4. ශ්‍රමණ වර්ගය
3. 2. 4. 1
සිවුවෙනි වර්ගයෙහි පළමුසූත්‍රයෙහි සමණස්ස යනු ශ්‍රමණයාට අයත් දෙයයි. සමණකරණීයානි යනු ශ්‍රමණයා විසින් කළයුතු වැඩයි. අධිසීලසික්‍ඛා සමාදානං යනාදියෙහි ගැනීම සමාදානයයි කියනුලැබේ. අධිසීල ශික්‍ෂාව සමාදන්වීම ගැනීම පිරීම අධිසීල සික්‍ඛාසමාදානය නමි. සෙසු පද දෙකෙහිද මේ ක්‍රමයමැයි. මෙහිද සීල අධිසීල, චිත්ත, අධිචිත්ත, පඤ්ඤා, අධිපඤ්ඤා යන මේ කොටස් කිරීම දතයුතුය. එහි පන්සිල් සීල නමි. එය ඇසුරුකොට දශශීලය අධිසීල නමි. එයද ඇසුරුකොට චතුපාරිසුද්ධිසීලය අධිසීල නමි. තවද සියලුම ලෞකික ශීලය සීලයම වේ. ලෝකෝත්තර ශීලය අධිසීලයයි. එයම හික්මියයුතු බැවින් සික්‍ඛායයි කියනුලැබේ. කාමාවචර සිත චිත්ත නමි. එයද ඇසුරුකොට රූපාවචර සිත අධිචිත්ත නමි. එයද ඇසුරුකොට අරූපාවචර සිත අධිචිත්ත නමි. තවද සියලුම ලෞකික සිත චිත්ත නම් වෙයි. ලොකොත්තර සිත අධිචිත්ත නමි. ප්‍රඥාවෙහිද එම ක්‍රමයමයි. තස්මා යනු යම්හෙයකින් මේ ශ්‍රමණ කටයුතු තුනවේද එහෙයිනි. තිබ්බො යනු බහුලවූයි. ඡන්‍දො යනු කරනුකැමති කුසලකැමැත්තයි. මෙසේ මේ සූත්‍රාන්තයෙහි ලෞකික ලොකොත්තරවූ ත්‍රිවිධ ශික්‍ෂාව කියනලදී.
3. 2. 4. 2
දෙවැන්නෙහි පිටඨිතො පිට්ඨිතො යනු පසුපසිනි. අහම්පි අම්භා අභම්පි අම්භා යනු අභම්පි අම්භා යනු අහම්පි අම්භා යන හඬ නඟන දෙනයි. මමද දෙනකියි. සෙය්‍යථාපි ගුන්නං යනු යම්සේ දෙනුන්ගේ යනුයි. ගවයෝ වනාහි වර්ණයෙන් කළුවූවෝද රත්පැහැවූවෝද සුදුආදී පැහැඇත්තෝද වෙත්. කොටළුවාගේ එබඳු පැහැයක් නම් නැත. පැහැය යම්සේද හඬද එසේමය. යාමද වෙන අයුරක්මය. සෙස්ස පැහැදිලිය. මේ සූත්‍රයෙහිද ත්‍රිවිධශික්‍ෂාව මිශ්‍රකවම කියනලදී.
3. 2. 4. 3
තෙවැන්නෙහි, පටිගචේචව යනු පළමුවමය. සුකට්ඨං කරොති යනු නඟුලින් මනාව සීසෑම කෙරෙයි. සුමතිකතං යනු නුවණින් මනාව සමකරනලද්දාවූයි. කාලෙන යනු වැපිරියයුතු කාලයෙනි. සෙස්ස කියනලද ක්‍රමය ඇත්තේමය. මෙහිද ත්‍රිවිධශික්‍ෂාව මිශ්‍රකවම කියනලදී.
3. 2. 4. 4
සිවුවැන්නෙහි වජ්ජිපුත්තකො යනු වජ්ජිරාජ කුලයට අයත් ප්‍රත්‍රයෙකි. දියඩ්ඪසික්‍ඛාපදසතං යනු පණහක් අධිකකොට ඇති සිකපද සියයකි. එසමයෙහි පනවලද ශික්‍ෂාපදයන් සඳහා මෙය කියනලදී. ඒ භික්‍ෂුව වනාහි අවංක බවින් යුක්ත වූයේ සෘජු ස්වභාවය ඇත්තේ නොවක්වුයේ අකුටිල වුයේවිය. එබැවින් මම මෙතෙක් සිකපද රැකීමට හැකිවනනේම්ද නොවන්නේම්දැයි සිතා ශාස්තෘන්වහන්සේට සැළකළේය. සික්‍ඛාමහං යනු මම හික්මෙමියි. හෙතෙම වනාහි මෙපමණ සික පදයන්හි හික්මෙන්නාට ත්‍රිවිධ ශික්‍ෂාවන්හි හැසිරීමට අමාරු නැතැයි හඟින්නේ මෙසේ කීවේය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ තණපිඬු පනසක් එසවීමට නොහැක්කාට පිඬුසියයක් බැඳ හිසෙහි තබන්නේ යම්සේද? එසේම එක ශික්‍ෂාවකුදු හික්මීමට නොහැක්කාට වෙනත් ශික්‍ෂා දෙකක් (ද) මත්තෙහි බහාලමින් තස්මාතිභ ත්‍වං භික්‍ඛු යනාදිය පැවසූසේක. රුහුණෙහි උත්තර නම්වූ දනවුවැසි මිනිසෙක් භෙරපාසාණ විහාරයෙහි වෙසෙයි. ඉක්බිති ඔහුට කුඩා භික්‍ෂූහු ‘උත්තර, ගිනිහල් ගෙය තෙමෙයි. තණ කැපකොට දෙව’යි කීහ. මෙසේ පවසා ඔහු රැගෙන කැලයට ගොස් ඔහු විසින් කපනලද තණම මිටිබැඳ ‘උත්තරය” මිටිපනහක් ගැනීමට හැකිවෙහිදැ’යි ඇසූහ. හෙතෙම නොහැකි වෙමියි කීවේය. ‘අසූවක් හැකිවෙහිද?’ ‘නොහැකිවෙමි’ ‘මිටි එක්සියයක් හැකිවෙහිද?’ ‘එසේය ස්වාමීනි ගන්නේමැ’යි කීවේය. කුඩා භික්‍ෂුහු මිටිසියයක් බැඳ ඔහුගේ හිසෙහි තැබුවාහුය. හෙතෙම ඔසවා කෙඳිරිගාමින්, කෙඳිරිගාමින් ගොස් ගිනිගල් ගෙය සමීපයෙහි හෙළීය. ඉක්බිති භික්‍ෂුහු ඔහුගෙන් ‘උත්තරය. මහන්සි ඇත්තෙහිදැයි ඇසූහ. ‘එසේය ස්වාමීනි, කුඩා භික්‍ෂුහු මං රවටති මේ මිටි සියයක් එසවීමට නොහකි මට මිටිපනහක් ඔසවවයි කීයාහුය.” ‘එසේය උත්තරය, ඔබව රැවටුවා හුය’යි (කීවෝය). මෙයද එබඳුයයි දතයුතුය. මෙහිද ත්‍රිවිධ ශික්‍ෂාව මිශ්‍රකවම කියනලදී.
3. 2. 4. 5
පස්වැන්නෙහි උජුම්ග්ගානුසාරිනො යනු ආර්යමාර්ගය සෘජුමාර්‍ගයයි කියනුලැබේ. එය අනුව හැසිරෙන්නාට, ඊට පිළිපන් තැනැත්තාට යන අර්ථයයි. ඛයස්මිං පඨමං ඤාණං යනු පළමුවම මාර්ගඤාණය උපදියි. මාර්ගය වනාහි කෙලෙසුන් ගෙවාදමන බැවින් ඛය නමි. එය සමඟ පැවති නුවණ ඛයස්මිංඤාණ නමි. තතො අඤ්ඤ අනන්තරා යනු එය සිවුවැනි මාර්ගඥානයෙන් අනතුරුවම රහත්ඵලය උපදියි. අරහත්ඵලය උපදීයයි අර්‍ත්‍ථයි. අඤ්ඤා විමුත්තස්ස යනු අරහත්ඵල විමුක්තියෙන් මිදුනහුටයි. ඤාණං චෙ හොති යනු ප්‍රත්‍යවෙක්‍ෂණ ඥානය වෙයි. මෙසේ සූත්‍රයෙහිද ගාථාවන්හිද ස්පත ශෛක්‍ෂයෝ කියනලද්දාහුය. අවසානයෙහි ක්‍ෂීණාශ්‍රවයන්වහන්සේ දක්වනලදහ.
3. 2. 4. 6
සයවැන්නෙහි අත්තකාමා යනු තමන්ට හිත කැමැත්තෝයි. යත්‍ථොතං සබ්බං සමොධානං ගච්ඡති යනු යම් ශික්‍ෂාවන්හි මේ සියලු එකසිය පණහක් ශික්‍ෂාපාද සංග්‍රහයට යයිද පරිපූරකාරීහොති යනු සපුරන්නේ වෙයි. මත්තසො කාරී යනු පමණ දැන කරන්නායි. සියල්ලෙන් සියල්ල කිරීමට නොහැකි වෙයි යන අර්‍ත්‍ථයි. ඛුද්දානුඛද්දකානි යනු සතර පරිජි හැර සෙසු සිකපදයි. එහිද සඟවෙසෙස කුඩාය, තුලසිය අනුකුඩාය. තුලසියද කුඩාය, පචිතිය අනුකුඩා නමි. පචිතියද කුඩාය, පාටිදෙසනීය දුක්කටදුබ්භාසිත අනුකුඩා නමි. මේ අඞ්ගුත්තර මහානිකාය භාවිත කරන ආචාර්‍යවරු සතර පරිජිහැර සෙසු සියලු සිකපද කුඩාඅනුකුඩායි පවසති. තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි යනු මෙහි වනාහි ක්‍ෂිණාශ්‍රව තෙමේ ලොකවද්‍යයට නොපැමිණෙයි. ප්‍රඥප්තිවද්‍යයටම පැමිණෙයි. පැමිණෙන්නේද කයෙන්ද වචනයෙන්ද සිතෙන්ද පැමිණෙයි. කයින් (වරදට) පැමිණෙන්නේ කුටිකාරසහසෙය්‍ය ආදී වරදට පැමිණෙයි. වචනයෙන් පැමිණෙන්නේ සඤ්චරිත්ත පදසොධම්ම ආදියටද සිතින් පැමිණෙන්නේ රූපියපටිග්ගහණ ඇවතට පැමිණෙයි, ශෛක්‍ෂයන් කෙරෙහිද මේ ක්‍රමයමයි. න භි මෙත්‍ථ භික්‍ඛවෙ අභබ්බතා වුත්තා යනු මහණෙනි, මවිසින් මෙහි මෙබඳු ඇවතට පැමිණීමෙහිද ඇවතින් නැඟීසිටීමෙහිද ආර්‍ය්‍ය පුද්ගලයාගේ නොහැකිබව නොකියනලදී. ආදිබ්‍රහ්මචරියකානි යනු මාර්ග බ්‍රහ්මචර්යයට මුල්වූ මහාසීලශක්‍ෂාපද සතරයි. බ්‍රහ්මචරියසාරුප්පානි යනු ඒ සතර මාර්ග බ්‍රහ්මචර්යයටම ගැලපෙන්නාවූ සුදුසුවුයි. තත්‍ථ යනු ඒ හික්‍ෂාපදයන්හිය. ධුවසීලී යනු නිති සිල් ඇත්තේයි. ඨීතසීලි යනු ශීලයෙහි පිහිටියේයි. සොතාපනේනා යනු ශ්‍රොතස් සංඛ්‍යාත මාර්‍ගයෙන් ඵලයට පැමිණියේයි. අවිනිපාතධමේමා යනු සතර අපායන්හි නොවැටෙන ස්වභාවය ඇත්තේයි. නියතො යනු සෝවාන් මගනියමයෙන් නියමිත වූයේයි. සම්බොධිපරායනො යනු මතු මාර්ගතුන පිළිබඳ අවබෝධය පිහිටකොට ඇත්තේයි.