4. කාළකාරාම සූත්ර වර්ණනාව
සතරවැන්න අර්ථොත්පත්තියෙහි ඉදිරිපත් කරන ලදි. කවර අර්ථොත්පත්තියකදයත්? දශබලයන් වහන්සේගේ ගුණ කථාවෙහිදීය. අනේපිඬු සිටුගේ දියණිය වූල සුභද්දා සාකෙත නුවරෙහි කාලක සිටුපුතුගේ ගෙට යන්නී ශාස්තෲන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, මම මිසදිටු කුලයකට යමි. ඉදින් එහිදී සත්කාර ලබන්නෙම් නම් එක් පුරුෂයකු එවන කල්හි ප්රමාද වන්නේය, භාග්යවතුන් වහන්සේ මා සිහිකරනු මැනවැ”යි ප්රතිඥා ගෙන ගියාය. සිටුතෙමේ මගේ ලේලිය ආවායැයි උත්සවයක් කරන්නේ බොහෝ කැවිලි පෙවිලි පිළියෙළ කරවා අචෙලකයන් පන්සියයකට ආරාධනය කළේය. ඒ සිටුතෙමේ එම අචේලකයන් හුන්කල්හි මාගේ දුව පැමිණ රහතුන් වඳීවායි චූල සුභද්රාවට පණිවිඩ යැවිය. ලබන ලද ආර්යඵල ඇති ආර්ය ශ්රාවිකාවක වූ ඕතොමෝ රහතුන් යයි කී කල්හිම මට ලාභයකැයි නැඟිට ගියාය. අශෝහන දැකුම් ඇති අචේලකයන් දැක දරුව යමෙකුට ඇතුළත ලජ්ජාව නැත්ද පිටත බිය නැත්ද ශ්රමණයෝ නම් එබඳු නොවෙයි කියා මේ ශ්රමණයෝ නොවෙති. චී චීයි කෙළ හෙලා හැරී තමන් වසන තැනටම ගියාය.
ඉක්බිති අචෙලකයෝ මහසිටාණ, ඔබ කොයින් මෙබඳු කාලකණ්ණියක් ලබන ලද්දීද කිම සියලු දඹදිව වෙනත් දැරියක් නැද්දැයි සිටාණන්ට අපහාස කළාහුය. හෙතෙම ඇදුරුවරුනි, දැන හෝ කරන ලද්දක් වේවා, නොදැන හෝ කරන ලද්දක් වේවා, මෙහිලා මම දැන ගන්නෙමියි අචෙලකයන් යවා සුභද්රාව වෙත ගොස් දරුව කුමක් නිසා මෙසේ කළෙහිද? කුමක් නිසා රහතුන් ලජ්ජා කරවුවාදැයි ඇසීය. “පියාණෙනි, රහත්හු නම් මෙබඳු නොවෙති”. ඇය කීවාය, ඉක්බිති හෙතෙම ඇයට මෙසේ කීය.
ඔබගේ ශ්රමණයෝ කෙබඳු වෙත්ද? දැඩි සේ (ඔබ) ඔවුන් පසසහි, ඔවුන්ගේ ශීලය කුමක්ද? මනා හැසිරීම කුමක්ද? අසනලද්දී මට එය කියව.
ඕ තොමෝ කීවාය:
සන්සුන් ඉඳුරන් ඇත්තාහුය. සන්සුන් සිත් ඇත්තාහුය, සන්සුන් තෙද ඇත්තාහුය, ගුණමාර්ගයෙහි පිහිටියාහුය, යටට හෙළු ඇස් ඇත්තාහුය, පමණට කථාකරන්නාහුය, මගේ ශ්රමණයෝ එබඳු වෙති.
බැඳුම් සිඳි ඇතකු මෙන් වනයට පිවිස තනිව දෙවැන්නකු නැතිව වෙසෙති. මගේ ශ්රමණයෝ එබඳු වෙති.
මෙසේද කියා සිටාණන්ගේ ඉදිරියෙහි සිට තුනුරුවන් ගුණ ප්රකාශ කළාය. සිටුතෙමේ ඇයගේ වචනය අසා ඉදින් එසේනම් ඔබගේ ශ්රමණයන් ගෙන්වා මංගල්යයක් (උත්සවයක්) කරමුදැයි ඇසුවේය. “පියාණෙනි, කවදා කරන්නහුද?” කිහිප දිනකිනැයි කීවිට (දූතයන්) යවා කැඳවන්නී යයි (සිතා) ඇයට “දියණිය හෙටය”යි කීවේය, ඕතොමේ සවස්කල්හි මතුමහලට නැග මහත් මල් බඳුනක් ගෙන ශාස්තෲන් වහන්සේගේ ගුණ සිහිකොට මල් අටමිටක් දසබලයන් වහන්සේ වෙතට විසුරුවා ඇඳිලිබැඳ නමදිමින් සිටියාය. මෙසේද කීවාය. “භාග්යවතුන් වහන්ස, හෙට භික්ෂුන් පන්සියයක් සමඟ මගේ භික්ෂාව ගනු මැනව”. ඒ මල් ගොස් දසබලයන් වහන්සේ මත්තෙහි වියනක් වී සිටියේය. ශාස්තෲන් වහන්සේ මෙනෙහි කරන්නාහු එම කරුණ දුටුවාහුය. දම්දෙසුම අවසන්හි අනේපිඬු මහසිටාණෝ බුදුන් වැඳ, ස්වාමීනි, හෙට භික්ෂුන් පන්සියයක් සමඟ මගේ ගෙහි භික්ෂාව ගනුමැනවැයි කීහ. “මහ සිටාණෙනි, චූළසුභද්රා විසින් ඇරයුම් ලදුමි”යි පැවසූ සේක. “ස්වාමීනි, පැමිණි කිසිවකු නොදකිමු”යි (සිටුතෙමේ කීය). “එසේය සිටාණෙනි, සැදැහැවත් උවැස්ස යොදුන් සියයක් මතුයෙහිද යොදුන් දහසක් මතුයෙහිද සිටියාවුවද හිමවත මෙන් (පැහැදිලිව) පෙනෙන්නේය”යි බුදුන් වහන්සේ පැවසූ සේක.
සන්සුන් වූ තැනැත්තෝ හිමවත් පව්ව මෙන් දුරෙහි බැබලෙති. සන්සුන් නොවූවෝ රැයෙහි විදිනලද හීතල මෙන් නොදක්නා ලැබෙති.
(බුදුරජාණන් වහන්සේ) මේ ගාථාව ප්රකාශ කළ සේක. අනේපිඬු සිටුතෙමේ, “ස්වාමීනි, මගේ දියණියට සංග්රහ කරනු මැනවැයි වැද පිටත්වූයේයි.
ශාස්තෲන් වහන්සේ “ආනන්ද, මම සාකෙතයට යන්නෙමි. භික්ෂූන් පන්සියයකට සලාකය දෙන්න. දෙන්නේ ද ෂට් අභිඥාලාභීන්ටම දෙන්නේය”යි අනඳ තෙරුන් අමතා වදාළ සේක. තෙරුන් වහන්සේ එසේ කළහ. චූල සුභද්දා තොමෝ, “බුදුවරුනම් බොහෝ කිස ඇත්තාහුය, කටයුතු බහුල වූවාහුය. මා ගැන සලකන්නහුද? නැද්ද? කුමක් නම් කරන්නෙම්දැ”යි රෑ මුළුල්ලෙහි සිතුවාය. එකෙණෙහි වෙසවුණු, මහරජ තෙමේ චූල සුභද්දා සමඟ කථාකරමින්, “යහපත් තැනැත්තිය, නොසතුටු නොවන්න. භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේ සමඟ හෙට ඔබගේ දානය පිළිගන්නා ලදැ”යි පැවසීය. ඕ තුටු පහටුවූවා දානය සංවිධානය කළාය. සක්දෙව්රජ තෙමේද, විස්කම් දෙවියන් අමතා “දරුව, භාග්යවතුන් වහන්සේ සාකේත නුවර චූලසුහද්දා සමීපයට වඩිති. කුළුගෙවල් පන්සියයක් මවව”යි කීවේය. හෙතෙම එසේ කළේය. ශාස්තෲන් වහන්සේ ෂඩභිඥාලාභී පන්සියයක් භික්ෂූන් විසින් පිරිවරනලද සේක් කුළුගේ යානයෙන් මිණිවන් අහස සූරමින් මෙන් සාකේත නුවරට වැඩම කළ සේක.