5. බ්රහ්මචරිය සූත්ර වර්ණනාව
පස්වැනි සූත්රයෙහි, ජනකුහනත්ථං යනු තුන්කුහක වස්තූන්හි ජනයා රවටනු පිණිසයි. න ජනලපනත්ථං ජනයා වංචාවට පත් නොකරවනු සඳහායි. න ඉතිවාදප්පමොක්ඛානි සංසත්ථං යනු ඒ ඒ කරුණින් කරන ලද වාදයන්ගේ අනුසස් සඳහා නොවේ, වාදයේ ප්රමුඛානිසංසය සඳහා නොවේ. න ඉති මං ජනො ජානාතු යනු මේ භික්ෂුව මෙසේය. මේ භික්ෂුව මෙසේ යයි ජනයාට දන්වනු සඳහා නොවේ යනුයි. සංවරත්ථං යනු සංවර පහෙන් සංවරවීම සඳහායි. පහානත්ථං යනු ත්රිවිධ ප්රහාණයෙන් දුරු කරනු සඳහායි. විරාගත්ථං යනු රාගාදීන්හි නොඇලීම සඳහායි. නිරොධත්ථං යනු ඒවා දුරුකිරීම සඳහායි. අනීතිහං යනු මෙසේ දුරුකරන ලද අන්යයන් විශ්වාස කිරීම යන අර්ථයි. නිබ්බානොගධගාමිනං යනු නිවන ඇතුළතට යන්නාවූයි. මාර්ග බ්රහ්මචර්ය්යාව වනාහි නිවන අරමුණුකොට නිවන ඇතුළෙහිම පවතියි. පටිපජ්ජං යනු ද්විවිධ වූ පිළිපැදීමයි. මේ සූත්රයෙන් වර්තවිවර්තයන් කියා ගාථාවන්හි විවර්තයම කියන ලදි.
6. කුහක සූත්ර වර්ණනාව
සයවැනි සූත්රයෙහි කුහා යනු කුහකයෝයි. ථද්ධා යනු ක්රොධයෙන් හා මානයෙන් දැඩිවූවෝයි. ලපා යනු රවටන්නෝයි. සිඞ්ගී යනු “තත්ථ කතමං සිඞ්ගං යං සිඞ්ගං සිඞ්ගරතා චතුරතා චාතුරියං පරික්ඛත්තතා පරික්ඛිත්තතා පාරික්ඛත්තියං” යි මෙසේ කියනලද අං සමාන ප්රකට කෙලෙසුන්ගෙන් යුක්ත වූවාහුයි. උන්නළා යනු උඩඟු වූවාහු හිස්බව නංවා සිටියෝයි. අසමාහිතා යනු සිතෙහි එකඟ බව මඳකුදු නැත්තේයි. න මෙ තෙ භික්ඛවෙ භික්ඛු මාමකා යනු ඒ මගේ භික්ෂූහු මට අයත් වූවෝ නොවෙත්. “තෙ මය්හං” යන මෙය ශාස්තෲන් වහන්සේ උදෙසා පැවිදි වූ බැවින් කියන ලදි. තෙ ඛො මෙ භික්ඛවෙ භික්ඛුමාමකා යනු මෙහිද මගේ යනු තමන් උදෙසා පැවිදි වූ බැවින් කියයි. මනාව පිළිපන් බැවින් මාමක යයි කීහ. වුද්ධිං විරූළ්හං වෙපුල්ලං ආපජ්ජන්ති යනු සීලාදි ගුණයෙන් වැඩෙන බැවින් වෘද්ධියට ද නිශ්චලභාවයෙන් වැඩීයාමටද සියලු තන්හි පතළ බැවින් විපුලත්වයට ද පැමිණෙත්. මොවුහු වනාහි රහත් මග දක්වා වැඩෙති. රහත්ඵලයට පත් කල්හි වැඩුනෝ නම් වෙති. මෙසේ මේ සූත්රාන්තයෙහි ද ගාථාවන්හි ද වට්ටවිවට්ටයම කියනලදි.
7. සන්තුට්ඨි සූත්ර වර්ණනාව
සත්වැනි සූත්රයෙහි අප්පානි යනු මඳවූ දෙයයි. සුලභානි යනු සුවසේ ලද හැකි දෙයයි. යම්කිසි තැනක ලැබීමට හැකිවෙයි. අනවජ්ජානි යනු නිදොස් වූ දෙයයි. පිණ්ඩියාලොපභොජනං යනු පිඬු සිඟා යාමෙන් ලබන ලද අල්පමාත්ර වූ භෝජනයයි. පූතිමුත්තං යනු යම්කිසි මූත්රයකි. යම්සේ රන්වන් වූ ශරීරය ද පූතිකා යයි කියනු ලැබේද? එසේ අලුත් වූ මූත්රය ද පූතිමුත්රයක්ම වේ.
විඝානො යනු දුරුවූ උවදුරු ඇත්තේයි, සිතට දුකක් නොවේය යන අර්ත්ථයි. දිසා න පටිහඤ්ඤති යනු යමෙකුට වනාහි අසුවල් තැනට ගියේ සිවුරු ආදිය ලබන්නෙමියි සිතක් උපදියිද ඔහුට දිශා පිළිලැගෙයි නමි. ධම්මා යනු ප්රතිපත්ති ධර්මයෝයි. සාමඤ්ඤස්සානුලොමිකා යනු ශ්රමණ ධර්මයට අනුලොම් වූවෝයි. අධිග්ගහිතා යනු ඒ සියල්ලෝ සතුටු සිතැති භික්ෂුවට අධිගෘහීත වූවෝ වෙති. ඇතුළත් වූවෝයි. බාහිර වූවෝ නොවෙති.
8. අරියවංස සූත්ර වර්ණනාව
අටවැනි සූත්රයට අත්තජ්ඣාසයික නික්ෂෙපයයි. (තමන්ගේ අදහස් පරිදි ඉදිරිපත් කිරීම). මේ මහා ආර්යවංස සූත්රාන්තය භාග්යවතුන් වහන්සේ දෙව්රම මහවෙහෙරෙහි ධම්සභාවෙහි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩහුන් සේක් තමන් වහන්සේගේත් අනෙක් පුද්ගලයන්ගේත් අදහස් වශයෙන් පිරිවරා හුන්නා වූ සතළිස් දහසක් භික්ෂූන් වහන්සේලා මහණෙනියි අමතා “චත්තාරො මෙ අරියවංසා” යනුවෙන් ඇරඹූ සේක. එහි අරියවංසා යනු ආර්ය්යයන්ගේ වංසයෝයි. යම්සේ ක්ෂත්රිය වංශය, බ්රාහ්මණ වංශය, වෛශ්ය වංශය, ශුද්ර වංශය, ශ්රමණ වංශය, කුල වංශය, රාජ වංශය වේ ද එසේ මේ අටවැන්න ආර්ය්ය වංශයයි. ආර්ය්ය පරපුර ආර්ය්ය ප්රවේණිය නම් වේ. මේ වංශය වනාහි මූලගන්ධාදියට කලු සඳුන් ආදිය මෙන් මෙම වංශයන්ට අග්ර යයි කියනු ලැබේ.
ඒ ආර්ය්යයෝ කවරහුද? මේ වංශයේ කවරකුගේද? බුදු පසේබුදු තථාගත ශ්රාවක යන මොවුහු ආර්ය්ය යයි කියනු ලැබෙති. මේ ආර්ය්යයන්ගේ වංශයෝනුයි ආර්ය්යවංශයෝ නමි. මෙයින් සාරාසංඛ්ය කල්ප ලක්ෂයකට මත්තෙහි තණ්හඞ්කරය, මේධංකරය, සරණංකරය, දීපංකරයැයි බුදුවරු සතරදෙනෙක් උපන්නාහ. උන්වහන්සේලා ආර්ය්යයෝය. ඒ ආර්ය්යයන්ගේ වංශයනුයි ආර්ය්ය වංශයෝ නම් වෙති. ඒ බුදුවරුන්ගේ පිරිනිවනෙන් පසු කාලයෙහි අසංඛ්යයක් ඉක්මවා කොණ්ඩඤ්ඤ නම් බුදු කෙනෙක් උපන්නාහ. - පෙ- මේ කල්පයෙහි කකුසඳ, කෝණාගමන, කාශ්යප, අපගේ භාග්යවතුන් වහන්සේ වන ගෞතම යන සිවු බුදුවරු උපන්හ. ඒ ආර්ය්යයන්ගේ වංශයෝනුයි ආර්ය්ය වංශයෝ නම් වෙති. තවද අතීත වර්තමාන අනාගත කාලයට අයත් සම්මාසම්බුද්ධ පච්චෙකබුද්ධ බුද්ධශ්රාවක යන ආර්ය්යයන්ගේ වංශයෙනුයි ආර්ය්ය වංශයෝ නම් වෙත්.
ඒ මේ ආර්ය්ය වංශයෝ අග්ගඤඤා යනු අග්ර යයි දතයුත්තාහ. රත්තඤ්ඤා යනු බොහෝකාලයක් පැවතීයයි දතයුත්තාහ. වංසඤ්ඤා වංශයෝ යයි දතයුත්තාහ. පොරාණා යනු අලුත නූපන්නාහුය. අසංකිණ්ණා යනු නොගැවසුණු ඉවත්නොවූයි. අසංකිණ්ණපුබ්බා යනු අතීත බුදුවරුන්ගෙනුදු නොගැවසුණුවිරූය. මේ බුදුවරුන්ගෙනුදු වෙන්නොවූ විරූය. න සංකීයන්ති යනු දැනුදු ඉවත් නොවෙති. න සංකීයිස්සන්ති යනු අනාගත බුදුවරුන් විසිනුදු ඉවත් නොකරනු ලැබෙත්. ලෝකයෙහි යම් නුවණැති ශ්රමණ බ්රාහ්මණයෝ වෙත්ද ඔවුන් විසින් අප්පතිකුට්ඨා සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි යි නින්දා නොකරනු ලද්දාහ. නොගරහනු ලද්දාහුය.