10. මහාපදෙසදෙසනා සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි භොගනගරෙ විහරති යනු පිරිනිවන් සමයෙහි චාරිකාවෙහි හැසිරෙන සේක් ඒ නුවරට පැමිණ එහි වසන සේක, ආනන්ද චෙතියෙ යනු ආනන්ද යක්ෂයා වසන තැන පිහිටි විහාරයෙහියි, මහාපදෙසෙ යනු මහත් වූ පෙදෙසක හෝ මහත් කරුණෙහිය, බුද්ධාදී වූ මහත් මහත් අය දක්වමින් කියන ලද මහකරුණුය යන අරුත්ය, නෙව අභිනන්දිතබ්බං යනු සතුටින් සාධුකාර දී මුලින්ම නොඇසියයුතුය, මෙසේ කළකල්හි පසුව මෙය නොගැලපේ යයි කියන්නේ ද කිමෙක්ද කලින්ම මේ ධර්මයයි දැන් ධර්මය නොවේ යයි කියා ලබ්ධිය ඉවත නොදමයි, න පටික්කොසිතබ්බං යනු කුමක් මේ මෝඩයා කියත්දැයි කලින්ම මෙසේ නොකිව යුතුය. මෙසේ කීකල්හි කීමට සුදුසු දෙය ද නොකියයි, එහෙයින් “අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා”යි කියන ලදි, පදව්යඤ්ජනානි යනු පදසංඛ්යාත ව්‍යංජනයි, සාධුකං උග්ගහෙත්වා යනු මෙතැන්හි පෙළ කියන ලදි, මෙතැන්හි අර්ත්ථය කියන ලදි. මෙතැන්හි ගැලපීම් කරන ලදි, මෙතැන්හි පූර්වාපරය කියනලදැයි මනාව ගෙනයි, සුතෙත ඔතාරෙතබ්බානි යනු සූත්‍රයෙහි බහාලිය යුතුයි, විනයෙ සන්දස්සෙතබ්බානි යනු විනයෙහි (විනය සමග) සැසදිය යුතුයි.
මෙහි ද සුත්තං යනු විනයයි කියන ලදි, “කත්ථ පටික්ඛිත්තං සාවත්ථියං සුත්තවිභඞ්ගෙ”යි කියන ලද්දේ එහෙයිනි, විනයො යනු ඛන්ධකයයි, ‘කොසම්බියං විනයාතිසාරෙ’යි කියන ලද්දේ එහෙයිනි, මෙසේ විනය පිටකයද හාත්පසින් නොගැනෙයි, උභතො විභඞ්ගයෙන් සුත්තඛන්ධ පරිවාර යන මේවා විනයයි මෙසේ විනයපිටකය හාත්පසින් ගැනෙයි, නැතහොත් සූත්‍රාන්ත පිටකය සුත්ත යයි ද විනයපිටකය විනයයි ද මෙසේ පිටක දෙකම ගනුලැබෙයි, සූත්‍රාන්ත අභිධර්ම පිටක හෝ සුත්ත යයි ද විනය පිටකය විනයයි මෙසේ ද තුන්පිටකය ගනු නොලැබෙයි, ජාතක, පටිසම්භිදා නිද්දෙස, සුත්තනිපාත, ධම්මපද, උදාන, ඉතිවුත්තක, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා, අපදාන යනුවෙන් සූත්රනාමයෙන් නොගැනෙන බුද්ධ වචනයක් ඇත.
සුදින්න තෙරණුවෝ වනාහි අසුත්ත නම් වූ බුද්ධ වචනයක් ඇත්දැයි ඒ සියල්ල ප්‍රතික්ෂේප කොට තුන්පිටකය සුත්ත (නම්ය) විනය වනාහි කාරණයයි පැවසූහ. එයින් එකරුණ දක්වන්නෝ මේ සූත්‍රය ගෙනහැර දැක්වූහ:
“ගෞතමිය, මේ ධර්මයෝ රාගය පිණිස පවතිත්, විරාගය පිණිස නොවෙත්, සංයෝගය සඳහා පවතිත්, වියෝගය සඳහා නොවෙත්, දැඩිව ගැනීම සඳහා පවතිත්, අඩු ආශාව සඳහා නොපවතිත්, අසතුට සඳහා පවතිත්, සතුට සඳහා නොපවතිත්, අලසබව සඳහා පවතිත්, වීර්යය පටන් ගැනීම සඳහා නොපවතිත්, රැස්කිරීම සඳහා පවතිත්, තුනී කිරීම සඳහා නොපවතිත් යනුවෙන් යම් ධර්මයන් දන්නෙහි ද ගෝතමිය ඒකාන්තයෙන් එය ධර්මය නොවේය. එය විනය නොවේය, එය ශාස්තෲ ශාසනය නොවේයයි ඒකාන්තයෙන්ම දන්නෙහිය (දතයුතුය).
ගෞතමිය, මේ ධර්මයෝ විරාගය සඳහා පවතිත්, රාගය සඳහා නොවෙත්, විසංයෝගය සඳහා පවතිත්, සංයෝගය සඳහා නොවෙත්, දැඩිව නොගැනීම සඳහා පවතිත්, දැඩිව ගැනීම සඳහා නොවෙත්, අපිස් බව සඳහා පවතිත්, බොහෝවක් කැමති බව සඳහා නොවෙත්, සතුට සඳහා පවතිත්, අසතුට සඳහා නොවෙත්, වීර්යය ඇරඹීම සඳහා පවතිත්, අලසබව සඳහා නොවෙත්, විවේකය සඳහා පවතිත්, එක්ව ගොනුවීම සඳහා නොවෙත්, තුනී කිරීම සඳහා පවතිත්, රැස්කිරීම සඳහා නොවෙත් යනුවෙන් ධර්මයන් දන්නෙහි ද, ගෞතමිය ඒකාන්තයෙන්ම එය ධර්මයයි. එය විනයයි එය ශාස්තෲ ශාසනයයි දතයුතුය.
එබැවින් සුත්තෙ යනු ත්‍රිපිටක බුද්ධ වචනයෙහි බහාලිය යුත්තාහ. විනයෙ යනු මේ රාගය දුරුකරන කරුණෙහි සැසඳිය යුත්තාහුය යන මෙය මෙහි අර්ත්ථයයි, න චෙව සුත්තෙ ඔතරන්ති යනු සූත්‍ර පිළිවෙළින් කිසි තැනක නොගොස් පිටපොත්ත නඟා පෙන්වා සැඟවුණු වෙස්සන්තර සැඟවුණු උම්මග්ග සැඟවුණු විනය වේදල්ල පිටකයන්ගෙන් එකෙකින් ආ ඒවා පෙනෙත් යයි අර්ත්ථයයි. රාගාදි විනයෙහි ද නොපැනෙන එසේ ආ දෙය ඉවතලිය යුතුයයි එයින් කියන ලදි. ඉදං භික්ඛවෙ චතුත්ථං මහාපදෙසං ධාරෙය්යාථ යනු ධර්මයෙහි පිහිටීමට ඉඩක්වන මෙම සතර වැන්න දරන්නහුයි.
තෙවැනි වූ සඤ්චෙතනිය වර්ගයයි.
4. බ්‍රාහ්මණ වර්ගය
1. යොධාජීව සූත්‍ර වර්ණනාව
සිවුවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි ඨානකුසලො යනු යම් තැනක සිටියේ නොවළහා විදින්නට හැකිවෙයි ද එම ස්ථානයෙහි දක්ෂවූයේයි, සෙස්ස යට කියනලද අයුරින්ම දතයුතුය,
2. පාටිභොග සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයෙහි නත්ථි කොචී පාටිභොගො යනු මම මෙහි ඇපකරු වෙමැයි මෙසේ ඇපකරුවකු වීමට සමතෙක් නම් නැත, ජරාධම්මං යනු ජරාස්වභාවයයි, හැමතන්හි මෙම ක්‍රමයයි,
3. වස්සකාර සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි නත්ථි තතො දොසො යනු එහි දොසක් නම් නැතැයි අර්‍ත්‍ථයි.
4. ජාණුස්සොනී සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි ජීවිතය අමාරුවට පත් කිරීමේ අර්ත්ථයෙන් රෝගයම රොගාතඞ්කො නම් පුට්ඨස්ස යනු ඒ රෝගාබාධයෙන් යුක්තවූයේයි, උරත්තාලිං කන්දති යනු පපුවට පහරදෙමින් හඬයි, අකතකල්යාණො යනාදියෙන් කල්‍යාණ යනු පින්කමයි, එය මොහු විසින් නොකරන ලදැයි අකතකල්යාණොයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි, පින්කමම දක්ෂබවට පත් වූ බැවින් කුසලං නමි, බියවූවහු රකින බැවින් භීරුත්තාණං යි කියනු ලැබේ. කතපාපො යනාදියෙහි ලාමක වූ අකුසල කර්මය පාපයි කියනු ලැබේ, ලුදදං යනු රළු කර්මයයි, කිබ්බිසං යනු මල සහිත වූ අපිරිසුදු කර්මයයි, කඞ්ඛී හොති යනු බුද්ධ, ධම්ම, සංඝ යන ගුණයන්හි ද ශික්ෂාවෙහි ද පූර්වාන්තයෙහි ද අපරාන්තයෙහි ද පූර්වාපරාන්තයන්හි ද පටිච්චසමුප්පාදයෙහි ද යන අට තැන්හි සැකයෙන් යුක්තවූයේ වෙයි, වෙචිකිච්ඡි යනු විඡිකිච්ඡාවෙන් යුක්තවූයේ ශාසන සද්ධර්මයෙහි නිමාවට නොගියේ ඉගෙනීම් පිළිවිසීම් වශයෙන් කෙළවරට යාමට නොහැක්කේයි, මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්ත්ථය දතයුතුය.