5. වප්ප සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි චප්පො යනු තථාගතයන් වහන්සේගේ සුළුපියා වූ ශාක්ය රජුයි, නිගණ්ඨසාවකා යනු විශාලා නුවර සීහ සේනාපති වැනි නාලන්දාවෙහි උපාලි ගහපති වැනි නිගණ්ඨනාථ පුත්තයන්ගේ උපස්ථායකයෙකි, කායෙන සංවුතො යනු කායද්වාරය සංවරකළ බැවින් වසන ලද බැවින් කයින් සංවරවූයේ නමි, සෙසු දෙකෙහි ද මේ ක්රමයයි, අවිජ්ජාවිරාගා යනු අවිද්යාව ක්ෂයවීමේ විරාගයෙනි, විජ්ජුප්පාදා යනු මාර්ගවිද්යාව ඉපදීමෙනි, තං ඨානං යනු ඒ කාරණයයි, අවිපක්කවිපාකං යනු නොලබන ලද විපාකවාරයයි, තතො නිදානං යනු එම හේතුවෙන් එම ප්රත්යයෙන්ය, දුක්ඛවෙදනීයා ආසවා අස්සවෙය්යුං යනු දුක්ඛවේදනාවට ප්රත්යය වූ ක්ලේශයෝ හටගනිත්, එම පුද්ගලයාට උපදිත් යයි අර්ත්ථයයි, අභිසම්පරායං යනු දෙවැනි ආත්මභාවයෙහියි, කායසමාරම්භපච්චයා යනු කායකර්ම ප්රත්යයෙනි, ආස්වා යනු කෙලෙස්ය, විඝාතපරිළාහා යන මෙහි විඝාතො යනු දුකයි, පරිළාහො යනු කායික හා චෛතසික දැවිල්ලයි, පුස්ස ඵුස්ස ඛ්යංන්ති කරොති යනු ඥානයෙන් නැසියයුතු කර්මය ඥාන ස්පර්ශයෙන් ස්පර්ශ කරමින් විනාශයට යවයි, විපාකයෙන් නැසිය යුතු කර්මය විපාක ස්පර්ශයෙන් ස්පර්ශ කරමින් විනාශයට යවයි, නිජ්ජරා යනු කෙලෙස් දිරවන පිළිවෙතයි, සෙසු දොරටුවල ද මේ ක්රමයමැයි, මෙහි සිට මේ භික්ෂුව ක්ෂීණාශ්රවයෙක් කළයුතුය, සතර මහා භූතයන් ගෙනහැර චතුස්සත්ය විශ්ලේෂණය දක්වා යම්තාක් අරහත්ඵල කමටහන කිවයුතු
දැන් එම ක්ෂීණාශ්රවයාට නිරන්තර විහරණය දැක්වීමට මෙසේ “සම්මාවිමුත්තචිත්තස්ස” යනාදිය කීය. සම්මා විමුත්තචිත්තස්ස යනු හේතුවෙන් කාරණයෙන් ක්රමයෙන් මනාව මිදුනහුගේයි, සත්තවිහාරා යනු නිත්ය විහරණයෝයි, නිරන්තර විහරණයෝයි, නෙව සුමනො හොති යනු ඉටු අරමුණෙනි ඇලීම් වශයෙන් සොම්නස හටගත්තේ නොවෙයි. න දුම්මනො යනු අනිටු අරමුණෙහි ගැටීම් වශයෙන් දොම්නස හටගත්තේ නොවෙයි, උපෙඛතො විහරති සතො සම්පජානො යනු සිහිනුවණින් වෙළනාලද මධ්යස්ථාකාර ලක්ෂණ ඇති උපෙක්ෂාවෙන් ඒ අරමුණුවල උපෙක්ෂකව මධ්යස්ථව වාසය කරයි.
කායපරියන්තිකං යනු ජීවිතය අත්තකොට, දිවි කෙළවර කොටයි, යම්තාක් දිවි පවතීද එතෙක් පැවති මනොද්වාරික වේදනාවය යන අර්ත්ථයයි, එහි පඤ්චද්වාරික වේදනාව පසුව ඉපිද පළමුව නිරුද්ධ වෙයි, මනොද්වාරික වූ වේදනාව පළමුව ඉපිද පසුව නිරුද්ධ වෙයි, එය පිළිසිඳගන්නා මොහොතෙහි වස්තු රූපයෙහිම පිහිටයි, පඤ්චද්වාරික වේදනාව පංචද්වාර වශයෙන් පවතිමින් පළමු වියවූ විසිවස් කල්හි ඇලීම් කිපීම් මුළාවීම් වශයෙන් අධිකව (වැඩිවී) බලවත් වෙයි, පණස්වස් කල්හි සිටියේ වෙයි, සැටවස් කල්හි සිට පිරිහෙමින් පසු අනුවස් කල්හි මඳ වෙයි, එකල්හි සත්ත්වයෝ බොහෝ කලක් එක්ව හුන්නෙමු, වැදහොත්තෙමුයි කියන කල්හි ද නොදනිමුයි කියති, ඉතා දැඩි වූ රූපාරම්මණයන් ද නොදකිමු, නොඅසුමු ගඳ සුවද හෝ මිහිරි හෝ අමිහිරි, තද හෝ මෙලෙක් යයි නොදනිමුයි කියති, මෙසේ ඔවුන්ගේ පංචද්වාරික වේදනාව බිඳුණේ වෙයි, මනොද්වාරික වේදනාව පවතියි. යම්තාක් එම වේදනාව පවතීද ඒතාක් සත්ත්වයා ජීවත් වේයැයි කියනු ලැබේ. යම් විටෙක නොපවතීද එකල්හි මළේ නිරුද්ධ වූයේයි කියනු ලැබේ.
මෙම අර්ත්ථය වැවකට සමානකොට දැක්විය යුත්තේය, යම්සේ පුරුෂයෙක් ජලමාර්ග පහකින් සමන්විත වැවක් කරන්නේද, පළමුව වැසි වටකල්හි ජලමාර්ග පසෙන් ජලය පිවිස වැව ඇතුළත වලවල් පිරෙන්නේය, නැවත නැවත වැසි වස්නා කල්හි දියමං පුරවා ගවු අඩයොදුන් පමණ පැතිරී, ඒ ඒ තැනින් ගලායමින් ජලය පවතින්නේය, ඉක්බිති සොරොවු විවරකොට කුඹුරුවල වැඩකරන කල්හි දිය නික්මෙන්නේයි ද, ගොයම් පැසෙන කල්හි දිය නික්මුණේයි ද, දිය පිරිහිණ, මසුන් ගනිමුයි කියයුතු බවට පැමිණෙන්නේය, ඉක්බිති කිහිපදිනකින් වලවල්හිම දිය රඳා ඇත්තේය, යම්තාක් දිය වලවල්හි වෙයිද එතෙක් මහවැවෙහි දිය ඇතැයි පිළිගැනීම වෙයි, යම් විටෙක එහි සිඳීයයි ද එවිට වැවෙහි දිය නැතැයි කියනු ලැබේ, මේ කාරණය ඒ අයුරින් දතයුතුය.
පළමුව වැසි වටනා කල්හි දියමං පසින් දිය පිවිසෙන විට වලවල් පිරුණු කාලය මෙන් පළමුවම ප්රතිසන්ධි ක්ෂණයෙහි මනෝද්වාරික වේදනාව වස්තුරූපයෙහි පිහිටි කාලයයි, නැවත නැවත වැසි වස්නා කල්හි මාර්ග පස පිරුණු කාලය මෙන් ප්රවෘත්තියෙහි පංචද්වාරික වේදනාවගේ පැවැත්මයි. ගව්වක් අඩුයොදුනක් පමණ දිය පැතිරි සිටීම මෙන් පළමුවියෙහි විසිවස් කල්හි ඇලීමාදි වශයෙන් එම වේදනාවගේ අධිකව බලවත් බවයි, යම්තාක් වැවෙන් ජලය නොනික්මෙයි ද එතෙක් වැව පුරවා සිටි කාලයයි, සොරොවු විවරකළ කල්හි කර්මාන්ත කරනවිට දිය නික්මෙන කාලය මෙන් සැටවස් කාලයෙහි සිට එම වේදනාවගේ පිරිහීමයි, දිය බැසගිය කල්හි දියමංවල මඳදියක් සිටි කාලය මෙන් අසූ අනුවස් කල්හි පංචද්වාරික වේදනාව අඩු කාලයයි, වලවල්හි පමණක් දිය පිහිටි කාලය මෙන් හදවත් කෙළවර නිසා මනෝද්වාරයෙහි වේදනාව පැවති කාලයයි: වලවල මද දියක් වුවද ඇති කල්හි වැවෙහි දිය ඇතැයි කිවයුතු කාලය මෙන් යම්තාක් එම වේදනාව පවතියිද එතෙක් සත්ත්වයා ජීවත් වේයයි කියනු ලැබේ. යම්සේ වලවල්හි දිය සිඳුණු විට වැවෙහි දිය නැතැයි කියනු ලැබේ ද එසේ මනෝද්වාරික වේදනාව නොපවත්නා කල්හි සත්ත්වයා මළේ යයි කියනු ලැබේ. මේ වේදනාව අරභයා “ජීවිත පරියන්තිකං වෙදනං වෙදියමානො”යි කියන ලදි.
කායස්ස භෙදා යනු කය බිඳීමෙනි, උද්ධං ජීවිතපරියාදානා යනු ජීවිතක්ෂයෙන් මත්තෙහියි, ඉධෙව යනු ප්රතිසන්දි වශයෙන් වෙනතක නොගොස් මෙහිමයි, සීති භවිස්සන්ති යනු පැවැත්මේ සැලීම් හා උවදුරු රහිත සිසිල් බව, නොපැවැත්මේ ධර්ම වෙයි,