3. උරුවෙල වර්ගය
1. ප්රථම උරුවෙල සූත්ර වර්ණනාව
තෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි උරුවෙලායං යන මෙහි උරුවෙලා යනු මහාතලයයි, මහවැලි ගොඩය යන අර්ථයයි, නැතහොත් උරු යනු වැලි යයි කියනු ලැබේ. වෙලා යනු සීමාවයි, ඉවුර ඉක්මවා යන හේතුවෙන් ගෙනෙන ලද වැලි උරුවෙලායි මෙසේ මෙහි අර්ථය දැක්විය යුතුය, අතීතයෙහි බුදුන් නූපන් කල්හි කුලපුත්රයෝ දසදහසක් තවුස් පැවිද්දෙන් පැවිදිව ඒ පෙදෙසෙහි වසන්නාහු එක් දවසක රැස්වී කතිකාවතක් කළාහුය, කායකර්ම, වාක්කර්මයෝ නම් අන්යයන්ට ද ප්රකට වෙත්. මනෝ කර්මය වනාහි අප්රකටය. එබැවින් යමෙක් කාම විතර්කයක් හෝ ව්යාපාද විතර්කයක් හෝ විහිදා, විතර්කයක් හෝ විතර්කනය කරයි ද හෙතෙම එහි පාත්ර ගොටුවෙන් වැලි ගෙනවුත් විසුරුවයි. මෙසේ එහි පිළිවෙලින් මහවැලි ගොඩක් වූයේය. ඉක්බිති පැසුළු ජනතාව එය වටකොට චෛත්ය ස්ථානයක් කළේය. ඒ උදෙසා උරුවෙලා යයි කියන ලදි. මහාතලය, මහවැලි ගොඩය යන අර්ථයයි. ඒ සඳහාම කියන ලදි. නැතහොත් වැලි උරු යයි කියනු ලැබේ. වෙලා යනු සීමාවයි. සීමාව (වෙරළ) ඉක්මවා යන හේතුවෙන් ගෙනෙන ලද වැලි උරුවෙලායි මෙසේ මෙහි අර්ත්ථය දැක්විය යුතුය.
නජ්ජා නෙරඤ්ජරාය තීරෙ යනු උරුවෙලාගම ඇසුරුකොට නෙරඤ්ජරා නදී තෙර වසමියි දක්වයි. අජපාලනිග්රොධෙ යනු එළුපල්ලෝ නුග ගසේ සෙවනැල්ලෙහි හිඳිති, සිටිති. එබැවින් ඒ ගස අජපාල නිග්රෝධ යයි ප්රසිද්ධියට ගියේය. එහි යටය යන අර්ථයයි. පඨමාභිසම්බුද්ධො යනු සම්බුදු වී පළමුවමයි, උදපාදි යනු මේ විතර්කය පස්වැනි සතියෙහි හටගත්තේය, කෙසේ හටගත්තේද යත්? සම්බුදුවරුනට පුරුදුබැවින් මෙන්ම පෙර පුහුණුව ඇති බැවින් ද වේ. එහි පෙර පුහුණුව ප්රකටවීම සඳහා තිත්තිර ජාතකය ගෙනහැර දැක්විය යුතුය. ඇත්, වඳුරු, වටු යන තිදෙනෙක් එක් පෙදෙසක වසන්නාහු යමෙක් අප අතරින් මහළු ද ඔහු කෙරෙහි ගෞරව සහිතව වසන්නෙමු යයි නිග්රොධ ගස දක්වා කවරෙක් නම් අපගෙන් මහළුදැයි විමසන්නාහු වටුවාගේ මහළුබව දැන ඔහුට වැඩිමහළු සැලකිලි කොට ඔවුනොවුන් සමඟිව සතුටින් වැස ස්වර්ගගාමී වූහ. ඒ කරුණු දැන ගසට අධිගෘහිත දේවතාවා මේ ගාථාව පැවසීය.
ධර්මයෙහි දක්ෂ වූ යම්බඳු වූ මිනිස්සු වැඩිමහල්ලන්ට ගරු කරත්ද ඔවුහු මෙලොවම පැසසුමට බඳුන්වෙති. පරලොවදී සුගතියට ද යති
මෙසේ අහේතුක වූ තිරිසන් යෝනියෙහි උපන්නේ වුව ද තථාගතයන් වහන්සේ ගෞරව සහිතව විසීමට කැමතිවූහ. දැන් කෙසේනම් රුචි නොකෙරෙත්ද? අගාරවො යනු අන්යයා කෙරෙහි ගෞරවය නැත්තේයි. කිසිවකු ගරුතන්හි නොතබා යන අර්ථයයි, අප්පතිස්සො යනු කීකරුබව රහිත වූයේයි, දෙටුතන්හි නොතබා යන අර්ත්ථයයි, සමණං වා බ්රාහ්මණං වා යන මෙහි ශමනය කරන ලද පවු ඇති බහාතබන ලද පවු ඇති සමණ බ්රාහ්මණයෝ අදහස් කරන ලදහ. සක්කත්වා ගරුකත්වා යනු සත්කාර ද කොට ගරු කිරීම් ද එළවායි,
සදෙවකෙ ලොකෙ යනාදියෙහි දෙවියන් සහිත වූයේ සදෙවක නමි. දෙවියන් ගැනීමෙන් මාර බ්රහ්මයන් ගත්කල්හි ද මාරනම් වූයේ වසවත්තී දෙවියාය. සියල්ලන්ටම ඉහළින් බලය පවත්වයි. මහා බ්රහ්ම නම් වූයේ මහානුභාව ඇත්තෙකි. එක් ඇඟිල්ලකින් එක් සක්වළ දහසක ආලෝකය පතුරුවයි. ඇඟිලි දෙකකින් සක්වල දෙදහසකය. ඇඟිලි දසයෙන් දස දහසක් සක්වළවල ආලෝකය පතුරුවයි. හෙතෙම මෙයින් වැඩිමනත් සිල් ඇත්තෙකැයි කීමට නොලබත්වායි සමාරකෙ සබ්රහ්මකෙ යනුවෙන් වෙන් වෙන්ව කියන ලදි. එසේම ශ්රමණයෝ නම් නිකාය එකක් ආදි වශයෙන් බහුශ්රැතයහ. සිල්වත්යහ, පණ්ඩිතයහ, බ්රාහ්මණයෝ ද වාස්තු විද්යාදි වශයෙන් බහුශ්රැතයහ, පණ්ඩිතයහ. ඔවුහු මෙයින් යුක්තවූහයි කීමට නොලබත්වායි සස්සමණබ්රාහ්මණියා පජාය යි කියන ලදි. සදෙවමනුස්සාය යන මෙය වනාහි සියල්ල ඇතුළත් වන සේ දැක්වීම සඳහා ගන්නා ලද්දක්මය, (එසේ) ගෙන කියන ලදි. තවද මෙහි මුල් පද තුන ලෝක වශයෙන් කියන ලදි. පසු පද දෙක ප්රජාව වශයෙනි. සීලසම්පන්නතරං යනු සීලයෙන් වැඩිමනත් යුක්තය යන අර්ථයයි. මෙහිද ලෞකික ලෝකෝත්තර වූ ශීලාදී ධර්ම සතර කියන ලදි. විමුක්ති ඥාන දර්ශනය ලෞකිකමය, එය ප්රත්යවෙක්ෂණ ඥානයමයි. පාතුරහොසි යන මෙය ශාස්තෲන් වහන්සේ අවීචියෙහි සිට භවාග්රය දක්වා ශීලාදියෙන් තමන්ට අධිකතරවූවකු නොදක්නාහු මා විසින් අවබෝධ කරන ලද නව ලෝකෝත්තර ධර්මයම ගරුකොට ඇසුරුකොට වාසය කරන්නෙමියි සිතූහ. භාග්යවතුන් වහන්සේ කාරණය, අර්ත්ථය, වෘද්ධිය, විශේෂත්වය සිතූහ. යමි මොහුගේ උත්සාහය උපදවන්නෙමියි සිතා ඉදිරියෙහි ප්රකට වූහ. ඉදිරියෙහි සිටියහ යන අර්ත්ථයයි.
විහංසු විහරන්ති ච යන මෙහි වාසය කරති (විහරන්ති) යන වචනයෙන් වර්තමානයෙහි ද බොහෝ බුදුවරු වෙතැයි යමෙක් කියන්නේ ද “භගවාපි හන්තෙ එතරහි අරහං සම්මාසම්බුද්ධො” යන මේ වචනයෙන් හෙතෙම වැළැක්විය යුතුය.