3. ලොක සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි ලොකා යනු දුක්ඛ සත්යයයි, අභිසම්බුද්ධො යනු දන්නා ලද්දේ, ප්රත්යක්ෂ කරන ලද්දේයි, ලොකස්මා යනු දුක්ඛ සත්යයෙනි, පහීනො යනු මහබෝමැඩදී අරහත් මාර්ග ඥානයෙන් දුරුකරන ලද්දේයි, තථාගතස්ස භාවිතා යනු තථාගතයන් වහන්සේ විසින් වඩන ලදි.
මෙසේ මෙපමණ කරුණින් චතුරාර්ය සත්යයන් මගින් තමාගේ බුද්ධභාවය පවසා දැන් තථාගතබව ප්රකාශ කිරීමට යං භික්ඛවෙ යනාදිය කීහ. එහි දිට්ඨං යනු රූපායතනයයි, සුතං යනු ශබ්දායතනයයි, මුතං යනු පත්ව ගතයුතු බැවින් ගන්ධරස ස්පර්ශායතනයයි, විඤ්ඤාතං යනු සුඛ දුක්ඛ ආදී ධර්මාරම්මණයයි, පත්තං යනු සොයා හෝ නොසොයා ලබනලද දෙයයි, පරියෙසිතං යනු ලද හෝ නොලද සොයන ලද්දයි, අනුවිචරිතං මනසා යනු සිතෙන් හසුරුවන ලද දේයි.
තථාගතෙන අභිසම්බුද්ධං යන මෙයින් පහත සඳහන් කාරණය දක්වයි. අප්රමාණ වූ ලෝකධාතූන්හි මේ දෙවියන් සහිත ලෝකයාගේ නිල්, කහ ආදී යම් රූපාරම්මණයක් වක්ෂූර්ද්වාරයෙන් අපාථයට එයිද මේ සත්ත්වයා මෙකෙණෙහි මෙනම් වූ රූපාරම්මණයක් දැක සතුටුවූයේ හෝ නොසතුටු වූයේ හෝ මැදහත් වූයේ හෝයි යන සියල්ල තථාගතයන් වහන්සේ විසින් මෙසේ අවබෝධ කරන ලද්දේය. එසේ අප්රමාණ වූ ලෝකධාතූන්හි මේ දෙවියන් සහිතවූ ලෝකයාට බෙරහඬ, මිහිඟු බෙර හඬ ආදී යම් ශබ්දාරම්මණයක් ශ්රොතද්වාරයෙහි ආපාථයට එයිද මුල්ගඳ, පොතු ගඳ ආදි යම් ගන්ධාරම්මණයක් ඝානද්වාරයෙහි ආපාථයට එයිද, මුලේ රසය, කදේ රසය යනාදී රසාරම්මණයක් ජීව්භා ද්වාරයෙන් ආපාථයට එයිද රළු මෙලෙක් යනාදි පෘථිවිධාතු තෙජොධාතු වායොධාතු යන හේද ඇති ස්පර්ශාරම්මණයක් කායද්වාරයෙහි ආපාථයට එයිද මේ සත්ත්වයා මෙකෙණහි මෙනම් ස්පර්ශාරම්මණයක් ස්පර්ශ කොට සතුටු වූයේ හෝ නොසතුටුවූයේ හෝ මැදහත් වුයේ හෝයි යන සියල්ල තථාගතයන් වහන්සේට මෙසේ අවබෝධ වූයේය. එසේම අප්රමාණ වූ ලෝකධාතුන්හි මේ දෙවියන් සහිත ලෝකයාගේ සුවදුක් ආදී ප්රභේද ඇති යම් ධර්මාරම්මණයක් මනොද්වාරයෙහි ආපාථයට එයිද මේ සත්ත්වයා මෙකෙණෙහි මෙනම්වූ ධර්මාරම්මණයක් දැන සතුටුවුයේ හෝ නොසතුටු වූයේ හෝ මැදහත් වූයේ යන ඒ සියල්ල තථාගතයන් වහන්සේට මෙසේ අවබෝධ වූයේය. මහණෙනි, මේ සියලු සත්ත්වයන්ගේ දක්නා ලද්දක් අස නලද්දක්, විඳින ලද්දක් දැනගන්නා ලද්දක් වේද එහි තථාගතයන් වහන්සේ විසින් නොදන්නා ලද්දක්, නොඅසන ලද්දක්, නොවිඳින ලද්දක්, නොදන්නා ලද්දක් හෝ නැත. මේ මහජනයාගේ සොයා නොපත් දෙය ද ඇත. නොසොයා නොපත් දෙය ද ඇත. සොයා පත් දෙයද ඇත. නොසොයා පත් දෙයද ඇත. තථාගතයන් වහන්සේට සියල්ල නොපත් වූයේ නම් නොවේ. විඥානයෙන් සාක්ෂාත් නොකළ දෙයක් නැත.
තස්මා තථාගතොති වුච්චති යනු ලෝකයා විසින් යම්සේ යමකට යන ලද්දේ ද, එයට එසේ ගිය බැවින් තථාගත යැයි කියනු ලැබේ. පෙළෙහි වනාහි අභිසම්බුද්ධංයි කියන ලදි. එය ගත ශබ්දයෙන් ඒකාර්ත්ථ වෙයි. මේ ක්රමයෙන් සියලු වාරයන්හි තථාගත යන නිගමනයේ අර්ත්ථය දතයුතුය. එහි යුක්තිය (සාධාරණත්වය) ඒකපුද්ගල වර්ණනාවෙහි තථාගත ශබ්දය පිළිබඳ විස්තරයෙහි කියන ලද්දේමය. තවද මෙහි අඤ්ඤදත්ථු යනු ඒකාන්ත අර්ථයෙහි නිපාතයෙකි, දකියිනුයි දසො නමි. වසයෙහි පවතීනුයි වසවත්ති නමි.
සබ්බලොකං අභිඤ්ඤාය යනු ත්රෛධාතුක වූ ලෝක සන්නිවාසය (එක්ව විසීම) දැනගෙනයි, සබ්බලොකෙ යථාතථං යනු ඒ ත්රෛධාතුක ලොක සන්නිවාසයෙහි යම්කිසි ගෙනහැර දැක්විය යුතු යමක්වේද ඒ සියල්ල තත්වූ පරිද්දෙන් නොවෙනස්ව දැනයි, විසංයුත්තො යනු යෝගසතර දුරුකිරීමෙන් වෙන්වූයේයි, අනුපයො යනු තෘෂ්ණා දෘෂ්ටි ඇලීම්වලින් විරහිත වූයේයි, සබ්බාභිභූ යනු රූපාදී වූ සියලු අරමුණු යටපත්කොට සිටියේයි, ධීරො යනු ධෛර්ය්ය සම්පන්නවූයේයි, සබ්බගන්ථප්පමොචනො යනු සියලු සතර ග්රන්ථයන් (ගැට) මුදාසිටියේයි, ඵුට්ඨස්ස යනු ස්පර්ශ කරන ලද්දහුගේයි, මෙයද කරණාර්ථයෙහි සම්බන්ධ විභක්ති වචනයි: පරමා සන්ති යනු නිවනයි, එයද මේ ඥානය ස්පර්ශ කිරීමෙන් ස්පර්ශ කරන ලදි. එහින්ම කිසිතැනකින් බිය නැති නිවන යයි කියන ලදි. නැතහොත් පරමාසන්ති යනු උතුම් ශාන්තියයි, එය කුමක්දයත්? නිවනයි, යම් හෙයකින් නිවනෙහි කිසි ලෙසකින් බියක් නැතිද එහෙයින් එය අකුතොභයං යි කියනු ලැබේ. විමුත්තො උපදිසංඛයෙ යනු උපධිසංඛය නම් වූ නිවනෙහි තදාරම්මණ වූ ඵලවිමුක්තියෙන් මිදුනේයි, සීහො අනුත්තරො යනු උවදුරු දුරු කිරීමේ අරුතින් ද කෙලෙසුන් පෙළන අරුතින් ද තථාගතයන් වහන්සේ අනුත්තර වූ සිංහ නමි. බ්රහ්මං යනු ශ්රේෂ්ඨ යනුයි. ඉති යනු මෙසේ තථාගතයන් වහන්සේගේ ගුණයෙන් දැකයි. සංගම්ම යනු එක්වීයි. තං නමස්සං යනු ඔවුහු ඒ තථාගතයන් වහන්සේ සරණ ගියාහු නමදිත්, දැන් යමක් කියන්නා වූ ඔවුහු නමදිත් ද එය දැක්වීමට දන්තො යනාදිය කියන ලදි. එය පැහැදිලි අරුත් ඇත්තේමය.
4. කාළකාරාම සූත්ර වර්ණනාව
සතරවැන්න අර්ථොත්පත්තියෙහි ඉදිරිපත් කරන ලදි. කවර අර්ථොත්පත්තියකදයත්? දශබලයන් වහන්සේගේ ගුණ කථාවෙහිදීය. අනේපිඬු සිටුගේ දියණිය වූල සුභද්දා සාකෙත නුවරෙහි කාලක සිටුපුතුගේ ගෙට යන්නී ශාස්තෲන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, මම මිසදිටු කුලයකට යමි. ඉදින් එහිදී සත්කාර ලබන්නෙම් නම් එක් පුරුෂයකු එවන කල්හි ප්රමාද වන්නේය, භාග්යවතුන් වහන්සේ මා සිහිකරනු මැනවැ”යි ප්රතිඥා ගෙන ගියාය. සිටුතෙමේ මගේ ලේලිය ආවායැයි උත්සවයක් කරන්නේ බොහෝ කැවිලි පෙවිලි පිළියෙළ කරවා අචෙලකයන් පන්සියයකට ආරාධනය කළේය. ඒ සිටුතෙමේ එම අචේලකයන් හුන්කල්හි මාගේ දුව පැමිණ රහතුන් වඳීවායි චූල සුභද්රාවට පණිවිඩ යැවිය. ලබන ලද ආර්යඵල ඇති ආර්ය ශ්රාවිකාවක වූ ඕතොමෝ රහතුන් යයි කී කල්හිම මට ලාභයකැයි නැඟිට ගියාය. අශෝහන දැකුම් ඇති අචේලකයන් දැක දරුව යමෙකුට ඇතුළත ලජ්ජාව නැත්ද පිටත බිය නැත්ද ශ්රමණයෝ නම් එබඳු නොවෙයි කියා මේ ශ්රමණයෝ නොවෙති. චී චීයි කෙළ හෙලා හැරී තමන් වසන තැනටම ගියාය.