2. ද්වීතීය පණ්ණාසකය
1. පුඤ්ඤාභිසන්ද වර්ගය
1. ප්‍රථම පුඤ්ඤාභිසන්ද සූත්‍ර වර්ණනාව
දෙවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි පුඤ්ඤාභිසන්දා යනු පිනේ ගලාබැසීම්, පිනේ ඉපදීම් යන අරුත්ය, කුසලාභිසන්දා යනු ඊටම පර්‍ය්‍යය වචනයකි, ඔවුහු වනාහි සුවය ගෙන එත්නුයි සුඛස්සාහාරා නමි. මනාව අග්‍ර වූ රූපාදිය දෙන්නෝනුයි සොවග්ගිකා නමි. සැපය ඒවායේ විපාකය යන අරුතින් සුඛවිපාකා නමි. ස්වර්‍ගයෙහි උපත ස්වර්‍ගයයි, ස්වර්‍ගය සඳහා පවතියි සග්ගසංවත්තනිකා නමි. චීවරං පරිභුඤ්ඤමානො යනු සිවුරු සඳහා වස්ත්‍රයක් ලැබ ඉදිකටුනුල් ආදිය නොමැති බැවින් එය බහාතබන්නේ ද, කරන්නේ ද, කරවන්නේ ද, පොරවන්නේ ද, දිරුණු කල ඇතිරිල්ලක් කරන්නේ ද, ඇතිරීමට නොහැක්කේ නම් බුමුතුරුනක් කරන්නේ ද, බුමුතුරුනකට නොසුදුසු දෙය පලපලා පාපිස්නක් කරන්නේ ද, පරිභොග කරන්නේ යයි කියනු ලැබේ. යම් විටෙක මෙය පාපිස්නකට ද නොහැකැයි හැමද ඉවතලන ලද්දේ වෙයිද එවිට පරිභොග කරනු ලබන්නේ නොවෙයි අප්පමාණං චෙතොසමාධියං යනු අරහත්ඵල සමාධියයි, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො යන මෙයින් දායකයාගේ පුණ්‍යචේතනාවේ අපමණ බව කියයි, ඔහුගේ වනාහි “මගේ සිවුර ක්ෂීණාශ්‍රවයන් වහන්සේ පරිභොග කරන සේකැ”යි යළි යළිත් සිහිකිරීම් වශයෙන් පැවති පුණ්‍ය චේතනාව අපමණ වෙයි. එය සඳහා මෙය කියන ලදි. පිණ්ඩපාතාදියෙන් යමෙක් පිණ්ඩපාතය වළඳා සත්දිනකුදු එයින්ම යැපෙයි ද අනෙකක් පරිභෝග නොකරයි ද හෙතෙම සත් දිනකුදු එම පිණ්ඩපාතය පරිභොග කරන්නේ නම් වෙයි, එක් සෙනසුනක රාත්‍රි ස්ථාන දිවාස්ථානාදියෙහි සක්මන් කරන්නේ ද යම්තාක් ඒ සෙනසුන අතහැර වෙන සෙනසුනක් නොගනියි ද එතෙක් පරිභාග කරන්නේ නම් වෙයි. එක් බෙහෙතකින් රෝගය සංසිඳෙන කල යම්තාක් වෙනත් බෙහෙතක් නොවළඳයි ද එතෙක් පරිභොග කරන්නේ නමි.
බහුභෙරවං යනු බොහෝ වූ බියජනක අරමුණුවලින් යුක්තවූයි, රතනගණානං යනු උතුම් සත්රුවනේයි, ආලයං යනු වසන තැනයි, පුථුස්සවං යනු බොහෝ වී වැගිරෙන්නාවූයි. මෙහි සෙස්ස පැහැදිලිමය.
2. දුතිය පුඤ්ඤාභිසන්ද සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයෙහි අරියකනෙතහි යන මාර්‍ගඵල සමඟ යෙදුනවුන්ගෙනි, ඒවා ආර්යයන්ගේ සිත් ගන්නේ වෙයි. ප්‍රිය වූයේ මනාපවූයේ වෙයි. සෙස්ස සූත්‍රාන්තයෙහි යම්තාක් යමක් කිවයුතු ද එය විසුද්ධිමග්ගයෙහි කියන ලද්දේමය.
ගාථාවන්හි වනාහි, සද්ධා යනු සෝවාන් වූවහුගේ ශ්‍රද්ධාව අදහස් වෙයි. සීලං යනු ද සෝවාන් සීලයයි, උජුභූතඤ්ච දස්සනං යනු කායවංකාදිය නොමැති බැවින් ක්ෂීණාශ්‍රවයාගේ දර්‍ශනය සෘජුවූ දර්‍ශනය නමි. ආහු යනු කියත්, පසාදං යනු බුද්ධ ධර්‍ම සංඝ යන තුනුරුවන් කෙරෙහි පැහැදීමයි, ධම්මදස්සනං යනු චතුරාර්‍ය්‍යසත්‍ය ධර්‍මය දැකීමයි.
3. පඨම සංවාස සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයෙහි සම්බහුලාපී ඛො ගහපතී ච ගහපතානියො ච යනු බොහෝ ගැහැවියෝ ද ගැහැවිනියෝ ද ආවාහ විවාහ කිරීම සඳහා ඒ මගටම පිළිපන්නාහු යති, සංවාසා යනු සහවාසයයි, එක්ව විසීමයි, ඡවො ඡවාය යනු ගුණමරණයෙන්. මැරුණු බැවින් මළසිරුර ගුණමරණයෙන්ම මැරුණු මළ සිරුරක් සමගයි, දෙවියා සද්ධිං යනු ගුණයන්ගෙන් දේවතාවියක වූවක සමගයි, දුස්සීලො යනු සිල් නැත්තේයි. පාපධම්මො ලාමක ධර්‍ම ඇත්තේයි, අක්කොසකපරිභාසකො යනු දශ ආක්‍රොශ වස්තූන්ගෙන් ආක්‍රොශ කරයි. බිය දක්වා තර්ජනය කිරීමෙන් පරිහව කරන්නේයි, මෙසේ සියලු තන්හි අර්‍ත්‍ථය දතයුතුය,
කදරියා යනු දැඩි මසුරෝයි, ජානිපතයො යනු අඹුසැමියෝයි, වදඤ්ඤු යනු ඉල්වන වචනයේ අරුත් දනිති, සඤ්ඤතා යනු සීලසංයමයෙන් යුක්ත වූවෝයි, ධම්මජීවිනො යනු දහමෙහි සිට දිවිගෙවත්නුයි ධම්මජීවිහුය, අත්‍ථා සම්පචුරා හොන්ති යනු වෘද්ධි සංඛ්‍යාත වූ අර්‍ත්‍ථයෝ මොවුනට බෙහෝ වෙත්, ඵාසත්තං උපජායති යනු ඔවුනොවුනට පහසු විහරණ ඇතිවෙයි, කාමකාමිනො යනු කාමයෙහි කැමැතිවන්නාහුයි.
4. දුතිය සංවාස සූත්‍ර වර්ණනාව
සිවුවැනි සුත්‍රයෙහි දෙසනාව කර්‍මපථ වශයෙන් පවත්වන ලදි. සෙස්ස එබඳුමය, මේ සූත්‍ර දෙකෙහි අගාරික පටිපදාව කියන ලදි. සෝවාන් සකෘදාගාමීන්ට ද වටියි.
5-6. පඨම නකුල සමජීවී ආදි සූත්‍ර වර්ණනා
පස්වැනි සූත්‍රයෙහි තෙනුපසඞ්කමි යනු කුමක් සඳහා එළඹුනේද යත්? අනුග්‍රහය සඳහාය, තථාගතයන් වහන්සේ වනාහි එරටට වැඩමවන්නාහු මේ දෙදෙනාටම අනුග්‍රහය සඳහා වැඩමවන සේක. නකුලපියා වනාහි ජාති පන්සියයක තථාගතයන් වහන්සේට පියා විය. ජාති පන්සියයක් මහපියා (මහප්පා) ද ජාති පන්සියයක් සුළුපියා ද විය, නකුල මව ජාති පන්සියක් මව වූවාය, පන්සියයක් ජාති මහම්මා ද ජාති පන්සියයක් සුළුමව ද වූවාය, ඔවුහු ශාස්තෲන් වහන්සේ දුටුකල පටන් පුත් සෙනෙහස ලබා, වසු පැටවා දැක වසුපැටවාට ඇළුම් ඇති දෙනක මෙන් දරුව දරුවයි හඬනගමින් ළඟට එළඹ පළමු දැක්කෙන්ම සෝවාන් වූවාහුය. නිවසෙහි පන්සියයක් භික්ෂූන්ට අසුන් පැනවූයේම වෙයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඔවුනට අනුග්‍රහය සඳහා එළඹුණු සේක. අතිචරිතා යනු ඉක්මවන ලද්දේයි, අභිසම්පරායඤ්ච යනු පරලොවෙහි ද යනුයි. සමසද්ධා යනු ශ්‍රද්ධාවෙන් සමවුවාහු එකසමාන වුවාහුයි. ශීලාදියෙහි ද මේ ක්‍රමයමයි. සයවැනි සූත්‍රය හුදෙක් භික්ෂූන්ට දෙසන ලදි. මෙහි සෙස්ස එබඳුමය.