3. 1. 4. 9
නවවැන්නෙහි සුඛුමාලො යනු නිදුක්වූයේයි. පරමසුඛුමාලො යනු සපුරා නිදුක්වූයේයි. අච්චන්තසුඛුමාලො යනු නිබඳ නිදුක්වූයේයි. මෙය භාග්‍යවතුන්වහන්සේ කිඹුල්වතෙහි උපන්කලපටන් නිදුක්බව ගෙන කීයේය. දුෂ්කර ක්‍රියාවෙහි හැසුරුණුකල්හි උන්වහන්සේ විසින් අත්දුටු දුකෙහි කෙළවරක් නැත. එකිස්සා යනු එක් පොකුණකයි. උප්පලං පුප්ඵති යනු නිලුපුල් පැතිරී සිටියි. එම පොකුණ නිලුපුල් වනයෙන් ගැවසී ඇත. පදුමං යනු සුදුපියුම්ය. පුණ්ඩරීකං යනු රත්පියුම්ය. මෙසේ සෙසු (පොකුණු) දෙකද හෙළපියුම් රත්පියුම් වනයන්ගෙන් ගැවසුණේ වෙයි. බෝසතුන්වහන්සේට වනාහි අවුරුදු සත අට කල්හි (පිය) රජ තෙමේ ඇමතියන්ගෙන්, ‘කුඩා දරුවෝ කවර ක්‍රීඩාවක් ප්‍රිය කරත්දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, දියකෙළියයි.’ ඉක්බිති රජතෙමේ උදලු වැඩකරුවන් කැඳවා පොකුණට නිසි තැන් ලකුණු කරවූයේය. ඉක්බිති සක්දෙව් රජතෙමේ මෙනෙහි කරන්නේ එපුවත දැන ‘මහ සතුන්ට මානුෂික පරිභොගය නොසුදුසුය. දිව්‍ය පරිභොගය සුදුසුය’යි විස්කම් දෙවිපුතු අමතා ‘දරුව යන්න, මහසතුන්ගේ කෙළිබිමෙහි පොකුණු මවවයි කීවේය. ‘දේවයන්වහන්ස’ කෙබඳු පොකුණු වියයුතුදැයි ඇසීය. (එම පොකුණු) ඉවත්වූ මඩ ඇත්තේ වේවා! පැතිරීගිය මුතුමැණික් වැළ ඇති, සත්රුවන්මය පවුරෙන් වටකරනලද, පබළුමය නළල්පටවලින් මිණිමුවා හිණිපෙලින් රන්රිදීමිණිමුවා පුවරුවලින් යුක්තවූ ඒවා වේවා! එහි රන්රිදී මැණික් පබළුවලින් තැනූ නැව් වේවා! රුවන් නැවෙහි රිදී පළඟක් වේවා! රිදී නැවෙහි රුවන් පළඟක් වේවා! මැණික් නැවෙහි පබළු පළඟක්ද පබළු නැවෙහි මැණික් පළඟක්ද වේවා! දිය ඉසින නාලිකාවෝ රන්රිදී මැණික් පබළුවලින් කරනලද්දෝ වේවා! පස්වණක් පියුමින් ගැවසුණේ වේවා!’ ‘මැනවි, ස්වාමීනි’යි විස්කම් දෙවිපුත් තෙමේ සක්දෙවිඳුන්ට පිළිතුරුදී රාත්‍රිභාගයෙහි අවුත් රජුවිසින් ලකුණු කරවන ලද පොකුණු පිහිටියයුතු තන්හි ඒ අයුරින් පොකුණු මැවීය.
ඒවා ඉවත්වූ මඩ ඇත්තේ නොවේද? මෙහි කෙසේනම් මල් පිපුනේද? හෙතෙම ඒ පොකුණුවල ඒ ඒ තන්හි රන්රිදී මිණි පබළු යන මේවායින් තනනලද කුඩා නැව් මවා ‘මේවා වැලිවලින් පිරේවා! මෙහි පස්වණක් පියුම් පිපේවායි අදිටන් කළේය.’ මෙසේ පස්වණක් පියුම් පිපුණේය. රොන් වැටී උඩට මතුවී දියමත්තෙහි පැතිරී හැසිරෙයි. පස් ආකාර බමර සමුහයා නදදෙමින් හැසිරෙයි. මෙසේ ඒවා මවා විස්කම් දෙව්පුත් තෙමේ දෙවිපුරටම ගියේය. ඉක්බිති රෑ පහන්වූවිට මහජනයා දැක මහබෝසතාණන්ට මවනලද්දේ වන්නේයයි (සිතා) ගොස් රජුට සැළකළේය. රජතෙමේ මහජනයා පිරිවරා ගොස් පොකුනු දැක මා පුතුගේ පින්බලයෙන් දෙවියන් විසින් මවනලද්දේවන්නේයයි සතුටුවිය. එතැන්පටන් මහසත්තෙමේ දිය කෙළියටගියේය.
යාවදේව මමත්‍ථාය යනු මෙහි යාවදේව යනු ප්‍රයෝජනය වෙන්කොට දැක්වීමේ වචනයයි. මා සඳහාමය. මෙහි වෙනත් හේතුවක් නැතැයි අර්‍ත්‍ථයි. න ඛො පනස්සාහං යනු න ඛො පන අස්ස අහං යන පදයන්ගේ සිද්ධියයි. අකාසිකං චන්‍දනං යනු නොසියුම් සඳුන්ය. කාසිකං සු මෙ තං භික්‍ඛවෙ වෙඨනං යනු මහණෙනි, මගේ හිස් වෙළුමද පියුම් වෙයි. මෙහි සු යනුද තං යනුද නිපාතමාත්‍රයි. මෙ යනු සම්බන්‍ධ විභක්ති වචනයි. මගේ හිස්වෙළුම (තලප්පාව) සියුම්ම වේයයි දක්වයි. කාසිකා කඤ්චුකා යනු පොරවන සැට්ටයද සියුම් සැට්ටයක්ම වෙයි. සෙතච්ඡත්තං ධාරීයති යනු මානුෂික ශවේතච්ඡත්‍රයක්ද දිව්‍ය ශ්වේතච්ඡත්‍රයක්ද දරනලද්දේම වෙයි. මා නං සීතං වා යනු මේ බෝසතුන් සීත හෝ උෂ්ණාදිය අතුරෙන් වෙනෙකක් හෝ නොපැහැසේවායි අර්‍ත්‍ථයි.
තයො පාසාදා අහෙසුං යනු බෝසතුන් සොළොස් හැවිරිදිවූ කල්හි සුදෙවුන් රජතෙමේ පුතුට විසීමට පහයන් කරවන්නෙමැයි වඩු ජනයා කැඳවා සොඳුරුවූ නැකැත් මොහොතකින් භූමි කර්‍මය (බිම පිළියෙළ කිරීම) කොට තුන් පහයක් කරවූයේය. ඒවා සඳහා මෙය කියනලදි. හෙමන්තිකො යනාදියෙහි හේමන්තයෙහි විසීමට යම් තැනක සුවපහසු වේද, එය හේමන්තික නමි. සෙසු තන්හිද මේ ක්‍රමයමයි. මේ වනාහි මෙහි වචනාර්ථයයි. හෙමන්තයෙහි විසීම හේමන්ත නමි. හෙමන්තයට සුදුස්සේනුයි හෙමන්තික නමි. සෙසුතන්හිද මේ ක්‍රමයමයි.
එහි හෙමන්තික පහය නවමහල්විය. එහි බිම් උෂ්ණසෘතුව ගන්වනු සඳහා පහත් පහත් විය. එහි දොරකවුළු මනාව ගටනාලද්දේවිය. විවරනැත්තේ විය. සිතුවම් කරන්නාහු ඒ ඒ තැන දැල්වෙන ගිනි කඳන් තැනුවාහුය. මෙහි බුමුතුරණ ලොම්වලින් කරනලද්දේවිය. එසේම තිර, වියන්, හඳනා ඇඳුම්, පොරෝනා ඇඳුම්, හිස් වෙළුම් ලොම්වලින් කරනලද්දේවිය. කවුළු උණුසුම ගැන්වීම සඳහා දහවල විවරකරනලද්දේ රැය අරිනලද්දේවිය.