3. උග්ගහ සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි භද්දිකෙ යනු භද්දික නගරයෙහියි, ජාතියාවනෙ යනු තෙමේම හටගත් නොවවන ලද හිමවත සමඟ එකට බැඳුණු වනගහණයෙහියි, ඒ නගරය ඇසුරුකොට එම වනයෙහි වසයි යන අර්ත්ථයයි, අත්තචතුත්ථො යනු තමාගෙන් සිවුවැන්නායි, කුමක්නිසා භාග්යවතුන් වහන්සේ තමාගෙන් සිවුවැන්නාම නිමන්ත්රණය කළ සේක්ද යත්? ගෙහි මහත් වූ මඟුලකි, එහි මහත් සංවිධානයක් වියයුතුය, බොහෝ මිනිස්සු රැස්වෙති, ඔවුහු භික්ෂු සංඝයා පිවිසෙන විට සංග්රහ කිරීමට දුෂ්කර වන්නාහුයයි තමාගෙන් සිවුවැන්නාම නිමන්ත්රණය කළසේක. තවද උන්වහන්සේට මෙබඳු අදහසක් ද වීය. කුඩා කුමරියෝ මහත් බික්සඟන මැද ශාස්තෲන් වහන්සේ අවවාද කරනවිට නැමුණු සිතැත්තාහු අවවාද ගැනීමට නොහැකි වන්නාහුය යන මේ කාරණයෙන් ද තමාගෙන් සිවුවැන්නාම නිමන්ත්රණය කළසේක. ඔවදතු තාසං භන්තෙ යනු ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මොවුනට අවවාද කරන සේක්වා, මොවුන් අවවාද කරන සේක්වායි අර්ත්ථයි: උපයොගාර්ථයෙහි මෙය සම්බන්ධ විභක්ති වචනයි: යන්තාසං යනු මොවුනට යම් අවවාදානුසාසනයක් වේද එයයි, මෙය ද කියා ඒ සිටුතෙමේ මා සමීපයෙහි අවවාද ගනුලබන මොවුහු ගෙන යන්නහුයි භාග්යවතුන් වහන්සේ වැඳ පිටත්වූයේය.
භත්තු යනු ස්වාමියාගේයි, අනුකම්පං උපාදාය යනු දයාව නිසායි, පුබ්බුට්ඨායිනියො යනු සියල්ලන්ට පළමුව නැඟිටින සුලු වූවාහුයි: පච්ඡානිපාතිනියො යනු සියල්ලන්ට පසුව වැදහෝනාසුලු වූවාහුයි, ස්ත්රියට පළමුව අහරගෙන යහනට නැඟී නිදියෑමට සුදුසු නොවේ. ගෙහි සියලුම සේවකයන් අනුභව කරවා උපකරණ බඩු සංවිධානය කොට ගවයන් (ගාලට) පැමිණි හෝ නොපැමිණි බව දැන හෙට කළයුතු වැඩ විමසා යතුරු කැරැල්ල අතට ගෙන ඉදින් කෑම ඇතොත් අනුභව කොට නැතොත් වෙනත් අහරක් පිසවා සියල්ලන් වළඳවා පසුව නිදීමට වටියි, නිදාගත්තියටද හිරු උදාවනතෙක් නිදාගැනීමට නොවටියි, සියල්ලන්ට පළමුව නැඟිට දැසිකම්කරුවන් කැඳවා මේ මේ කටයුතු කරමුයි කටයුතු විමසා දෙනුන් දොවවා සියලු ගෙහි කටයුතු තමා ඇස් ඉදිරිපිටම කිරීමට වටියි, මෙකරුණ අරභයා ‘පුබ්බුට්ඨායිනියො පච්ඡානිපාතිනියො’යි කීවේය. කිංකාරපටිස්සාවිනියො යනු කුමක් කරමුදැයි මුව බලා හැසිරෙන සුලුවූවෝයි, මනාපචාරිණියො යනු කැමතිවූම දෙයක් කරනසුලු වූවෝයි. පියවාදිනියො යනු ප්රියදෙයක්ම කියනසුලු වූවෝයි, පුඡිස්සාම යනු සිවුපසය පිදීමෙන් පුදන්නෙමුයි,
අබ්හාගතෙ යනු තමන් සමීපයට පැමිණි අයයි, ආසනොදකෙන පටිපුජෙස්සාම යනු අසුනෙන් ද පාදෙවුනා දියෙන් ද පුදන්නෙමු, මෙහි ද මාපියන්ට දිනපතා සත්කාරය කළයුතුය, තමන් වෙත පැමිණි මහණ බමුණන්ට අසුන් දී පා දොවනා දිය දියයුතුය, සත්කාරය ද කළයුතුය,
උණ්ණා යනු එළු ලොමයි, තත්ථ දක්ඛා භවිස්සාම යනු එළුලොම් ගැටහැරීම සේදීම, පැහැගැන්වීම, වෙළුකිරීම ආදියෙහි ද කප වටලීම (රෝල් කිරීම), අවුල් හැරීම, පෙළීම, කැටීම ආදියෙහි දක්ෂයෝ වන්නෙමු: තත්රෑපායාය යනු ඒ එළුලොම් කපු සංවිධානයෙහි උපාය වූ මෙකල මෙනම් දෙය කිරීමට වටියියයි මෙසේ පවතින විමසීමෙන් යුක්ත වූවෝයි, අලං කාතුං අලං සංවිධාතුං යනු තමන් විසින් කිරීමට ද අනුන් ලවා කරවීමට ද යුතු දෙයෙහිම සමත්වූවෝ ද වන්නෙමුයි අරුත්ය,
කතඤ්ච කතතො ජානිස්සාම අකතඤ්ච අකතතො යනු මුළු දවසට මෙනම් දෙයකි, වැඩකොට ආවුනට අඩදිනයට මෙනම් දෙය, වැඩ නොකර ගෙහි හුන්නවුනට මෙනම් දෙය දීමට ද මෙසේ කිරීමට ද වටීයයි මෙසේ දන්නෙමු, ගිලානකානඤ්ච බලාබලං යනු ඉදින් ගිලන් කල ඔවුනට බෙහෙත් කෑම ආදිය දී රෝගය පහසු නොකරත්ද මොවුහු නීරෝගී කාලයෙහි යමක් කැමති වෙත්ද එයම අපට කරත් ගිලන් කල අප ඉන්නා බවවත් නොදනිතියි කළකිරුණු ස්වරූපය ඇත්තෝ පසුව කටයුතු නොකරති ද හෝ නරක දේ හෝ කරති ද එබැවින් මොවුන්ගේ හැකියාව නොහැකියාව දැන දියයුත්ත ද කළයුත්ත ද දනිමුයි මෙසේ නුඹලා විසින් නික්මිය යුතුයයි දක්වයි, ඛාදනිය භොජනියඤ්චස්ස යනු මේ ඇතුළු ජනයාට කෑ යුතු දෙය ද බිදිය යුතු දෙය ද යනුයි, පච්චංසෙන යනු ලැබියයුතු කොටසෙනි, තමතමන්ට ලැබිය යුතු කොටසට අනුරූප දෙයිනි යන අර්ත්ථයි, සංවිභජිස්සාම යනු දෙන්නෙමු, සම්පාදෙස්සාම යනු සපයා දෙන්නෙමු,
අධුත්ති යනු පුරුෂධූර්ත සුරාධූර්ත වශයෙන් ධූර්තබවට නොපත්වූවෝයි, අථෙනි යනු සොරු නොවන්නියෝයි, අසොණ්ඩි යනු සුරාසොඬ බව ආදී වශයෙන් සොඬ නොවන්නියෝයි,
මෙසේ සූත්රාන්තය නිමවා දැන් ගාථාවන්ගෙන් කුළුගන්වමින් ‘යො නං භරති සබ්බදා’ යනාදිය පැවසීය, තත්ථ භරති යනු පෝෂණය කරයි, පිළිදැඟුම් කරයි, සබ්බකාමහරං යනු කැමති සියල්ල දෙන්නාවූයි, සොත්ථි යනු යහපත් ස්ත්රියයි, එවං වත්තති යනු මෙපමණ වතක් පුරා පවතියි, මනාපා නාම තෙ දෙවා යනු නිර්මාණරතී දෙවියෝයි, ඔවුහු කැමති කැමති රූප මවා අභිරමනය කරන හෙයින් නිම්මානරතීයි ද මනාපා යි ද කියනු ලැබෙත්.