3. 2. 3. 10
දසවැන්නේ නික්ඛෙප දෙකෙකි. අට්ඨුප්පත්තිකද පුච්ඡාවසිකද වශයෙනි. කවර අර්ථොත්පත්තියක, කවරකුගේ විමසීමට කියනලද්දේයත්? අරුණවතී සූත්රාන්ත අර්ථොත්පත්තියෙහි අනඳ තෙරුන්ගේ විමසීමට කියනලදී. අරුණවතී සූත්රාන්තය කවරකු විසින් කියනලද්දේද? බුදුවරුන් දෙදෙනකු විසින් කියනලදී. සිඛීභාග්යවතුන්වහන්සේ විසින්ද අපගේ ශාස්තෘන්වහන්සේ විසින්ද යනුවෙනි. මේ කපින් එක්තිස් කපකට මත්තෙහි අරුණවතී නුවරෙහි අරුණවති රජුගේ පහාවතී නම්වූ මෙහෙසියගේ කසෙහි ඉපිද නුවණ මුහුකුරා ගියකල්හි මහබික්මන් නික්ම සිඛී භාග්යවතුන්වහන්සේ බෝමැඩදී සර්වඥතාඥානය අවබෝධ කොට පවත්වනලද උතුම් දම්සක් පැවතුම් ඇතිසේක් අරුණවතීනුවර ඇසුරුකොට වසමින් එක්දිනෙක උදෑසනම සිරුර පිළිදැඟුම් කොට මහබික්සඟන පිරිවරණලද සේක් අරුණවතියට පිඬුපිණිස පිවිසෙන්නෙමැයි සිතා නික්ම විහාර කොටුදොරකඩ සමිපයෙහි සිටිසේක් අභිභු නම්වූ අග්රශ්රාවකයා, ඇමතූසේක: ‘භික්ෂුව, අරුණවතියට පිඬුපිණිස පිවිසීමට උදෑසන වැඩිය. එක්තරා බඹලොවක් වෙත එළඹෙන්නෙමු’ යනුවෙනි.
ඉක්බිති මහණෙනි, සිඛී භාග්යවත් අරහත් සම්මාසම්බුදුන්වහන්සේ අභිභූ භික්ෂුවට, ‘යමු බ්රාහ්මණය, යම්තැනක එක්තරා බඹලොවක් වේද එතැනට එළඹෙන්නෙමුයි යම්සේ ඇමතූසේක්ද, මහණෙනි, ‘එසේය ස්වාමීනි’යි අභිභූ භික්ෂුව සිඛී භාග්යවත් අරහත් සම්මා සම්බුදුන්වහන්සේට පිළිවදන් ඇස්වූයේය. ඉක්බිති මහණෙනි, සිඛී භාග්යවත් අරහත් සම්මාසම්බුදුන්වහන්සේද අභිභූ භික්ෂුවද යම්තැනක එක්තරා බඹලොවක්වූයේද එතැනට එළඹුණු සේක.
එහි මහාබ්රහ්මයා සම්මාසම්බුදුන් දැක සතුටුසිතැත්තේ පෙරගමන් කොට බ්රහ්මාසනය පනවා දුන්නේය. තෙරුන්ටද සුදුසු අසුනක් පැනවූහ. පැනවූ අසුනෙහි භාග්යවතුන්වහන්සේ වැඩහුන්සේක. තෙරණුවෝද තමන්ට ලැබුණු අසුනෙහි හුන්හ. මහාබ්රහ්මයාද දශබලයන් වහන්සේ වැද එකත්පසෙක හුන්නේය.
ඉක්බිති මහණෙනි සිඛී භාග්යවතුන්වහන්සේ අභිභූ භික්ෂුවට, ‘බ්රාහ්මණය, බ්රහ්මයාටද බ්රහ්මපිරිසටද බ්රහ්මපාරිසජ්ජයන්ටද ධර්මකථාවක් ඔබට වැටහේවා’යි පැවසූසෙක්. මහණෙනි, අභිභූ භික්ෂුව ‘එසේය ස්වාමීනි’යි සිඛී භාග්යවත් අරහත් සම්මා සම්බුදුන් වහන්සේට පිළිවදන් දී බ්රහ්මයාටද බ්රහ්ම පිරිසටද බ්රහ්මපාරිසජ්ජයන්ටද ධාර්මික කථාවක් කළේය. තෙරණුවන් ධර්මය කියනකල්හි බ්රහ්මසමූහයා, ‘අපි බොහෝ කලකින් ශාස්තෘන්වහන්සේගේ බඹලොව ගමන ලැබූවෙමු. මේ භික්ෂුව ශාස්තෘන්වහන්සේ තබා තමාම ධර්මකථාව ඇරඹීය’යි උද්ඝොෂණය කළහ.
ශාස්තෘන්වහන්සේ ඔවුන් නොකැමතිබව දැන අභිභූභික්ෂුවට මෙය පැවසූ සේක: බ්රාහ්මණය, බ්රහ්මයාද බ්රහ්ම පිරිසද බ්රහ්මපාරිසජ්ජයෝද ඔබට උද්ඝෝෂණය කරති. එසේ බැවින් බ්රාහ්මණය බොහෝ කොට සංවේගවත් කරව’ යනුවෙනි. තෙරණුවෝ ශාස්තෘවචනය පිළිගෙන නොයෙක් ආකාර සෘද්ධිමවා පෑම් කොට සහස්රීලෝකධාතුවට ශබ්දයෙන් හඟවමින් ආරහථ නික්ඛමථ යන ගාථාදෙක පැවසූහ. තෙරනුවෝ කුමක් කොට සහස්රී ලොකධාතුවට හැඟවූහුද? නීලකසිණයට සමැවද සියලුතන්හි අඳුරක් පැතිරවූහ. ඉක්බිති මේ අඳුර කිමෙක්දැයි සත්වයන්ගේ සිතාබැලීමක් ඇතිවූ කල්හි ආලෝකය දැක්වූහ. මේ කවර ආලෝකයක්දැයි පිරික්සන්නවුන්ට තමන් දැක්වූහ. දහසක් සක්වළ දෙවිමිනිස්සු ඇඳිලි බැඳ බැඳ තෙරුන්ම නමදිමින් හුන්හ. තෙරණුවෝ, ‘මහජනයා ධර්මය දෙසන මගේ හඬ අසාවායි (සිතා) මේ ගාථා පැවසූහ. සියල්ලෝ රැස්වූ පිරිස මැඳ හිඳ දහම් දෙසන්නකුගේ මෙන් ශබ්දය ඇසුවාහුය. ඔවුනට අර්ථයද පැහැදිලිවිය.
ඉක්බිති භාග්යවතුන්වහන්සේ තෙරුන් සමඟ අරුණවතියට ආපසු පැමිණ පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් ඉවත්වූ සේක් භික්ෂුසංඝයාගෙන්, ‘මහණෙනි, නුඹලා බඹලොව සිට ගාථා කියන්නාවූ අභිභූ භික්ෂුවට සවස්දුන්නහුදැයි විමසූ සේක. ඔවුහු ‘එසේය, ස්වාමීනියි පිළිතුරු දී ඇසූ බව ප්රකටකරමින් ඒ ගාථා දෙකම ඉදිරිපත් කළහ. ශාස්තෘන්වහන්සේ ‘සාධු සාධු’ යයි සාධුකාරදී දෙසුම නිමවුසෙක්. මෙසේ මේ සූත්රය මෙයින් එක්සිත් කපකට මත්තෙහි සිඛී භාග්යවතුන්වහන්සේ විසින් කියනලදී.
අපගේ භාග්යවතුන්වහන්සේ වනාහි සර්වඥබවට පත්ව පවත්වනලද උතුම් දම්සක් ඇතිසේක් සැවත ඇසුරුකොට දෙව්රම වසමින් පොසොන්මස පුරපසළොස්වක් දිනයෙහිදී භික්ෂූන් අමතා මේ අරුණවතී සූත්රය පිහිටවූ සේක. අනඳ තෙරණුවෝ විජිනිපත ගෙන පවන් සලමින් සිටිවනම මුලපටන් අවසානය දක්වා එක්ව්යංජනයකුදු අත්නොහැර සියලු සූත්රය උගත්හ. උන්වහන්සේ දෙවැනි දිනයෙහි පිණ්ඩපාතය නිමවා බුදුන්වහන්සේට වත් දක්වා තමන්ගේ දිවාවිහාරස්ථානයට ගොස් සද්ධිවිහාරික අනේතවාසිකයන් වත්දක්වා ගියකල්හි ඊයේ කියනලද අරුණවතී සූත්රාන්තය සිහි කරමින් හුන්හ. ඉක්බිති උන්වහන්සේට සියලු අරුණවතී සූත්රාන්තය සිහි කරමින් හුන්හ. ඉක්බිති උන්වහන්සේට සියලු සූත්රාන්තය පැහැදිලිව වැටහුණේය. උන්වහන්සේ, ‘සිඛී භාග්යවතුන්වහන්සේ අගසව් තෙමේ බඹලොව සිට සක්වළ දහසක අඳුර නසා ශරීරාලෝකය දක්වා තමන්ගේ ශබ්දය අස්වමින් ධර්මකථාවක් කළහ. ඊයේ ශාස්තාන්වහන්සේ විසින් (එය) කියනලදී. ශ්රාවකයකුගේ විෂය මෙබඳුවේ නම් දශපාරමී පුරා සර්වඥබවට පත් සම්බුදුන්වහන්සේ කොපමන තැනක් හඬින් හඟවන සේක්දැ’යි සිතූහ. උන්වහන්සේ මෙසේ උපන් සැකය දුරුකරනු සඳහා එකෙණෙහිම භාග්යවතුන්වහන්සේ වෙත එළඹ මෙකරුණ විමසූහ. එකරුණ දැක්වීමට අථ ඛො ආයස්මා ආනන්දො යි කියනලදී.