5. පඨම රොහිතස්ස සූත්ර වර්ණනාව
පස්වැනි සුත්රයෙහි යත්ථ යනු සක්වල ලොවෙහි එක් තැනක වූ බිමයි. න චවති න උප්පජ්ජති යන මෙය ඒ ඒ තැන චුතිපටිසන්ධි වශයෙන් ගන්නා ලදි. ගමනෙන යනු පා ගමනෙනි. නාහන්තං ලොකස්ස අන්තං යනු ශාස්තෲන් වහන්සේ සංස්කාර ලෝකයේ කෙළවර උදෙසා දේශනා කරති. ඤාතය්යං යනාදියෙහි දතයුතුය, දැකිය යුතුය, පත්විය යුතුය යන අරුත්ය. මෙසේ දිව්ය පුත්රයා විසින් සක්වල ලෝකයේ කෙළවර අසන ලද්දේ ශාස්තෲන් වහන්සේ විසින් සංස්කාර ලෝකයේ (කෙළවර) කියන ලද්දේ හෙතෙම වනාහි තමන්ගේ ප්රශ්නය සමග ශාස්තෲන් වහන්සේගේ විසඳීම ගැලපේයයි හැඟීමෙන් සතුටට පත්වන්නේ අච්ඡරියං යනාදිය කීවේය.
දළ්හධම්මා යනු දැඩි වූ දුනු ඇත්තේ, උත්තම ප්රමාණයේ දුන්නෙන් සැදුම් ලද්දේයි. ධනුග්ගහො යනු දුනු ඇදුරායි. සික්ඛිතො යනු දොළොස් වසක් ධනු ශිල්පය උගන්නා ලද්දේයි. කතහත්ත්ථො යනු ඉස්බක් පමණ දුරෙහි ද කෙස් අග විදින්නට සමත් බැවින් කෘතහස්ත වූයේයි. කතුපාසනො යනු කරන ලද හී විදීම් ඇත්තේ දක්වන ලද ශිල්ප ඇත්තේයි. අසනෙන යනු ඊතලයෙනි, අතිපාතෙය්ය යනු ඉක්මවන්නේය. යම් කාලයකින් හෙතෙම පතුරු සිදුරක් ඉක්මවන්නේද එපමණ කලකින් එක් සක්වළක් ඉක්මවමැයි තමන්ගේ ජවසම්පත්තිය දක්වයි.
පුරත්ථිමා සමුද්දා පච්ඡිමො යනු යම්සේ පෙරදිග සයුරෙන් පෑළදිග සයුර දුරෙහිද එසේ මගේ පියවර තැබීම දුරෙහි වී යයි කියයි. හෙතෙම පෙරදිග සක්වළ මුවවිටෙහි සිටියේ පා දිගු කොට පැසුළුදිග සක්වළ මුවවිට ඉක්මවයි. යළි දෙවැනි පා විහිදුවා පරසක්වල මුවවිට ඉක්මවයි. ඉච්ඡාගතං යනු කැමැත්තමය. අඤ්ඤත්රෙව යනු නොපමා බව දක්වයි. පිඬු හැසිරෙන වේලෙහි මෙතෙම නාගලතා දැහැටිදඬු විකා අනවතප්ත විලෙහි මුව දොවා කාලය පැමිණි විට උතුරුකුරු දිවයිනෙහි පිඬු පිණිස හැසිර සක්වළ මුවවිටෙහි හුන්නේ බත්කිස කරයි. එහි මොහොතක් විවේක ගෙන යළි දුවයි. වස්සසතායුකො යනු එකල්හි දීර්ඝායුෂ්ක කාලය වෙයි. මෙතෙම වනාහි ආයුෂ වර්ෂ සියයක් ඉතිරිව තිබියදී ගමන ඇරඹීය. වස්සසත ජීවි යනු ඒ වසර සියය අනතුරකින් තොරව ජීවත් වන්නේයි. අන්තරායෙව කාලකතො යනු සක්වළ ලොවේ කෙළවරට නොපැමිණ අතරතුරදීම මළේයි. හෙතෙම එහි කලුරිය කොට ද අවුත් මේ සක්වළම උපන්නේය.
අප්පත්වා යනු සංස්කාර ලෝකයේ අන්තයට නොපැමිණයි, දුක්ඛස්ස යනු සසර දුකටයි, අන්තකිරියං යනු අවසන් කිරීමයි. කළෙවරෙ යනු අත්බවෙහියි, සසඤ්ඤිම්හි සමනකෙ යනු සංඥා සහිත සිත් සහිත වුයෙහියි. ලොකං යනු දුක්ඛ සත්යයයි. ලොකසමුදයං යනු සමුදය සත්යයයි, ලොකනිරොධං යනු නිරෝධ සත්යයයි, පටිපදං යන මාර්ග සත්යයයි, මෙසේ ඇවැත්නි මම මේ සිවුසස් තෘණකාෂ්ටාදියෙහි (තණලී ආදියෙහි) නොපනවමි. මේ සතර මහාභූතයන්ගෙන් හටගත් කයෙහිම පනවමැයි දක්වයි. සමිතාවී යනු සමනය කළ පවු ඇත්තේයි. නාසිංසි යනු නොපැතුවේයි, සයවැනි සූත්රය පැහැදිලි අරුත ඇත්තේමය.
7. සුවිදූරවිදූර සූත්ර වර්ණනාව
සත්වැනි සූත්රයෙහි සුවිදූරදුරානි යනු යම්කිසි ක්රමයකින් ලංවී බොහෝ දුරුවූ දේම දුරුවූයේයි. නභඤ්ච භික්ඛවෙ පඨවී ච යනු අහස හා මහපොළොවයි. එහි අහස නම් පොළොවෙන් දෑඟුල් අඟල පමණෙහිවත් දුරෙහි නොවෙයි. ඔවුනොවුන් නොලැගෙන අරුතින් බොහෝ දුර යයි කියන ලදි. වෙරෙචනො යනු සූර්ය්යයායි. සතඤ්ච භික්ඛවෙ ධම්මො යනු සතර සතිපට්ඨානාදී භේද ඇති සත්තිස් බෝධිපාක්ෂිය ධර්මයි. අසතඤ්ච ධම්මො යනු දෙසැටක් දෘෂ්ටිවශයෙන් භේද ඇති අසද්ධර්මයයි.
පහඞ්කරො යනු ආලෝකය කරන්නායි. අව්යයිකො හොති යනු නොපෙනී යන ස්වභාවය ඇත්තේ වෙයි. සතං සමාගමො යනු පණ්ඩිතයන්ගේ මිත්රසන්ථව වශයෙන් එක්වීමයි, යාචම්පි තිට්ඨෙය්ය යනු යම්පමණ කාලයක් සිටින්නේය යනුයි, තථෙව හොති යනු එබඳුම වෙයි. පියෙවි ගතිය අත්නොහරියි. ඛිප්පං භි වෙති යනු ඉක්මණින් පහවයයි.