2. චුන්දි සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි රථසතෙහි යනු වැළඳූ උදා අහර ඇත්තී පියා වෙතට යවා රිය පන්සියය යොදවා ඒවායින් පිරිවරණ ලද්දීයි අරුත්ය, උපසඞ්කමි යනු සොහොයුරා සමග පැවතුණු ප්‍රශ්න සාකච්ඡාව අසන්නෙමැයි ගඳමල් සුවඳ සුණු රැගෙන එළඹියේය. යදෙව සො හොති යනු යම් දිනකම හෙතෙම වේද, නැතහොත් යමෙක්ම හෙතෙම වේද යනුයි, අරියකන්තානි සීලානි යනු ඵලය සමඟ යෙදුණු ශීලයෝයි, ඒවාම ආර්‍ය්‍යයන්ගේ සිත් අදනාහු වෙත්. භවාන්තරයෙහි ද අත් නොහළයුත්තාහුය. සෙස්ස චතුක්ක නිපාතයෙන් අග්ගප්පාසාද සූත්‍රයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.
3. උග්ගහ සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි භද්දිකෙ යනු භද්දික නගරයෙහියි, ජාතියාවනෙ යනු තෙමේම හටගත් නොවවන ලද හිමවත සමඟ එකට බැඳුණු වනගහණයෙහියි, ඒ නගරය ඇසුරුකොට එම වනයෙහි වසයි යන අර්‍ත්‍ථයයි, අත්තචතුත්‍ථො යනු තමාගෙන් සිවුවැන්නායි, කුමක්නිසා භාග්‍යවතුන් වහන්සේ තමාගෙන් සිවුවැන්නාම නිමන්ත්‍රණය කළ සේක්ද යත්? ගෙහි මහත් වූ මඟුලකි, එහි මහත් සංවිධානයක් වියයුතුය, බොහෝ මිනිස්සු රැස්වෙති, ඔවුහු භික්ෂු සංඝයා පිවිසෙන විට සංග්‍රහ කිරීමට දුෂ්කර වන්නාහුයයි තමාගෙන් සිවුවැන්නාම නිමන්ත්‍රණය කළසේක. තවද උන්වහන්සේට මෙබඳු අදහසක් ද වීය. කුඩා කුමරියෝ මහත් බික්සඟන මැද ශාස්තෲන් වහන්සේ අවවාද කරනවිට නැමුණු සිතැත්තාහු අවවාද ගැනීමට නොහැකි වන්නාහුය යන මේ කාරණයෙන් ද තමාගෙන් සිවුවැන්නාම නිමන්ත්‍රණය කළසේක. ඔවදතු තාසං භන්තෙ යනු ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මොවුනට අවවාද කරන සේක්වා, මොවුන් අවවාද කරන සේක්වායි අර්‍ත්‍ථයි: උපයොගාර්ථයෙහි මෙය සම්බන්ධ විභක්ති වචනයි: යන්තාසං යනු මොවුනට යම් අවවාදානුසාසනයක් වේද එයයි, මෙය ද කියා ඒ සිටුතෙමේ මා සමීපයෙහි අවවාද ගනුලබන මොවුහු ගෙන යන්නහුයි භාග්‍යවතුන් වහන්සේ වැඳ පිටත්වූයේය.
භත්තු යනු ස්වාමියාගේයි, අනුකම්පං උපාදාය යනු දයාව නිසායි, පුබ්බුට්ඨායිනියො යනු සියල්ලන්ට පළමුව නැඟිටින සුලු වූවාහුයි: පච්ඡානිපාතිනියො යනු සියල්ලන්ට පසුව වැදහෝනාසුලු වූවාහුයි, ස්ත්‍රියට පළමුව අහරගෙන යහනට නැඟී නිදියෑමට සුදුසු නොවේ. ගෙහි සියලුම සේවකයන් අනුභව කරවා උපකරණ බඩු සංවිධානය කොට ගවයන් (ගාලට) පැමිණි හෝ නොපැමිණි බව දැන හෙට කළයුතු වැඩ විමසා යතුරු කැරැල්ල අතට ගෙන ඉදින් කෑම ඇතොත් අනුභව කොට නැතොත් වෙනත් අහරක් පිසවා සියල්ලන් වළඳවා පසුව නිදීමට වටියි, නිදාගත්තියටද හිරු උදාවනතෙක් නිදාගැනීමට නොවටියි, සියල්ලන්ට පළමුව නැඟිට දැසිකම්කරුවන් කැඳවා මේ මේ කටයුතු කරමුයි කටයුතු විමසා දෙනුන් දොවවා සියලු ගෙහි කටයුතු තමා ඇස් ඉදිරිපිටම කිරීමට වටියි, මෙකරුණ අරභයා ‘පුබ්බුට්ඨායිනියො පච්ඡානිපාතිනියො’යි කීවේය. කිංකාරපටිස්සාවිනියො යනු කුමක් කරමුදැයි මුව බලා හැසිරෙන සුලුවූවෝයි, මනාපචාරිණියො යනු කැමතිවූම දෙයක් කරනසුලු වූවෝයි. පියවාදිනියො යනු ප්‍රියදෙයක්ම කියනසුලු වූවෝයි, පුඡිස්සාම යනු සිවුපසය පිදීමෙන් පුදන්නෙමුයි,