5. රොහිතස්ස වර්ගය
1. සමාධිභාවනා සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි ඤාණදස්සනපටිලාභාය යනු දිබ්බචක්ඛු ඥානදර්ශනය ලැබීම සඳහායි. දිවාසඤ්ඤං අධිට්ඨාති යනු දහවල්ය යන මෙබඳු සංඥාවක් අදිටන් කළේය. යථා දිවා තථා රත්තිං යනු යම්සේ දහවලෙහි අලෝක සංඥාව මෙනෙහි කරන ලදද එසේත්ම එම රැය ද මෙනෙහි කරයි. දෙවැනි පදයෙහි ද මෙම ක්‍රමයමැයි. සප්පභාසං යනු දිබ්බචක්ඛුඤාණාලොකය සමඟ වූ ආලෝකයයි. ආලෝකයට සමාන වූ කිසිවක් කරන ලදැයි යන අර්ත්ථය මෙහිදී නොසැලකිය යුතුය. මෙහිදී දිබ්බචක්ඛුඤාණාලොකයම අදහස් කරන ලදි.
විදිතා යනු ප්රකටවීයි. කෙසේනම් වේදනාවෝ ප්රකටව උපදිත් ද ප්රකටව නැතිවෙත්ද? මෙහිදී භික්ෂුව (අරමුණට නිසි ) වස්තුව ගනියි. අරමුණ ගනියි, ඔහුට හාත්පසින් ගන්නා ලද වස්තු හා අරමුණු ඇති බැවින් ඒ වේදනාවෝ මෙසේ ඉපිද මෙසේ සිට මෙසේ නිරුද්ධ වෙතැයි ප්රකටව උපදිත් ප්රකටව සිටිත් ප්රකටව දුරුවෙත් නමි. සංඥාවිතර්කයන්හි ද මේ ක්‍රමයමයි.
උදයබ්බයානුපස්සී යනු හටගැනීම ද විනාශය ද දකින්නේයි. ඉතිරූපං යනු රූපය මෙබඳු රූපය මෙපමණකි මෙයින් මත්තෙහි නැත යනුයි. ඉති රූපස්ස සමුදයො යනු රූපයේ හටගැනීම මෙසේය යනුයි. අත්ථගමො යනු විනාශය අදහස් කරයි. වේදනාදියෙහි ද මෙම ක්‍රමයමයි. ඉදඤ්ච පන මෙතං භික්ඛවෙ සන්ධාය භාසිතං යනු මහණෙනි, මා විසින් පුණ්ණක ප්‍රශ්නයෙහිදී “සඞ්ඛාය ලොකස්මිං” ආදිය කියන ලද්දේ ද එය මෙම ඵලසමාපත්තිය සඳහා කියන ලදැයි අර්ථයි.
එහි සඞ්ඛාය යනු නුවණින් දැනයි. ලොකස්මිං යනු සත්ත්ව ලෝකයෙහියි. පරොවරානි යනු උසස් පහත් උත්තම අධම වූවාහුය. ඉඤ්ජිතං යනු සෙලවුණුයි. නත්ථි කුහිඤ්චි ලොකෙ යනු ලොවෙහි කිසිතැනක එකම ස්කන්ධයක ද ආයතනයක ද එක් ධාතුවක ද එක් අරමුණක් ද නැත. සන්තො යනු විරුද්ධ කෙලෙස් සංසිඳීමෙන් ශාන්තවූයි. විධූමො යනු ක්‍රොධ දුමෙන් ඉවත් වූ දුම් ඇත්තේයි. මෙසේ මෙහි සූත්‍රාන්තයෙහි මාර්ග එකාග්‍රතාව ද කියා ගාථාවෙහි ඵලසමාපත්තියම කියන ලදි.
2. පඤ්හබ්යාකරණ සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයෙහි යො ච නෙසං තත්ථ තත්ථ ජානාති අනුධම්මතං යනු යමෙක් මේ ප්රශ්නයන්ගේ ඒ ඒ තැන විවරණය (පිළිතුර) දකීද යනුයි. චතු පඤ්හස්ස කුසලො ආහු භික්ඛුං තථාවිධං යනු එබඳු වූ භික්ෂුව ඒ සිවුපැනයන්හි දක්ෂයෙකැයි මෙසේ කියත්. දුරාස දො දුප්පසහො යනු අනුන් විසින් ගැටීමට හෝ යටපත් කිරීමට නොහැකියි. ගම්භිරො යනු සප්තමහා සමුද්‍රය මෙන් ගැඹුරුය. දුප්පධංසයො යනු අත්හරවන්නට (මුදවන්නට) දුෂ්කර වූවාහුය. දැඩිව ගැනීම අත්හරවන්නට නොහැක්කෝයි අර්‍ත්‍ථයි. අත්ථෙ අනත්ථෙ ච යනු වැඩ අවැඩ දෙකෙහිය. අත්ථාභිසමයා යනු අර්ත්ථය එක්වීමෙනි. ධීරො පණ්ඩිතොති වුච්චති යනු ධෛර්ය සම්පන්න පුද්ගල තෙමේ මෙතෙම පණ්ඩිතයකැයි කියයි. මෙසේ කියනු ලැබේ.
3. පඨම කොධගරු සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයෙහි කොධගරු න සද්ධම්මගරු යනු ක්‍රෝධය ගෞරවයෙන් ගරුකොට ගනියි, සද්ධර්මය වනාහි අගෞරවයෙන් ලාමක කොට ගනියි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි.
විරූහන්ති යනු වැඩෙත්. හටගත් මුලින් හෝ ශ්‍රද්ධාවෙන් පිහිටත්, නොසෙල්වී සිටිත්.
4. දුතිය කොධගරු සූත්‍ර වර්ණනාව
සතරවැනි සූත්‍රයෙහි කොධගරුතා යනු ක්‍රෝධයෙහි ගෞරවය සහිතබවයි. සියලුතන්හි මේ ක්‍රමයයි.
5. පඨම රොහිතස්ස සූත්‍ර වර්ණනාව
පස්වැනි සුත්‍රයෙහි යත්ථ යනු සක්වල ලොවෙහි එක් තැනක වූ බිමයි. න චවති න උප්පජ්ජති යන මෙය ඒ ඒ තැන චුතිපටිසන්ධි වශයෙන් ගන්නා ලදි. ගමනෙන යනු පා ගමනෙනි. නාහන්තං ලොකස්ස අන්තං යනු ශාස්තෲන් වහන්සේ සංස්කාර ලෝකයේ කෙළවර උදෙසා දේශනා කරති. ඤාතය්යං යනාදියෙහි දතයුතුය, දැකිය යුතුය, පත්විය යුතුය යන අරුත්ය. මෙසේ දිව්‍ය පුත්‍රයා විසින් සක්වල ලෝකයේ කෙළවර අසන ලද්දේ ශාස්තෲන් වහන්සේ විසින් සංස්කාර ලෝකයේ (කෙළවර) කියන ලද්දේ හෙතෙම වනාහි තමන්ගේ ප්රශ්නය සමග ශාස්තෲන් වහන්සේගේ විසඳීම ගැලපේයයි හැඟීමෙන් සතුටට පත්වන්නේ අච්ඡරියං යනාදිය කීවේය.
දළ්හධම්මා යනු දැඩි වූ දුනු ඇත්තේ, උත්තම ප්‍රමාණයේ දුන්නෙන් සැදුම් ලද්දේයි. ධනුග්ගහො යනු දුනු ඇදුරායි. සික්ඛිතො යනු දොළොස් වසක් ධනු ශිල්පය උගන්නා ලද්දේයි. කතහත්ත්ථො යනු ඉස්බක් පමණ දුරෙහි ද කෙස් අග විදින්නට සමත් බැවින් කෘතහස්ත වූයේයි. කතුපාසනො යනු කරන ලද හී විදීම් ඇත්තේ දක්වන ලද ශිල්ප ඇත්තේයි. අසනෙන යනු ඊතලයෙනි, අතිපාතෙය්ය යනු ඉක්මවන්නේය. යම් කාලයකින් හෙතෙම පතුරු සිදුරක් ඉක්මවන්නේද එපමණ කලකින් එක් සක්වළක් ඉක්මවමැයි තමන්ගේ ජවසම්පත්තිය දක්වයි.