7. අචින්තෙය්‍ය සූත්‍ර වර්ණනාව
සවැනි සූත්‍රයෙහි අවිනෙතය්‍යානි යනු සිතීමට නොසුදුසු දේයි, න චින්තෙතබ්බානි යනු නොසිතිය යුතු බැවින්ම නොසිතිය යුතුවු දේයි, යානි චින්තෙන්තො යනු යම් කිසි කරුණු සිතන්නායි, උම්මාදස්ස යනු උමතුබවටයි, විඝාතස්ස යනු දුකටයි, බුද්ධවිසයො යනු බුදුවරුන්ට විෂය (ගෝචර) වූයි, සර්‍වඥතාඥාන ආදී බුද්ධගුණයන්ගේ පැවැත්ම හා ආනුභාවයයි, ඣානවිසයො යනු අභිඥාධ්‍යාන විෂයයි, කම්මවිපාකො යනු දිට්ඨධම්මවේදනීය ආදී කර්‍මයන්ගේ විපාකයයි, ලොකචින්තා යනු කවරකු විසින් සඳහිරු කරන (මවන) ලද්දේ ද, කවරකු විසින් මහපොළොව, කවරකු විසින් මහසයුර, කවරකු විසින් සත්ත්වයෝ, උපදවන ලද්දාහුද? කවරකු විසින් පර්‍වත, කවරකු විසින් අඹ තල් පොල් අදිය මවන ලද්දයි මෙබඳු වූ ලෝකය පිළිබඳවූ සිතීමය.
8. දක්ඛිණවිසුද්ධි සූත්‍ර වර්ණනාව
අටවැනි සූතයෙහි දක්ඛිණාවිසුද්ධියො යනු දානසංඛ්‍යාත දක්‍ෂිණාව පිරිසුදුකරවන කරුණුයි, දායකතො විසුජ්ඣති යන මහත්ඵලභාවයෙන් පිරිසුදුවෙයි, මහත්ඵලවේයයි අරුත්ය. කල්‍යාණධම්මො යනු පිරිසුදු ධර්‍මයෝයි, පාපධම්මො යනු පහත් ධර්‍මයයි, දායකතො විසුජ්ඣති යන මෙහි වෙස්සන්තර මහරජු කිවයුතුය, හෙතෙම වනාහි ජූජක බමුණාට දරුවන් දී මහපොළොව කම්පා කරවූයේය, ගටිග්ගාහකතො විසුජ්ඣති යන මෙහි කැලණි ගං මුවදොර වැසි කෙවුලා කිවයුතුය, හෙතෙම දීඝසුම්ම තෙරුන්ට තෙවරක් පිණ්ඩපාතය දී මරණ මඤ්චකයෙහි හොවින්නේ ආර්‍යවූ දීඝසුම්ම තෙරුන්ට දුන් පිණ්ඩපාතය මා ඔසවන්නේ යයි කීවේය, නෙව දායකතො යන මෙහි වඩ්ඪමානවාසී වැද්දා කිවයුතුය, හෙතෙම ප්‍රෙතදානය දෙන්නේ එකම දුසිලෙකුටම තෙවරක් දුන්නේය, තෙවැනිවර දුශ්ශීල අමනුෂ්‍යයෙක් මා මැඩලතියි හඬනැඟීය, එක් සිල්වත් භික්ෂුවකට දී පැමිණවූ කාලයෙහිම පැමිණියේය, දායකතො චෙව පටිග්ගාහකතො යන මෙහි අසදෘශදානය කිවයුතුය.
9. වණිජ්ජා සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි තාදිසාව යනු එබඳුවූම, එයට සමානවූම යනුයි, ජෙදගාමිනී හොති යනු සිඳීමට යයි, යමක් පතන ලද්දේ ද ඒ සියල්ල නැසේයයි අරුත්ය, න යථාධිප්පායා හොති යන අදහස පරිදි සිදුනොවෙයි, පරාධිප්පායා හොති යනු අනුන්ගේ අදහස තම අදහසට වඩා වැඩි ප්‍රතිඵල ඇත්තේ වෙයි, සමණං වා බ්‍රාහ්මණං වා යනු මෙහි සමනය කළ බහා තැබූ පවු ඇති බැවින් ශ්‍රමණ බ්‍රාහ්මණ බව දතයුතුය. වද භන්තෙ පච්චයෙන යනු ස්වාමීනි සතරාකාර චීවරාදී ප්‍රත්‍යයෙන් ඉල්වන්නේයයි මෙසේ පවරයි. ආරාධනය කරයි, යෙන පවාරෙති යනු පිරිසිඳ යම්පමණකින් පවරයි, තං න දෙති යනු එය සියල්ලෙන්ම නොදෙයි. තං න යථාධිප්පායං දෙති යනු ඔහුගේ අදහස යම්සේද එසේ දීමට නොහැකි වෙයි, අඩුකොට මදක් දෙයි, යථාධිප්පායං දෙති යනු ඔහුගේ අදහස යම්සේද එසේදීමට නොහැකි වෙයි, අඩුකොට මදක් දෙයි, යථාධිප්පායං දෙති යනු හෙතෙම යම් පමණක් කැමති වෙයිද එපමණම දෙයි, පරාධිප්පායං දෙති යනු මදක් පවරා අතුරා බොහෝ දෙයි.
10. කම්බොජ සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි නෙව සහායං නිසීදති යනු විනිශ්චය කිරීම සඳහා විනිශ්චය සභාවෙහි නොහිඳියි, න කම්මන්තං පයොජෙති යනු කෘෂිවණික් ආදී මහා කර්‍මාන්ත නොයොදයි. න කම්බොජං ගච්ඡති යනු භොග ගෙන ඒම සඳහා කාම්බෝජ රටට නොයයි, මෙය දේශනාමාත්‍රයක්ම වෙයි, යම්කිසි පිටරටකට නොයයි යන අරුත්ය, කොධනො යනාදියෙහි ක්‍රෝධ කරන බැවින් ක්‍රෝධයෙන් මැඩලුණේ අර්‍ත්‍ථ අනර්‍ත්‍ථ නොදනියි, ඊර්‍ෂ්‍යාවෙන් අනුන්ගේ සැපත නොයිවසයි, මසරු බැවින් ධනය දී වැඩක් කිරීමට නොහැකි වෙයි, අනුවණ බැවින් යම්කිසිවක් සංවිධානය කරන්නට නොහැකි වෙයි, එබැවින් මේ සභාවෙහි හිඳීම ආදිය නොකරයි.
තෙවැනි වර්ගයයි.
4. මචල වර්ගය
1-5. පාණාතිපාතී ආදි සූත්‍ර වර්ණනා
සතරවැනි වර්ගයේ පළමු සූත්‍රාදිය පැහැදිලි අරුත් ඇත්තේමය, පස්වැන්නෙහි පහත් කුලයෙහි උපන්නේය යනාදී අඳුරෙන් යුක්තවූයේයි තමො නමි. කායදුශ්චරිතාදියෙන් නිරයට එළඹීමෙන් තම්පරායනො නමි, මෙසේ මේ දෙකින්ම ස්කන්ධ අන්ධකාරය කියන ලදි. ආඪ්‍ය කුලයෙහි උපන්නේය යනාදී වූ බැබලීමෙන් යුතුවූයේ ජොති නමි, ආලෝකවත් වූයේයි කියන ලද්දේ වෙයි. කාය සුචරිතාදිය නිසා ස්වර්‍ගයෙහි ඉපදීම නමැති ආලෝකවත් බවට එළැඹීමෙන් ජොතිපරායනො නමි, මේ ක්‍රමයෙන් ඉතිරි දෙක ද දතයුතුය,
වෙන කුලෙ යනු කුළුපොතු කුලයෙහියි, නෙසාදකුලෙ යනු මුව වැද්දන්ගේ කුලයෙහියි, රථාකාරකුලෙ යනු සම්කරුවන්ගේ කුලයෙහියි, පුක්කුසකුලෙ යනු කසළ ඉවත් කරන්නන්ගේ කුලයෙහියි, කසිරවුත්තිකෙ යනු දුෂ්කර රැකියා කරන්නවුන්ය, දුබ්බණ්ණො යනු පාංශු පිසාචයකු මෙන් දැවුණු කණුවක පැහැය ඇත්තේයි, දුදදසසිකො යනු වැදූ මවට ද අමනාප වූ දැකුම් ඇත්තේයි, ඔකොටිමකො යනු මිට්ටායි, කාණො යනු එකැස් කණා හෝ දෑස් කණා හෝයි, කුණී යනු එක් අතක් කොර වූ හෝ දෑත කොරවූ හෝ තැනැත්තායි, ඛඤ්ජො යනු එක් පයක් කොරවූ හෝ දෙපය කොරවූ තැනැත්තායි, පක්ඛහතො යනු පැත්තක් නැසුණු තැනැත්තේ, ඇවිදීමට නොහැකිවූයේයි. පදීපෙය්‍යස්ස තෙල් කබලු ආදී පහන් උපකරණයෝයි, එවං ඛො භික්ඛවෙ යනු මෙහි එක් පුද්ගලයෙක් පිටත ආලෝකය නොදැක මවුකුසෙහිදීම කළුරිය කොට අපායන්හි උපදින්නේ සියලු කල්පයම සැරිසරයි, හෙතෙම අඳුරෙන් අඳුරම පිහිට කරගන්නායි, හෙතෙම කුහක පුද්ගලයෙක් වන්නේය, කුහකයාට මෙබඳු උපතක් වේයි කියන ලදි.
මෙහිද “පහත් කුලයෙහි” ආදියෙන් පැමිණෙන විපත් මෙන්ම අනාගත හේතු විපත ද දක්වන ලදි. “දළිද්දෙ” යනාදියෙන් පැවති හේතු විපත ද “කසිරවුත්තිකෙ” යනාදියෙන් ජීවනෝපාය විපත්තිය ද දුබ්බණ්ණො යනාදියෙන් ආත්මභාව විපත්තිය ද “බව්හාබාධො” යනාදියෙන් දුකට හේතු එක්වීම ද “නලභති” ආදියෙන් සැපතට හේතු විනාශය මෙන්ම උපභොග විනාශය ද “කායෙන දුච්චරිතං” යනාදියෙන් අඳුර පිහිට කොට ඇති බවට කරුණු එකතුවීම ද “කායස්සභෙදා” යනාදියෙන් පරලොව අඳුර එළඹීම ද දක්වන ලදි. කියන ලද්දට විරුද්ධ ක්‍රමයෙන් යහපත් වූ පැත්ත දතයුතුය.