7. මල්ලිකා සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි මල්ලිකාදෙවි යනු පසේනදී රජුගේ බිසවයි, යෙනමීධෙකච්චො මාතුගාමො යනු යම් හෙයකින් මෙහි එක් ස්ත්‍රියක් යනුයි, දුබ්බණ්ණා යනු පිළිකුල් දනවන පැහැය ඇත්තේ. දුරූපා යනු නොමනා සටහන් ඇත්තීයි, සුපාපිකා යනු බෙහෙවින් පවිටු වූ, බෙහෙවින් ලාමකවූයි, දස්සනාය යනු දැකීමටයි, දිළිද්දා යු ධනයෙන් දිළිඳුවූයි, අප්පස්සකා යනු ස්වකීය ධනධාන්‍ය රහිතවූයි, අප්පභොගා යනු උපභොග පරිභොග භාණ්ඩ රහිතවූයි, අප්පෙසක්ඛා යනු අඩු පිරිවර ඇත්තාවූයි අඩ්ඪා යනු ඉසුරු ඇත්තාවූයි. මහද්ධනා යනු පරිභොග කරන ධනයෙන් මහත් සේ ධනවත්වූයි, මහාභොගා යනු උපභොග පරිභොග භාණ්ඩයන්ගෙන් මහත් භෝග ඇත්තාවූයි, මහෙසක්ඛා යනු මහත් පිරිවර ඇතියි, අභිරෑප යනු උතුම් රුවැතියි, දස්සනීයා යනු දැක්මට සුදුසුවූයි, පාසාදිකා යනු දැකුමෙන් පහදවන්නාවූයි, වණ්ණපොක්ඛරතාය යනු වර්‍ණයෙන් මෙන්ම ශරීර සටහනින් ද යනුයි,
අභිසජ්ජති යනු ඇලෙයි, ව්‍යාපජ්ජති යනු ප්‍රකෘතිය අත්හරියි, පතිත්‍ථියති යනු ක්‍රොධ වශයෙන් දැඩිබවට තදබවට පැමිණෙයි. න දාතා හොති යනු දෙන්නියක නොවෙයි, සෙය්‍යාවසථපදීපෙය්‍යං යනු මෙහි සෙය්‍යා යනු ඇඳ පළඟ ආදී නිදන අසුනයි, ආවසථො යනු වසන ගෙයයි, පදීපෙය්‍යං යනු වැටිතෙල් ආදී පහන් උපකරණයැයි කියනු ලැබේ, ඉස්සාමනිකා යනු ඊර්‍ෂ්‍යාවෙන් යුක්ත සිතැත්තීය, මේ ක්‍රමයෙන් සියලු තැන අර්‍ත්‍ථය දතයුතුයි, කොධානා අහොසිං යනු ක්‍රෝධ සිත් ඇත්තී වූයෙමි, අනිස්සාමනිකා අහොසිං යනු ඊර්‍ෂ්‍යාවෙන් තොර සිතැත්තී වීමි. මෙහි ඉතිරිය පැහැදිලි අරුත් ඇත්තේමය.
8. තාප සූත්‍ර වර්ණනාව
අටවැනි සූත්‍රයෙහි අත්තන්තප ආදියෙහි තමන් තවයි, දුකට පමුණුවයි යන්නෙන් අත්තන්තපො නමි, තමන් තැවීමෙහි යෙදීම අත්තපරිතාපනානුයොගං නමි, අනුන් තවන්නේනුයි, පරන්තපො නමි, අනුන් තැවීමේ යෙදීම පරපරිතාපනානුයොගං නමි, දිට්ඨෙවධම්මො යනු මේ ආත්මභාවයේදීමයි, නිච්ඡානො යනු තෘෂ්ණාව ඡාතයි කියනු ලැබේ, ඒ තෘෂ්ණාව ඔහුට නැතැයි නිච්ඡාතො නමි, සියලු කෙලෙසුන්ගෙන් නිවුණු බැවින් නිබ්බුතො නමි, ඇතුළත තවන කෙලෙසුන් නැති බැවින් සිසිල් වූයේයි සිතිභූතො යි ධ්‍යාන මාර්‍ගඵල නිර්වාණ සුඛයන් විඳිනුයි සුඛපටිසංවෙදි නමි, බ්‍රහ්මභුතෙන අත්තනා යනු ශ්‍රේෂ්ඨ වූ තමා විසිනි,
අචෙලකො යනාදිය කියන ලද අරුත් ඇත්තේය, ඔරබ්භිකා යනාදියෙහි එළුවෝ උරබ්භායි කියනු ලැබෙත්, එළුවන් නසයි යන්නෙන් ඔරබ්භිකො නමි වෙයි. සූකරික යනාදියෙහිද මේ ක්‍රමයමයි, ලුද්දො යනු දරුණු තැනැත්තේයි, කර්‍කශ තැනැත්තේයි, මච්ඡඝාතකො මසුන් බඳින්නා කෙවුලායි, බන්ධනාගාරිකො යනු සිරගෙය රකින්නායි, කුරූරකම්මන්තා යනු දරුණු කර්‍මාන්ත ඇත්තෝයි,
මුද්ධාවසිත්තො යන ක්‍ෂත්‍රිය අභිෂෙකයෙන් මුදුනෙහි අබිසෙස් කරන ලද්දේයි, පුරත්‍ථිමෙන නගරස්ස යනු නුවරින් පෙරදිගිනි, සත්‍ථාගාරං යනු යාග ශාලාවයි, ඛරාජිනං නිවාසෙත්වා යනු කුර සහිත අඳුන් දිවි සමක් හැඳයි. සප්පිතෙලෙන යනු ගිතෙලින් හා තෙලෙනි, ගිතෙල් හැර ඉතිරි යම්කිසි තෙලක් වේද එය තෙලයි කියනු ලැබේ. කණ්ඩුවමානො යනු නිය සිඳින ලද බැවින් කැසියයුතු කල්හි එයින් කසන්නේයි, අනත්‍ථරහිතාය යනු නොඇතිරීම සඳහායි: සරූපචච්ඡාය යනු සමාන වස්සකු ඇති යනුයි, ඉදින් දෙන සුදු වෙයි ද, වස්සා ද සුදු වූවෙක්මය, ඉදින් දෙන දුඹුරු හෝ රතු හෝ වේ ද, වසුපැටවා ද ඇය සමාන වූයේයි මෙසේ සමාන වසුපැටවකු ඇති යනුයි, සො එවමාහ යනු ඒ රජතෙමේ මෙසේ කියයි, වච්ඡතරා යනු තුරුණු වසු බව ඉක්මවූ බලවත් වස්සෝයි, වච්ඡතරි යනාදියෙහි ද මේ ක්‍රමයමැයි, බරිහිසත්තාය යනු වටකිරීමට මෙන්ම යාග බිමෙහි ඇතිරීම සඳහා ද වෙයි.