තික නිපාත වර්‍ණනා
1. පඨමපණ්ණාසකය
1. බාලවර්‍ගය
3. 1. 1. 1
තිකනිපාතයෙහි පළමුවෙනි සූත්‍රයෙහි භයානි ආදී තන්හි භයං යනු සිතේ තැතිගැන්මයි. උපද්දවො යනු එකඟ නොවන ආකාරයයි. උපසගේගා යනු එල්බෙන ආකාරයයි.
ඒ ඒ තන්හි ලැගෙන ආකාරයයි. මෙසේ ඔවුන්ගේ විවිධත්වය දතයුතුයි. පර්‍වත ප්‍රාන්ත ඇසුරුකොට වෙසෙන සොරු ‘අපි අසුවල් දිනයෙහි ඔබලාගේ ගම පහරන්නෙමු’යි දනවුවැසියන්ට දන්වා යවත්. ඔවුහු එපුවත ඇසූ කාලයෙහි පටන් බියට තැති ගැන්මට පැමිණෙත්, මෙය සිතේ තැතිගැන්ම නමි. යම්සේ ඒ සොරු කිපියාහු අවැඩක්ම ගෙනෙන්නහුයයි හස්තසාරවස්තුව ගෙන දෙපාසිවුපාවන් සමඟ අරණට පිවිස ඒ ඒ තන්හි බිම හොවින්, මැසිමදුරුවන් විසින් කනුලබන්නාහු ලැහැබ් අතරට පිවිසෙමින් කණුකටු පාගත්, මෙසේ හැසිරෙන්නාවූ ඔවුන්ගේ වික්‍ෂිප්තබව එකඟනොවන ආකාරයයි. ඉක්බිති සොරුන් කියනලද දිනයෙහි නොආකල්හි හිස් හසුනක් (බොරු පණිවිඩයක්) වන්නේයයි (සිතා) ගමට පිවිසෙමුයි පිරිකර (භාණ්ඩ) සහිතව ගමට පිවිසෙත්. ඉක්බිති ඔවුන් පිවිසි බව දැන ගම වටකොට ගිනි දල්වා මිනිසුන් මරා සොරු සියලු ධනය පැහැරගෙන යත්. ඔවුනතුරින් මරා ඉතිරුවූවෝ ගිනි නිවා කොටුගෙවල සෙවනෙහි භික්ති සෙවන ආදියෙහි තැන්තැන්වල නැසුණු දෙය ගැන තැවෙමින් ලැඟ හිඳිත්. මෙය එල්බෙන ආකාරය, ලැගෙන ආකාරය නමි.
නළාගාරා යනු බටපතුරුවලින් වැසූ පිළිසන්වූ ගෙවල්ය. මෙහි සෙසු ඉතිරිදේ ගසින් කරන ලද්දේ වෙයි. තණගෙවලද මේ ක්‍රමයමැයි. කූටාගාරානි යනු කුළුවලින් එක්කරනලද ගෙවල්ය. උල්ලිත්තාවලිත්තානි යනු ඇතුළතද පිටතද ආලේපකළ ගෙවල්ය. නිවාතානි යනු නවත්වනලද වාපිවවිසීම්. (වැසූ වාකවුළුය). ඵස්සිතග්ගලානි යනු දක්‍ෂවඩුවන් විසින් කරන ලද බැවින් දොරබාවෙහි මනාව ගටනාලද කවුළුයි. පිහිතවාතපානානි යනු බඳිනා (වසන) ලද වාකවුළුයි. මේ පද දෙකින් කවුළුවාකවුළු නිතර වැසූබව නොකියා සමෘද්ධබවම කියනලදී. කැමති කැමති විට ඒවා වසනු ලැබේ. අරිනුලැබේ.
බාලතො උප්පජ්ජන්ති යනු බාලයෙකු (අසත්පුරුසයෙකු) නිසාම උපදිත්. බාලයා වනාහි අපණ්ඩිත පුරුෂයෙක්වූයේ රාජ්‍යය හෝ උපරාජ්‍යය හෝ අනෙකක් හෝ මහත් තනතුරක් පතන්නේ තමන් සමානවූ මහාධුර්තකවූ වැන්දඹු පුතුන් රැගෙන එවූ මම නුඹලා බලවතුන් කරන්නෙමි’යි පර්‍වතගහනාදිය ඇසුරුකොට කෙළවර ගම් පහරා දාමරිකබව හඟවා ක්‍රමයෙන් නියම්ගම්හිද දනවුහිද පහරයි. මිනිස්සු ගෙවල් අතැර ආරක්‍ෂාස්ථාන පතමින් ගමන් කරති. ඔවුන් ඇසුරුකොට වසන්නාවූ භික්‍ෂූහුද භික්‍ෂූණීහුද තමතමන් වසන තැන් අතහැර යති. ගියගිය තැන භික්‍ෂාවද සෙනසුනද දුලබවෙයි. මෙසේ සිවුපිරිසටම බිය ආයේම වෙයි. පැවිද්දන් අතුරෙහිද අසත්පුරුෂ භික්‍ෂූහු දෙදෙනෙක් ඔවුනොවුන් විවාදයක් පිහිටුවා චෝදනා නගත්. මෙසේ කොසම්බියවාසී භික්‍ෂූන්ගේ මෙන් මහත් කලහයක් උපදියි. සිවුපිරිසටම බිය ආයේම වේයයි මෙසේ යම්කිසි බිය උපදියිද ඒ සියල්ල බාලයා කෙරෙන් උපදිතැයි අනුසන්‍ධි පරිද්දෙන් දේශනාව නිමවූසේක.
3. 1. 1. 2
දෙවෙනි සූත්‍රයෙහි කායද්වාරාදියෙහි පැවති කර්‍මය, ලක්‍ෂණය, හඟවන කාරණය මෙයටනුයි කම්මලක්‍ඛණො නමි. අපදානසොභනි පඤ්ඤා යනු යම් ප්‍රඥාවක් නම් හැසිරීමෙන් හොබියි යනුයි. බාලයෝද පණ්ඩිතයෝද තමන්ගේ චරිතයෙන්ම ප්‍රකට වෙත් යන අර්‍ත්‍ථයි. බාලයා ගිය මග ගස් පඳුරුගම් නියම් දවා යන අකුණු ගින්නක් ගිය මග මෙන් වෙයි. අඟුරුදැලි අළුවලින් ගැවසීගත් දැවුණු තැන පමණක්ම පෙනෙයි. පණ්ඩිතයකු ගිය මඟකුඩාවලවල් ආදිය පුරවා නොයෙක් ධාන්‍ය සම්පත් ගෙනෙන චාතුර්ද්වීපික මෙඝයක් ගිය මගක් මෙන් වෙයි. යම්සේ එය ගිය මගෙහි දිය පිරුණාවුත් නොයෙක් ධාන්‍ය ඵලාඵල ඇත්තාවුත් ඒ ඒ තැන් දක්නාලැබේද එසේ පණ්ඩිතයකු ගිය මගෙහි සම්පත්තීහුම පෙනෙත් විපත්තීහු නොපෙනෙත්. මෙහි ඉතිරිය පැහැදිලිමය.
3. 1. 1. 3
තෙවෙනි සූත්‍රයෙහි බාල ලක්‍ඛණානි යනු මෙතෙම බාලයෙකැයි මේවායින් සලකුණු කරනු ලැබේ. හඟවයිනුයි බාලලක්‍ඛණානි නමි. ඒවාම ඔහු හඟවන කරුණු වේනුයි බාලනිමිත්තානි වේ. බාලයාගේ චරිතාපදානයෝයි බාලාපදානානි නමි දුච්චින්තිතචින්තී යනු සිතන්නේ අභිධ්‍යාව්‍යාපාද මිත්‍ථ්‍යාදෘෂ්ටිවශයෙන් නරක සිතීම්ම සිතයි. දුඛභාසිතභාසී යනු කථාකරන්නේද බොරුකීම් ආදී භේද ඇති නරක කීමක්ම කියයි. දුක්කතකම්මකාරී යනු කරන්නේද ප්‍රාණඝාතාදී වශයෙන් නරක ක්‍රියාවක්ම කරයි. පණ්ඩිතලක්‍ඛණානි යන ආදිය කියනලද අයුරින්ම දතයුතුයි. මෙහි සුචින්තිතචින්තී යනාදිය මනොසුචරිතාදීන්ගේ වශයෙන් යෙදියයුතුය.
3. 1. 1. 4
සිවුවැන්නෙහි අච්චයං අච්චයතො න පස්සති යනු තමාගේ වරද වරදක් ලෙස නොකියි. අච්චයතො දිස්වා යථාධම්මං න පටිකරොති යනු මවිසින් අපරාධයක් කරනලදැයි දැනගෙනද යම් ධර්‍මයක් වේනම් එය නොකරයි. දඬුවම ඉදිරිපත් කොට වරද නොදෙසයි. ක්‍ෂමා නොකරයි. අච්චයං දෙසෙන්නස්ස යථාධම්මං නපතිගණභාති යනු මවිසින් අනුන්ට විරුද්ධවන ලදැයි දැන දඬුවම ඉදිරිපත්කොට ක්‍ෂමා කරවන්නහුට ක්‍ෂමා නොකරයි. යහපත් අංශය කියනලද්දට ප්‍රතිපක්‍ෂවශයෙන් දතයුතුයි.
3. 1. 1. 5
පස්වැන්නෙහි අයොනිසො පඤ්භං කත්තා හොති යනු ‘උදායි, අනුස්සති කාරණා කෙතෙක්දැයි කීකල්හි පුබ්බේනිවාසය අනුස්සති කාරණයක් වන්නේයයි සිතා ලාළුදායි තෙරුන් මෙන් වැරදි ආකාරයට සිතීමෙන් නො පැනයක්ම පැනයක් කරන්නේවෙයි. අයොනිසො පඤ්භං විස්සජජෙතා හොති යනු මෙසේ සිතනලද ප්‍රශ්නය විසඳන්නේද ‘ස්වාමීනි, මෙහි භික්‍ෂුවක් නොයෙක් අයුරින් කරනලද පුබ්බෙනිවාසානුස්සතිය සිහිකරයි. කෙසේදයත්? එක් ජාතියක් යනාදිවශයෙන් ඒ තෙරුන්ම මෙන් නුනුවණින් විසඳන්නේ වෙයි. නොපැනයක්ම පැනයකැයි කියයි. පරිමණ්ඩලෙහි පදව්‍යංජනෙහි යන මෙහි පදයම අර්‍ත්‍ථයාගේ ව්‍යංජනවශයෙන් පදව්‍යංජනයයි. අකුරුසපුරා දස ආකාරවූ ව්‍යංසන බුද්ධිය නොපිරිහෙළා කියනලද එය පරිමණ්ඩලං (හාත්පසින් මනාව වටකරනලද්දේ) නම් වෙයි. මෙබඳුවූ පදව්‍යංජනයන්ගෙන්ය යන අර්‍ත්‍ථයි. සිලිටෙඨහි යනු සිලිටිබවින් සිලිටිවුයි. උපගතෙහි යනු අරුතද කරුණද එළඹ සිටියාවූයි. නාබ්භනුමොදිතා යනු මෙසේ නුවණින් සියලු කරුණින් යුක්තවූවක් කොටද විසඳනලද අනුන්ගේ ප්‍රශ්නය අනුමෝදන් නොවෙයි. සතුටු නොවෙයි. සැරියුත් තෙරුන්ගේ ප්‍රශ්නයට ලාළුදායි තෙරුන්මෙනි. යම්සේ කියනලද්දේද?