4. දෙවදූත වර්ගය
3. 1. 4. 1
සිවුවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි අජ්ක්‍ධාගාරෙ යනු සියගෙහිය. පූජිතා හොන්ති යනු යමක් ගෙහි වේද එයින් පිළිදැඟුම් කරනලද්දෝ පෝෂණය කරනලද්දෝ වෙති. මෙසේ මවුපියන් පුදනලද කුලයෝ මවුපියන්ගෙන් බ්‍රහ්මයන් සහිතවූවෝයයි ප්‍රකාශකොට දැන් ඔවුන් පෙරැදුරන් ආදිබව දක්වමින් සපුබ්බාචරියකානි යනාදිය පැවසූහ. එහි බ්‍රහ්මා යනාදිය ඔවුන්ගේ බ්‍රහ්මාදිභාවය ඔප්පුකිරීම සඳහා කියනලදි. බහුකාරා යනු බොහෝ උපකාර ඇත්තෝයි. ආපාදකා යනු ජීවිතය ඇතිදැඩිකරන්නෝයි. මාපියන් විසින් දරුවන්ගේ ජීවිතය ඇතිදැඩි කරනලද්දේය. පාලනය කරනලද්දේය. නොකඩවා පවත්වනලද්දේය. පොසකා යනු අත්පා වඩා හදලේ පොවා පෝෂණයකරන්නෝය. ඉමස්ස ලොකස්ස දස්සෙතාරො යනු දරුවන්ගේ මෙලොව ඉටුඅනිටු අරමුණු දැකීම නම් මාපියන් නිසා විණැයි මෙලොව දක්වන්නාහුනම් වෙත්.
බ්‍රහ්මාති මාතාපිතරො යනු උත්තමාර්‍ත්‍ථ පර්යාය වචනයකි. යම්සේ මහා බ්‍රහ්මයාගේ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‍ඛා නමින් භාවනා සතරක් අත්නොහරින ලද්දේ වෙයිද එසේම මවුපියන්ගේ දරුවන් කෙරෙහි භාවනා සතරක් අත්නොහරින ලද්දේවෙයි. ඒවා ඒ ඒ කාලයෙහි දතයුතුයි. දරුවන් කුසෙහි සිටියදී කෙදිනක නම් දරුවා නීරෝගීව පිරිපුන් අග පසඟ ඇතිව දකින්නෙමුදැයි මාපියන්ට මෙත්සිත උපදියි. යම්විටක උඩුකුරුව හොවින ළදරුවූ මෙතෙම උකුණන් හෝ මකුණන් විසින් දෂ්ටකරනලද්දේ අමාරු හෙවීම නිසා පෙළෙනලද්දේ හෝ හඬයිද වැළපෙයිද එවිට ඔහුගේ හඬ අසා මවුපියන්ට කරුණාව උපදියි. දුවපැන කෙළිසෙල්ලම් කරනකල්හි හෝ ලොබ උපදවන වියෙහි සිටිකල්හි හෝ දරුවන් බලා මාපියන්ගේ සිත පිරිසුදු ගිතලෙහි බහා සියවරක් පෙළූ පුළුන්පොදක් මෙන් මෙළෙක්වෙයිද සතුටුවෙයිද බෙහෙවින් සතුටුවෙයිද එවිට ඔවුනට මුදිතාව ලැබෙයි. යම් විටක මේ දරුවා විවාහදිවියෙහි පිහිටුවා වෙන්වෙන්ව ගෙහි වසයිද එවිට දැන් පුතා තමන්ගේ හැකියාවෙන් යැපීමට සමත්වේයයි මවුපියන්ට මැදහත්බව උපදියි. මෙසේ එකල්හි උපෙක්‍ෂාව ලැබේනුයි මෙකරුණින් මවුපියෝ බ්‍රහ්මයයි කියනලදි.
පුබ්බාචරියාති වුච්චරෙ යනු මවුපියෝ වනාහි (දරුවා) උපන්කල සිට මෙසේ හිඳුව, මෙසේ සිටුව, මෙසේ යව, මෙසේ කව, මෙසේ අනුභවකරව, මෙතෙම ඔබේ පියාය, මේ ඔබේ සොහොයුරාය, මේ ඔබේ සොහොයුරියයි, මෙය කිරීමට සුදුසුය, මෙය නොසුදුසුය. අසුවලා නම් ඇසුරුකිරීමට සුදුසුය. අසුවලා නොසුදුසුය යනුවෙන් උගන්වත්, හික්මවත්. ඉන් පසුකලක වෙනත් ආචාර්යවරු ඇත් අස් රිය දුනු කඩු ශිල්ප රේඛා ගණන් ආදිය උගන්වත්, අන්‍යයෝ සරණ දෙති. අන්‍යයෝ ශිලයන්හි පිහිටුවත්, අන්‍යයෝ පැවිදි කරවත්, අන්‍යයෝ බුද්ධවචනය උගන්වත්, අන්‍යයෝ උපසම්පදා කරවත්, අන්‍යයෝ සෝවාන් ආදී මාර්‍ගඵලයන්හි පිහිටුවත්, මෙසේ මේ සියල්ලෝම පසුඇදුරෝ නම් වෙත්. මාපියෝ වනාහි සියල්ලන්ට පළමුවැන්නෝයි. එබැවින් පෙරැදුරෝ වෙතැයි කියනලදි. එහි වුච්චරෙ යනු කියනුලැබෙත් යනුයි. ආහුනෙය්‍යා ච පුත්තානං යනු දරුවන්ගේ ගෙනෙනලද රැස්කරනලද තනනලද ආහාර පානාදියට සුදුසුය. ඒවා පිළිගැනීමට සුදුස්සෝය. එබැවින් ආහුනෙය්‍යා ච පුත්තානං යි කියනලදි. පජාය අනුකම්පකා යනු අනුන්ගේ පණ සිඳබිඳවුවද තමන්ගේ ප්‍රජාව පිළිදැගුම්කරත්, පෝෂණය කරත්. එබැවින් පජාය අනුකම්පකායි කියනලදි.