3. 1. 4. 10
දසවැන්නෙහි ආධිපත්‍යොනි යනු ප්‍රධාන කාරණයෙන් උපන්නාවූය. අත්තාධිපතෙය්‍යං යනාදියෙහි තමන් ප්‍රධානකොට හටගත් ගුණ සමූහය අත්තාධිපතෙය්‍ය නමි. ලෝකය ප්‍රධානත්වයෙහි තබා උපදවනලද්ද ලෝකාධිපතෙය්‍යං නමි. නවවිධ ලෝකෝත්තර ධර්‍මය ප්‍රධානකොට උපදනලද්ද ධම්මාධිපතෙය්‍යං නමි. න ඉති භවාභවහෙතු යනු මෙසේ භවය මෙසේ භවයයි මේ අයුරින් අනාගතය ඒ ඒ සම්පත්ති භවයට හේතුව නොවෙයි. ඔතිණ්ණො යනු ඇතුළට වැදුණුයි. යමෙකුගේ උපත ඇතුළට පිවිසියේද හෙතෙම ජාතියෙන් (උපතින්) ඇතුළට පිවිසියේ නමි. ජරා ආදියෙහිද මේ ක්‍රමයමයි. කෙවලස්ස දුක්‍ඛක්‍ඛන්‍ධස්ස යනු සියලු සසරදුක් සමූහයේයි. අන්තකිරියා පඤ්ඤායෙථ යනු අවසන් කිරීම, විනාශ කිරීම පැනෙයි. ඔහාය යනු ඇත්හැරය. පාපිට්ඨතරෙ යනු දැඩිසේ ලාමක, පහත්වූයි. ආරද්ධං යනු පටන්ගන්නා ලද, පිරිපුන් යනුයි. පටන් ගන්නාලද බවම අසල්ලීනං නමි. උපට්ඨිතා යනු සතර සතිපට්ඨානවශයෙන් එළඹ සිටියි. එළඹසිටිබවම අප්පමුට්ඨා නමි. පස්සද්ධකායො යනු නාම කායයද කරජකායය (භෞතික ශරීරය) ද සන්හුන්වුයේ, සන්සිඳුණු දැවිල්ල ඇත්තේයි. සන්සුන් බවම අසාරද්ධොයි. සමාහිතං චිත්තං යනු අරමුණෙහි සිත මනාව යොදනලද්දේ, පිහිටුවනලද්දේයි. සමාහිතබවම එකග්ගං නමි. අධිපතිං කරිත්‍වා යනු ජ්‍යෙෂ්ඨකොටයි. සුද්ධමත්තානං පරිහරති යනු පිරිසිදු, නිර්‍මලකොට තමන් හසුරුවන්නේය. පිළිදැගුම් කරන්නේය. පාලනය කරන්නේය යන අරුත්ය. මෙය අරහත් මාර්ගය දක්වා පර්යායයෙන් පිරිසුදුවූ තමන් පිළිදැගුම් කරයි නම් වේ. ඵලයට පත් තැනැත්තේ ම නිෂපර්යායයෙන් පිරිසුදුවූ තමන් පිළිදැඟුම් කරයි නමි.
ස්වාක්‍ඛාතො යනාදිය විසුද්ධිමග්ගයෙහිදී විස්තර කරනලදි. ජානං පස්සං විහරන්ති යනු ඒ ධර්‍මය දනිමින් දකිමින් වසත්. ඉමානි ඛො භික්‍ඛවෙ තීණි ආධිපතෙය්‍යානි යනු මෙපමණකින් ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවූ ආධිපතෙය්‍යතුන කියනලදි.
පකුබ්බතො යනු කරන්නාගේයි. අත්තා තෙ පුරිස ජානාති සච්චං වා යදිවා මුසා යනු යමක් නුඹ කරහිද එය එක්කෝ යථා ආකාරයද නැතහොත් අයථා ආකාරයදැයි නුඹේ ආත්මයම දනියි. මෙකරුණින්ද පව්කමක් කරන්නාට ලොවෙහි සැඟවුණ තැනක් නම් නැතැයි දතයුතුය. කල්‍යාණං යනු සොඳුරුයි. අතිමඤ්ඤසි යනු යටපත් කොට පහත්කොට සිතහි. අත්තානං පරිගූහසි යනු යම්සේ මගේ ආත්මය පවා නොදැනගනියිද එසේ මෙය සඟවමැයි උත්සාහ කරහි. අත්තාධිපකො යනු තමා ප්‍රධාන කොට ඇත්තේ තමා ජ්‍යෙෂ්ඨකොට ඇත්තේයි. ලොකාධිපො යනු ලෝකය ප්‍රධානකොට ඇත්තේයි. නිපකො යනු නුවණැත්තායි. ක්‍ධායී යනු ධ්‍යාන වඩන්නායි. ධම්මාධිපො යනු ධර්‍මය ජ්‍යෙෂ්ඨකොට ඇත්තේයි. සච්චපරක්කමො යනු නොසෙල්වෙන පරාක්‍රමය ඇත්තේ, සත්‍යපරාක්‍රමය ඇත්තේයි. පසය්හ මාරං යනු මාරයා යටපත් කොටයි. අභිභුය්‍ය අන්තකං යන මෙය මුලින් කියනලද දෙයෙහිම පර්‍ය්‍යාය වචනයි. යො ච ඵූසී ජාතික්‍ඛයං පධානවා යනු ධ්‍යාන වඩන ප්‍රධන් වීර්යයෙන් යුක්ත යමෙක් මාරයා යටපත්කොට ජාතික්‍ෂය (උපත නැති කිරීම) සංඛ්‍යාත නිර්‍වාණය ස්පර්‍ශ කළේද සො තාදිසො යනු හෙතෙම එබඳුය, එසේ පිහිටියේය. ලොකවිදූ යන තුන්ලොව දැන ප්‍රකට කොට සිටියේයි. සුමෙධො යනු මනා නුවණැත්තේයි. සබ්බෙසු ධම්මෙසු අත්තම්මයො මුනී යනු සියලු ත්‍රෛභූමක ධර්‍මයන්හි තෘෂ්ණා සංඛ්‍යාතවූ තම්මතාවේ නැතිවීමෙන් අතම්මයවූ ක්‍ෂීණාශ්‍රව මුනිතෙමේ කිසි දිනෙක නොපිරිහේයයි කියනලද්දේවෙයි.
සිවුවෙනිවූ දෙවදූතවර්‍ගයයි.
5. චූල වර්ගය
3. 1. 5. 1
පස්වෙනි වර්‍ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි සම්මුඛීභාවා යනු මුණ ගැසීමෙන් විද්‍යමානබැවින්ය යනු අරුත්ය. පසවති යනු යළිලබයි. සද්ධාය සම්මුඛිභාවා යනු ඉදින් ශ්‍රද්ධාව නොවන්නේද දානවස්තුව නොවන්නේද දක්‍ෂිණෙය්‍ය සංඛ්‍යාතවූ ප්‍රතිග්‍රාහක පුද්ගලයෝ නොවන්නහුද (එවිට) කෙසේ නම් පුණ්‍ය කර්‍මයක් කරන්නේද? ඒවායේ එක්වීමෙන් කිරීමට හැකි වන බැවින් සද්ධාය සම්මුඛීභාවා යනාදිය ප්‍රකාශ කළේය. මෙහිද ධර්‍මදෙකක් සුලභය. දානවස්තුවද දක්‍ෂිණෙය්‍ය ප්‍රතිග්‍රාහක පක්‍ෂයද යන දෙකයි. ශ්‍රද්ධාව වනාහි දුර්ලභය. පුහුදුන් මිනිසුන්ගේ ශ්‍රද්ධාව ස්ථාවර නැත. පියවරෙහි වෙනස් වෙයි. එහෙයින්ම එයට මහමුගලන් වැනිවූ අගසව්වෙක් වුවද ඇපකරුවෙක් වීමට නොහැකි වන්නේ මෙසේ කීය: ‘ඇවැත්නි, මම ධර්‍මදෙකකට එනම් භොගයන්ට සහ ජීවිතයට ඇපකරුවෙක් වෙමි. ශ්‍රද්ධාවට වනාහි නුඹම ඇපකරුවෙක්වෙහි.’
3. 1. 5. 2
දෙවැන්නෙහි, විගතමලමච්ඡෙරෙන යනු දුරුවූ මසුරුමලිනි. මුත්තචාගො යනු අත්හරනාලද ත්‍යාගය ඇත්තේයි. පයතපාණී යනු සේදූ අත් ඇත්තේයි. සැදැහැනැත්තා වනාහි සියවරක් අත දොවාද කිළිටි අතැත්තේමවෙයි. සැදැහැවතා වනාහි දානයෙහි සිත ඇලවූ හෙයින් කිළිටි අතැත්තේද දෙවූ අතැත්තේමය. වොස්සග්ගරතො යනු පරිත්‍යාග සංඛ්‍යාත දානයෙහි ඇලුනේයි. යාචයොගො යනු ඉල්ලීමට සුදුසුවූයේයි. නැතහොත් යාචකයන් සමඟ එක්වීම මොහුගේනුයි යාචයොග නම්වේ. දානසංවිහාගරතො යනු දන් දෙමින්ම දානය මනාව බෙදාදීම කරන්නේද දානසංවිහාගරත නමි.
දස්සන කාමො සීලවතං යනු යොදුන් දසයක්ද විස්සක්ද සියක් යොදුනක්වුවද ගොස් හෝ සිල්වතුන් දකිනු කැමැත්තේ වෙයි. පාටලීපුත්තක බමුණා මෙන්ද සද්ධාතිස්ස මහරජතුමා මෙන්ද වේ. පැළලුප්නුවර දොරටුවෙහි ශාලාවක හුන්නාවූ බමුණෝ දෙදෙනෙක් කාළවල්ලිමණ්ඩපවාසී මහානාග තෙරුන්ගේ ගුණ කථාව අසා අපවිසින් එම භික්‍ෂුව දැකීමට වටීයයි දෙදෙනාම පිටත්වූවාහුය. එක්කෙනෙක් අතරමගදී කළුරිය කළේය. එක්කෙනෙක් මුහුදු තෙරට පැමිණ නැවකින් මහතොට පටුනෙන් ගොඩබැස අනුරාධපුරයට අවුත් කාළවල්ලි මණ්ඩපය කොහිදැයි විමසුවේය. රුහුණු දනව්වෙහියයි (දැන ගැනීමට ලැබිණ). හෙතෙම අනුක්‍රමයෙන් තෙරුන් වසන තැනට පැමිණ සුළුනුවර ගමෙහි සමීප ගෙදරක නවාතැන් ගෙන තෙරුන්ට අහර සපයා උදයෙන්ම නැගිට තෙරුන් වසනතැන අසා එහි ගොස් පිරිස කෙළෙවරෙහි සිටියේ එන්නාවූ තෙරුන් දුරදීම දැක වරක් එහිම සිටියේ වැඳ යළි ළඟට ගොස් (තෙරුන්ගේ) ගොප් ඇට තදින් අල්වාගෙන වඳිමින් ‘ස්වාමිනි, ඔබ වහන්සේ උස්යයි කීවේය. තෙරුන්වහන්සේද නූස්ය, නොමිටිය. නිසිපමණින් යුතුවූවෝමය. එහෙයින් හෙතෙම උන්වහන්සේට යළි මෙසේ කීය: ‘නුඹවහන්සේ ඉතා උස් නොවෙති. නුඹවහන්සේගේ ගුණය වනාහි කළු පැහැති (තදිනිල්) මුහුද මතින් ගොස් සියලු දඹදිව් තෙලෙහි පැතිරී ගියේය. මම පැළලුප් නුවර දොරටුවෙහි හුන්නෙමි. නුඹවහන්සේගේ ගුනකථාව ඇසීමි.’ හෙතෙම තෙරුන්වහන්සේට භික්‍ෂාහාරයදී තමන්ගේ තුන්සිවුර පාවාදී (පිළිගන්වා) තෙරුන් සමීපයෙහි පැවිදිවී උන්වහන්සේගේ අවවාදයෙහි පිහිටා කිහිප දිනකින්ම රහත්බවට පත්වූයේය.