6. සාළ්හ සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි ද්වයෙන යනු කොටස් දෙකකිනි, ඔඝස්ස නිත්‍ථරණං යනු ඔඝ සතරින් එතෙරවීමයි, තපොජිගච්ඡාහෙතු යනු දුෂ්කර ක්‍රියා සංඛ්‍යාත තපසින් පවු පිළිකුල් කරන හේතුවයි, අඤ්ඤතරං සාමඤ්ඤඞ්ගං යනු එක් මහණ දහම් කොටසකි. අපරිසුද්ධකායසමාචාර යනාදියෙහි මුල් තුන පදයෙන් කායික, වාචසික, චෛතසික ශීලයන්ගේ අපිරිසුදුව දක්වා පසු පදයෙන් අපිරිසුදු දිවිපැවැත්ම දක්වයි, ඤාණදස්සනාය යනු මාර්‍ගඥාන සංඛ්‍යාත වූ දර්‍ශනයාගේයි: අනුත්තරාය සම්බොධාය යනු රහත් බව සඳහායි, අරහත්ඥානස්පර්‍ශයෙන් ස්පර්‍ශ කිරීමට නුසුදුස්සෝයි කියන ලද්දේ වෙයි, සාලලට්ඨිං යනු සල්ගසයි, නවං යනු තරුණ වූයි, අකුක්කුච්චකජාතං යනු වන්නේ ද නොවන්නේ දැයි නොඉපදවිය යුතු කුකුසයි, ලෙඛනියා ලිඛෙය්‍ය යනු සූරන අවියකින් සූරන්නේය, ධොවෙය්‍ය යනු උලන්නේය, අන්තො අවිසුද්ධා යනු ඇතුළත අපිරිසුදු වූවාහු ඉවත්කළ හර ඇත්තාහුයි,
එවමෙව ඛො යනු මෙහි උපමා සැසඳීමයි, සල්ගස මෙන් ආත්මභාවය දැක්විය යුතුය, නදියෙහි සැඩපහර මෙන් සසර සැඩ පහරයි, පරතෙරට යනු කැමති පුරුෂයා මෙන් දෙසැට දිටු ගෙන සිටි පුරුෂයායි, සල්ගසෙහි පිටත මනාව පිරියම් කළ කාලය මෙන් බාහිර වූ තපස් හැසිරීම් දැඩිකොට ගත් කාලයයි, ඇතුළත අපිරිසුදු කාලය මෙන් ඇතුළත ශීලයන්ගේ අපිරිසුදු කාලයයි, සල්ගස ගිලී යටට යාම මෙන් මිසදිටු ගත්තහු සසර සැඬ පහරෙහි ගිලීයාම දතයුතුයි,
පියාරිත්තං ඛන්ධෙය්‍ය යනු හබල හා අරිත්‍රය (සුක්කානම) යොදන්නේය, එවමෙව යන මෙහි ද මෙය උපමා ගැලපීමයි, ආත්මභාවය සල්ගස මෙනි, සසර සැඬපහර නදී සැඬපහර මෙනි, යෝගාවචරයා පරතෙරට යනු කැමති පුරුෂයා මෙනි, සදොරෙහි සංවරය එළඹි කාලය පිටත මනාව ඔපමට්ටම් කළ කාලය මෙනි, ඇතුළත පිරිසුදු සිල්වත් බව ඇතුළත මනාව පිරිසුදු කළ කාලය මෙනි, කායික චෛතසික වීර්‍ය්‍යය කිරීම හබල හා සුක්කානම බැඳීම මෙනි, පිළිවෙලින් සිල් පුරා සමාධිය පුරා ප්‍රඥාව පුරා නිවනට යාම සුවසේ පරතෙරට යාම මෙන් දැක්විය යුතුය,
කණ්ඩචිත්‍රකානි යනු හීදඬු, හීරැහැන්, හිපහය, හීතිරය, හී පොකුණ, හී පියුම යනාදී නොයෙක් හීවලින් කළ හැකි චිත්‍රයෝයි, අථ ඛො සො තීහි ඨානෙහි යනු හෙතෙම මෙසේ බොහෝ හී විසිතුරු දන්නේ වුව ද රජකුට සුදුසුවූයේ නොවෙයි, කරුණු තුනකින්ම වේ යයි අර්‍ත්‍ථය : සම්මාසමාධිහොති යනු මාර්‍ග සමාධියෙන් ද ඵල සමාධියෙන් ද සමාහිත වූයේය යනු මෙහි අර්‍ත්‍ථයයි, සම්මාදිට්ඨි යන මාර්‍ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූයේයි, ඉදං දුක්ඛං යනාදී වූ සතර සත්‍යයෙන් සතර මාර්‍ගය ද ඵල තුන ද කියන ලදි: මෙය වනාහි මාර්‍ගයෙන්ම නොවළක්වන ලද්දේ විදියි නමැයි දතයුතුය. සම්මා විමුත්ති යනු අරහත් ඵලවිමුක්තියෙන් යුක්ත වූයේයි, අවිජ්ජාක්ඛන්ධං පදාලෙති යනු අරහත් මගින් පලාලයි නමැයි කියනු ලැබේ. මේ අරහත් මාර්‍ගයෙන් යට අවිද්‍යා ස්කන්ධය පලනලද්දේ මෙහි වනාහි පලනලද්ද ඇසුරුකොට පලාලයි කීමට වටියි.
7. මල්ලිකා සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි මල්ලිකාදෙවි යනු පසේනදී රජුගේ බිසවයි, යෙනමීධෙකච්චො මාතුගාමො යනු යම් හෙයකින් මෙහි එක් ස්ත්‍රියක් යනුයි, දුබ්බණ්ණා යනු පිළිකුල් දනවන පැහැය ඇත්තේ. දුරූපා යනු නොමනා සටහන් ඇත්තීයි, සුපාපිකා යනු බෙහෙවින් පවිටු වූ, බෙහෙවින් ලාමකවූයි, දස්සනාය යනු දැකීමටයි, දිළිද්දා යු ධනයෙන් දිළිඳුවූයි, අප්පස්සකා යනු ස්වකීය ධනධාන්‍ය රහිතවූයි, අප්පභොගා යනු උපභොග පරිභොග භාණ්ඩ රහිතවූයි, අප්පෙසක්ඛා යනු අඩු පිරිවර ඇත්තාවූයි අඩ්ඪා යනු ඉසුරු ඇත්තාවූයි. මහද්ධනා යනු පරිභොග කරන ධනයෙන් මහත් සේ ධනවත්වූයි, මහාභොගා යනු උපභොග පරිභොග භාණ්ඩයන්ගෙන් මහත් භෝග ඇත්තාවූයි, මහෙසක්ඛා යනු මහත් පිරිවර ඇතියි, අභිරෑප යනු උතුම් රුවැතියි, දස්සනීයා යනු දැක්මට සුදුසුවූයි, පාසාදිකා යනු දැකුමෙන් පහදවන්නාවූයි, වණ්ණපොක්ඛරතාය යනු වර්‍ණයෙන් මෙන්ම ශරීර සටහනින් ද යනුයි,