8. තාප සූත්‍ර වර්ණනාව
අටවැනි සූත්‍රයෙහි අත්තන්තප ආදියෙහි තමන් තවයි, දුකට පමුණුවයි යන්නෙන් අත්තන්තපො නමි, තමන් තැවීමෙහි යෙදීම අත්තපරිතාපනානුයොගං නමි, අනුන් තවන්නේනුයි, පරන්තපො නමි, අනුන් තැවීමේ යෙදීම පරපරිතාපනානුයොගං නමි, දිට්ඨෙවධම්මො යනු මේ ආත්මභාවයේදීමයි, නිච්ඡානො යනු තෘෂ්ණාව ඡාතයි කියනු ලැබේ, ඒ තෘෂ්ණාව ඔහුට නැතැයි නිච්ඡාතො නමි, සියලු කෙලෙසුන්ගෙන් නිවුණු බැවින් නිබ්බුතො නමි, ඇතුළත තවන කෙලෙසුන් නැති බැවින් සිසිල් වූයේයි සිතිභූතො යි ධ්‍යාන මාර්‍ගඵල නිර්වාණ සුඛයන් විඳිනුයි සුඛපටිසංවෙදි නමි, බ්‍රහ්මභුතෙන අත්තනා යනු ශ්‍රේෂ්ඨ වූ තමා විසිනි,
අචෙලකො යනාදිය කියන ලද අරුත් ඇත්තේය, ඔරබ්භිකා යනාදියෙහි එළුවෝ උරබ්භායි කියනු ලැබෙත්, එළුවන් නසයි යන්නෙන් ඔරබ්භිකො නමි වෙයි. සූකරික යනාදියෙහිද මේ ක්‍රමයමයි, ලුද්දො යනු දරුණු තැනැත්තේයි, කර්‍කශ තැනැත්තේයි, මච්ඡඝාතකො මසුන් බඳින්නා කෙවුලායි, බන්ධනාගාරිකො යනු සිරගෙය රකින්නායි, කුරූරකම්මන්තා යනු දරුණු කර්‍මාන්ත ඇත්තෝයි,
මුද්ධාවසිත්තො යන ක්‍ෂත්‍රිය අභිෂෙකයෙන් මුදුනෙහි අබිසෙස් කරන ලද්දේයි, පුරත්‍ථිමෙන නගරස්ස යනු නුවරින් පෙරදිගිනි, සත්‍ථාගාරං යනු යාග ශාලාවයි, ඛරාජිනං නිවාසෙත්වා යනු කුර සහිත අඳුන් දිවි සමක් හැඳයි. සප්පිතෙලෙන යනු ගිතෙලින් හා තෙලෙනි, ගිතෙල් හැර ඉතිරි යම්කිසි තෙලක් වේද එය තෙලයි කියනු ලැබේ. කණ්ඩුවමානො යනු නිය සිඳින ලද බැවින් කැසියයුතු කල්හි එයින් කසන්නේයි, අනත්‍ථරහිතාය යනු නොඇතිරීම සඳහායි: සරූපචච්ඡාය යනු සමාන වස්සකු ඇති යනුයි, ඉදින් දෙන සුදු වෙයි ද, වස්සා ද සුදු වූවෙක්මය, ඉදින් දෙන දුඹුරු හෝ රතු හෝ වේ ද, වසුපැටවා ද ඇය සමාන වූයේයි මෙසේ සමාන වසුපැටවකු ඇති යනුයි, සො එවමාහ යනු ඒ රජතෙමේ මෙසේ කියයි, වච්ඡතරා යනු තුරුණු වසු බව ඉක්මවූ බලවත් වස්සෝයි, වච්ඡතරි යනාදියෙහි ද මේ ක්‍රමයමැයි, බරිහිසත්තාය යනු වටකිරීමට මෙන්ම යාග බිමෙහි ඇතිරීම සඳහා ද වෙයි.
සතරවැනි පුද්ගලයා බුද්ධෝත්පාද කාලයෙහි සිට දැක්වීමට ‘ඉධ තථාගතො’ යනාදිය කීය. තථාගතානි යනාදියෙහි කියන ලද අර්‍ත්‍ථ ඇත්තේමය, තං ධම්මං යනු කියන ලද ආකාරයෙන් යුක්ත ධර්‍මයයි, සුණාති ගහපති වා යනු කුමක් නිසා පළමුව ගෘහපතියා නිර්දේශ කරයි ද? නිහතමානී බව ද බොහෝ බව ද නිසාය, බොහෝ සෙයින් ක්ෂත්‍රිය කුලයෙන් පැවිදිවූවෝ මන්ත්‍ර නිසා මාන කරති, පහත්ජාති කුලයෙන් පැවිදිවූවෝ තමන්ගේ විජාතික බවින් පිහිටීමට නොහැකිවෙත්, ගෘහපති දරුවෝ වනාහි එබඳු මානය නැති බැවින් නසනලද මාන ගවර්‍ ඇත්තෝ වෙත්, කිසිලිවලින් දහදිය හෙලමින් පිටෙහි ලුණු පිපෙත්දී ඔවුහු පැවිදිව මානය හෝ ආඩම්බරය නොකොට ශක්ති පමණින් බුද්ධධර්‍මය උගෙන විදර්‍ශනාවට කටයුතු කරන්නාහු අරහත් බවෙහි පිහිටන්නට හැකිවෙති, සෙසු කුලයන්ගෙන් නික්ම පැවිදි වූවෝ බොහෝ නොවෙති, ගෘහපතියෝම බොහෝ වෙති, මෙසේ නිහතමාන බැවින් ද, බහුල බැවින් ද පළමුව ගෘහපතියා නිර්දේශ කරයි.
අඤ්ඤතරසමිං වා යනු සෙසු කුලයන්ගෙන් හෝ එක්තරා කුලයකයි, පච්චාජාතො යනු උපන්නේයි, තථාගතෙ සද්ධං පටිලභති යනු පිරිසුදු ධර්‍මය අසා ධර්‍මස්වාමී වූ තථාගතයන් වහන්සේ කෙරෙහි තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයයි ශ්‍රද්ධාව ලබයි, ඉති පටිසඤ්චික්ඛති යනු මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කරයි, සම්බාධො සරාවාසො යනු ඉදින් රියන් සැටක හෝ යොදුන් සියයක අතරක් ඇති හෝ ගෙයක අඹුසැමි යුවලක් වෙසෙත්ද එසේ වෙයි, කරදර සහිත යන අරුතින් ගෘහවාසය බාධා සහිතමය, රජාපථො යනු රාගරජස් නැගෙන තැනයයි මහ අටුවාවෙහි කියන ලදි. ආගමන පථය (එන මාර්‍ගය) යනු, ද වටියි, නොලැගෙන බැවින් අභ්‍යවකාශය මෙනැයි අබ්භොකාසො නමි, පැවිද්දෝ වනාහි දොරකවුළු වැසී ඇති සැඟවී ඇති කුළුගෙවල් රුවන් පහර දෙව්වීමන් ආදියෙහි වසන්නේ ද, නොලැගෙයි, නොඇලෙයි, නොබැඳෙයි. එහෙයින් අබ්භොකාසො පබ්බජ්ජාය කියන ලදි, තව ද කුශල ක්‍රියාවට ඉඩ ඇති බැවින් ගෘහවාසය බාධා සහිතය, නොවසනලද කුණු ගොඩක් මෙන් කෙලෙස් රජස් රැස්වන තැනක් බැවින් රජාපථයකි, කුශල ක්‍රියාවන්ට සුවසේ අවකාශ සපයන බැවින් පැවිද්ද අභ්‍යවකාශයකි,
නයිදං සුකරං -පෙ- පබ්බජෙය්‍යං යන මෙහි මේ සැකවින් කථාවයි, යම් මේ ශික්ෂාත්‍රය බ්‍රහ්මචර්‍ය්‍යාව එක් දිනකුදු නොකඩ කොට අවසන් සිත පැමිණවිය යුතු බැවින් එකන්තපරිපුණ්‍ණං නමි, එක් දිනකුදු කෙලෙස් මලින් අපිරිසුදු නොකොට අවසන් සිත පැමිණවියයුතු බැවින් එකන්තපරිසුද්ධං නමි, සඞ්ඛලිඛිතං යනු ලියවූ හක්ගෙඩියක් මෙන් සේදු හක්ගෙඩියකට සමානව හැසිරිය යුතුයි, මෙය පහසු නොවේ, අගාරං අජ්ඣාවසාතා යනු ගිහිගෙහි වසන්නහු විසිනි, එකන්තපරිපුණ්ණං -පෙ- චරිතුං, යන්නූනාහං කෙසේ ද, රැවුල ද බහා කසට රසපෙවූ බැවින් කාසායානි නම් වූ, බඹසර වසන්නවුනට සුදුසු වත්‍ථානි වස්ත්‍රය, අච්ඡාදෙත්වා යනු හැඳයි, අගාරස්මා ගිහිගෙයින් නික්ම පබ්බජෙය්‍යං පැවිදිවන්නේ නම් යනුයි. මෙහිද යම්හෙයකින් ගිහිගෙයට හිතවත්වූ කෘෂි වණික් ආදී කටයුතු අගාරියයි කියනු ලැබේ. එයද පැවිද්දට නැත, එබැවින් පැවිද්ද අනගාර්යයි දතයුතුය, එය අනගාරියං නමි, පබ්බජෙය්‍යං යනු පිළිපදින්නෙමි,