4. සුමනා වර්ගය
1. සුමනා සූත්‍ර වර්ණනාව
සිවුවැනි වර්ගයේ පළමු සූත්‍රයෙහි සුමනාරාජකුමාරී යනු මහත් සත්කාර කොට පැතුම් පතා මෙසේ ලබන ලද නම් ඇති රජකුමරියකි. විපස්සී සම්මා සම්බුදුන් වහන්සේගේ සමයෙහි නුවර වැසියන් යුද්ධ ද කොට ශාස්තෲන් වහන්සේ අපට ගන්නෙමුයි සෙන්පතියා නිසා බුදුපාමොක් සඟන ලබා පිළිවෙළින් පින් කිරීමට පටන්ගත් විට සියල්ලන්ට පළමු දිනය සෙන්පතියාට විය, එදවස සෙන්පතිතෙමේ මහදන් පිළියෙල කරවා අද යම්සේ අන් කිසිවෙක් එක් භික්ෂුවකට පවා නොදෙයි ද එසේ රැකවල් තබවුයි හාත්පස පුරුෂයන් තැබීය, එදවස සිටු බිරිඳ කුමාරිකාවන් පන්සියයක් සමඟ කෙළි සෙල්ලම කොට පැමිණි දියණියට හඬමින් මෙසේ කීවාය: “ඉදින් දරුව, ඔබේ පියා ජීවත්ව සිටියේ නම් අද මම පළමුව දශබලයන් වහන්සේ වළඳවන්නෙමි” දියණිය ඇයට මෙසේ කීවාය. “මෑණියනි, නොසිතන්න, යම්සේ බුදු පාමොක් සඟන පළමුව අපගේ දානය වළඳන්නේද මම එසේ කරමි”, ඉක්බිති ලක්ෂයක් වටිනා රන්තලියෙහි දිය නුමුසු පායාසය පුරවා ගිතෙල්, මී, සකුරුවලින් සරසා අනෙක් තලියකින් වසා එය සමන්මල් සමූහයෙන් වටකොට මල්ගුළාවක් මෙන් කොට භාග්‍යවතුන් වහන්සේ ගමට පිවිසෙන වේලාවෙහි තමාම ඔසවාගෙන දැසි සමූහයා විසින් පිරිවරන ලද්දී ගෙයින් නික්මුණාය,
අතරමග සෙන්පතියාගේ උපස්ථායකයෝ දරුව මෙතැන් සිට නොඑවයි කියති. මහ පිනැත්තෝ නම් සිත්ගන්නාසුලු කථා ඇත්තෝ වෙති. ඔවුන් නැවත නැවත කියන විට පිළිකෙවු කිරීමට නොහැකි වෙයි, ඕ තොමෝ “සුළුපියාණෙනි, මහණෙනි, මයිළණුවෙනි, කුමක් නිසා නුඹලා යාමට නොදෙවුදැයි ඇසුවාය” දරුව සෙන්පතිතුමා විසින් අන්කිසිවකුට කෑ යුතු බිඳියයුතු දෑ දීමට ඉඩ නොදෙව්යයි තැබුවෝ වෙමු.” ඔවුහු කීහ. “කිම, මා අත කෑයුතු බිදිය යුතු දෑ දකීවිද?”, “මල් ගුළක් දකිමු”, කිම නුඹලාගේ සෙන්පති මල්පිදීමට ද නොදෙයි ද?”, “දරුව දෙයි”, එසේ නම් ඉවත් වෙව්යි කියා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්ස, මල් ගුළාව ගනු මැනවයි කීවාය, භාග්‍යවතුන් වහන්සේ සෙන්පතිගේ එක් උපස්ථායකයකු බලා මල්ගුළාව ගැන්වූ සේක. ඕතොමෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ, භාග්‍යවතුන් වහන්ස, මට සසර උපතෙහිදී සිහි තැතිගන්වන ජීවිතයක් නම් නොවේවා! මේ සමන්මල් මෙන් උපනුපන් තැන ප්‍රියජනක වූවාම වෙමි, නමින් ද සුමනා වෙමැයි පතා ශාස්තෲන් වහන්සේ විසින් සුවපත් වේවායි කියන ලද්දී වැඳ පැදකුණු කොට ගියාය.
භාග්‍යවතුන් වහන්සේ ද සෙන්පතියාගේ ගෙට ගොස් පනවනලද අසුනෙහි හුන්සේක. සෙන්පති තෙමේ කැඳ ගෙන එළඹියේය. ශාස්තෲන් වහන්සේ අත වැසූ සේක. “ස්වාමීනි, භික්ෂු සංඝයා වැඩහුන්නේයි හෙතෙම කීය. “අතරමගදී ලද එක් පිණ්ඩපාතයක් අපට තිබේ”. හෙතෙම මල්දම ඉවත් කරවා පිණ්ඩපාතය දුටුවේය. සුළු උපස්ථායක තෙමේ “ස්වාමීනි, එක් කාන්තාවක් මල්ගුළාවකැයි කියා මා රැවැටියයි කීවේය. පායාසය භාග්‍යවතුන් වහන්සේ ආදි කොට ඇති සියලු භික්ෂූන්ට ප්‍රමාණවත් විය. සෙන්පති තෙමේ තමාගේ දානය දුන්නේය. ශාස්තෲන් වහන්සේ බත්කිස කොට වැඩදායක දේ පවසා වැඩිසේක. සෙන්පති තෙමේ කවර තැනැත්තියක් නම් පිණ්ඩපාතය දුන්නේදැයි ඇසීය. “ස්වාමීනි සිටුදියණියය” “නුවණැති ස්ත්‍රියකි, මෙබඳු තැනැත්තියක් ගෙහි වසන විට පිරිමියාට ස්වර්‍ග සම්පත්තිය දුලබ නොවේයයි ඇය ගෙන්වා ප්‍රධානස්ථානයෙහි තැබීය.
ඕතොමෝ පියාගේ ගෙහි ද සෙනෙවි ගෙහිද ධනය ගෙන දිවි ඇති තෙක් තථාගතයන් වහන්සේට දන් දී පින්කොට එයින් සැවවූවා කාමාවචර දිව්‍යලෝකයෙහි උපන්නාය. උපන් කෙණෙහිම දණක් පමණ වූ පෙදෙසින් සියලු දෙව්ලොව පුරවමින් සමන් වැසි වැස්සේය. දෙවියෝ මෝ තමාම තමාගේ නම රැගෙන ආයේයැයි සුමනා දෙව්දුවයැයි ඇයට නම් කළාහුය. ඕ අනූ එක් කපක් දෙවියන් අතුරෙහි ද මිනිසුන් අතුරෙහි ද හැසිරෙන්නී උපනුපන් තැන නොහරනලද සමන්මල් වැසි ඇත්තී සුමනා සුමනායි නම් වූයේය. මෙකල්හි කොසොල් රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසඳ ගත්තාය. ඒ පන්සියයක් කුමරියෝ ද එදවසම ඒ ඒ කුලයෙහි පිළිසිඳ ගෙන එක්දිනයෙහිම සියල්ලෝ මව්කුසින් නික්මුණාහ. එකෙණෙහිම දණක් පමණ උසට සමන්මල් වැසි වැටිණ. එය දැක රජතෙමේ මෝ කරන ලද පැතුම් ඇත්තී වන්නීයයි සතුටු සිතැත්තේ මගේ දුව තමාම තමාගේ නම රැගෙන ආවායි ඇයට සුමනායි නම් කොට මගෙ දුව හුදෙකලාව නොඋපදින්නී යයි නුවර පරීක්ෂා කරවා දැරියෝ පන්සියයක් උපන්නාහයි අසා සියල්ලන් තමන්ම පෝෂණය කරවූයේය. මසින්මස ඒ දැරියන්ට මගේ දුව දක්වමියි කිය. මෙසේ මෝ මහත් සත්කාර කොට පැතුම් පතා මෙසේ ලබනලද නම් ඇත්තීයයි දතයුතුය.
ඇයට සත්අවුරුදු කාලයෙහි අනේපිඬු සිටු විසින් වෙහෙර නිමවා තථාගතයන් වහන්සේට දූතයකු යැවූ කල්හි ශාස්තෲන් වහන්සේ බික්සඟන පිරිවරන ලද සේක් සැවතට වැඩමවූ සේක. අනේපිඬු සිටුතෙමේ ගොස් රජුට මෙසේ කීය: “මහරජතුමනි, ශාස්තෲන් වහන්සේ මෙහි පැමිණීම අපට ද මංගල්‍යයකි, නුඹවහන්සේට ද මංගල්‍යයකි, සුමනා රජ කුමරිය පන්සියයක් දැරියන් සමඟ පුන්කලස් ද ගඳමල් ආදිය ද ගන්වා භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කිරීමට යැව්ව මැනව”. රජතෙමේ මැනව, මහසිටාණෙනියි එසේ කළේය. ඕ තොමෝ ද රජු කී පරිද්දෙන්ම ගොස් ශාස්තෲන් වැඳ ගඳමල් ආදියෙන් පුදා එකත්පසෙක සිටියාය. ශාස්තෲන් වහන්සේ ඇයට දම්දෙසූ සේක. ඕ පන්සියයක්. කුමරියන් සමඟ සෝවාන් පෙලෙහි පිහිටියාය. අන්‍ය වූ ද පන්සියයක් දැරියෝ ද පන්සියයක් කාන්තාවෝ ද පන්සියයක් උවසුවෝ ද එකෙණෙහිම සෝවාන් පෙලෙහි පිහිටියහ. මෙසේ එදවස අතරමගදීම සෝවාන්වූවෝ දෙදහසක් වූහ.