය දුක්ඛක්ඛයගාමිනීයි දතයුතුය, මෙසේ මේ සූත්‍රයෙහි පඤ්ච බල මිශ්‍රකවම කියන ලදි, පස්වැනි සූත්‍රයෙහි ද එසේමය,
6. අකුසලසමාපත්ති සූත්‍ර වර්ණනාව
සවැනි සූත්‍රයෙහි අකුසලස්ස සමාපත්ති යනු අකුශල ධර්‍මයන්ගේ යෙදීමයි, අකුශලධර්‍මය සමඟ එක්වූයේය යන අර්‍ත්‍ථයි, පරියුට්ඨාය තිට්ඨති යනු නැඟී සිටියි.
7. කාමෙසුපලාළිත සූත්‍ර වර්ණනාව
සත්වැනි සූතයෙහි කාමෙසු පළාලිතා යනු වස්තු කාම ක්ලේශකාමයන්හි ලොල් වූවාහු ඇඑනාහුයි, අසිතව්‍යාභඞ්ගිං යනු තණ කපන දෑකැත්ත මෙන්ම තණ ගෙනයන කදයි, කුලපුත්තො යනු සදාචාරවත් කුලපුත්‍රයායි, ඔහාය යනු අතහැරයි, අලං වචනාය යනු සුදුසු වචනයටයි, ලබ්හා යනු සුලබවූයි, ලැබීමට හැකි වූයි, හීනා කාමා යනු පස්වැදෑරුම් පහත් කුලයන්ගේ කාමයෝයි, මජ්ඣිමා කාමා යනු මධ්‍යම සත්ත්වයන්ගේ කාමයෝයි, පණිතා කාමා යනු රාජ රාජ මහා මාත්‍යයන්ගේ කාමයෝයි, කාමාත්වෙව සඞ්ඛං ගච්ඡන්ති යනු කැමැතිවීම් වශයෙන් ද කැමති විය යුතු වශයෙන් ද කාමයෝයි. මෙසේ ප්‍රසිද්ධියට යත්, වුද්ධො හොති යනු මහල්ලෙක් වෙයි, අලම්පඤ්ඤො යනු සුදුසු නුවණ ඇත්තේයි. අත්තගුත්තො යනු තමා විසින්ම ගෝපනය කරන කරන ලද්දේ, රක්නා ලද්දේයි, තමාවම හෝ ගෝපනය කිරීමට රැකීමට සමත්වූයේයි, නාලං පමාදාය යනු පමාවීමට නුසුදුසුවූයේයි, සද්ධාය අකතං හොති යනු ශ්‍රද්ධාවෙන් කුශල ධර්‍මයන්හි යමක් කළයුතුද එය නොකරන ලද්දේ වෙයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි, අනපෙඛොදානාහං භික්ඛවෙ තස්මිං භික්ඛුස්මිං හොමි යනු මෙසේ ශ්‍රද්ධාදියෙන් කළයුත්ත කොට සෝවාන් පෙලෙහි පිහිටි ඒ පුද්ගලයා කෙරෙහි බලාපොරොත්තු රහිතවූයේ වෙමියි දවයි, මේ සූත්‍රයෙහි සෝවාන් මාර්‍ගය කියන ලදි.
8. චවන සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි සද්ධම්මෙ යනු ශාසනික සද්ධර්‍මයෙහියි, අස්සද්ධො යනු විශ්වාසයෙන් ඇතිවූ ශ්‍රද්ධාවෙන් හා ප්‍රත්‍යක්‍ෂ ශ්‍රද්ධාවෙන් යන දෙවැදෑරුම් ශ්‍රද්ධාවෙන් තොරවූයේයි, චවති න පතිට්ඨාති යනු සසුනෙහි ගුණයෙන් පිරිහෙයි, පිහිටීමට නොහැකිවෙයි, මෙසේ මේ සූත්‍රයෙහි නොපිහිටීම ද පිහිටීම ද කියන ලදි,
9. පඨමඅගාරව සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි ඔහුට ගෞරවය නැත්තේනුයි අගාරවො නමි, ඔහුට කීකරු බවක් නැත්තේනුයි අප්පතිස්සො නමි, ජ්‍යෙෂ්ඨ නොවූයේ පහත් පැවැතුම් නැත්තේයි, මෙහි සෙස්ස කලින් සඳහන් කරන ලද්දට සමානය,
10. දුතියඅගාරව සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අභබ්බො යනු පාත්‍ර නොවූයේයි, වුද්ධිං යනු වැඩයි, විරූළ්හිං යනු වැඩුණු මුල් ඇති බැවින් නිශ්චලභාවයයි, වෙපුල්ලං යනු මහත්බවයි, සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේයි.
පළමුවැනි සෙඛබල වර්‍ගයයි
2. බල වර්ගය
1. තථාගතබල සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි පුබ්බාහං භික්ඛවෙ අනනුස්සුතෙසු ධම්මෙසු යනු මම, මහණෙනි, පෙර නොඇසූ සිවුසස් දහම්හි යනුයි, අභිඤ්ඤාවොසාන පාරමිප්පත්තො පටිජානාමි යනු සිවුසස්හි සිවුමගින් සොළොස් වැදෑරුම් වූ කටයුතු කිරීමෙන් මනාව දැන අවසානයට පත්වීම නම් වූ සියලු කෘත්‍යයන් නිමවීමෙන් සපිරූ කටයුතු ඇතිබවෙහි පරතෙරට පත්වූයෙම් මනාව දනිමියි මහබෝ පළඟෙහි තමා වෙත පැමිණිය යුතු ගුණය දක්වයි, තථාගතස්ස යනු කරුණු අටකින් තථාගතයන් වහන්සේගේයි, තථාගතබලානි යනු යම්සේ එකරුණුවලින් යා යුතු ද එසේම ගියාවූ පැවතියා වූ ඥානබලයෝයි, ආසභංඨානං යනු ශ්‍රේෂ්ඨ ස්ථානයයි, සීහනාදං යනු අභීත නාදයයි, බ්‍රහ්මචක්කං යනු ශ්‍රේෂ්ඨ චක්‍රයයි, වත්තෙති යනු පැවැත්වීය. කීවේය,