3. 1. 4. 7
සත්වැන්නෙහි අමච්චා පාරිසජ්ජා යනු සේවක දෙවිවරුයි. ඉමං ලොකං අනුවිචරන්ති යනු අට්ඨමි දිනයෙහි සක්දෙවිරජතෙමේ සතර (වරම්) මහරජදරුවන්ට අණකරයි. ‘දරුවනි, අද අට්ඨමි දිනයයි. මිනිස්ලොව හැසිර පින් කරන්නන්ගේ නම් ගොත් උගෙන එවු’ යනුවෙනි. ඔවුහු ගොස් තමන්ගේ සේවකයන්, ‘දරුවනි, මිනිස් ලොවෙහි හැසිර පින් කරන්නන්ගේ නම්ගොත් රන්පටක ලියා ගෙනෙවු’යයි පවසා පිටත්කොටහරිත්, ඔවුහු එසේ කරත්. එහෙයින් මෙලොව විමසාබලත්යයි කියනලදි. කච්චි බහු යනාදිය ඔවුන්ට පරීක්ෂාකර බැලීමේ ආකාරය දැක්වීම සඳහා කියනලදි. මෙසේ පරීක්ෂාකරමින් ඔවුහු හැසිරෙත්. එහි උපොසථං උපවසන්ති යනු මසකට අටවරක් උපොෂථාංග අදිටත්. පටිජාගරොන්ති යනු පටිජාගර උපොෂථ නම්වූ කර්මයක් කරති. එය කරන්නාහු එක් අඩමසෙක පෙහෙස් දින සතරට පෙරගමන් අනුගමන්වශයෙන් කරත්. පඤ්චමී උපොෂථය පෙරගමන් කරන්නාහු සිවුවැනි දිනයෙහි පෙහෙවස් රකින්නෝවෙත්. අට්ඨමී උපොෂථය පෙරගමන් කරන්නහු සත්වැනි දිනයද අනුගමන් කරන්නාහු නවවැනි දිනයද පෙහෙවස් රකින්නෝවෙත්. තුදුස්වක් පොහොය පෙරගමන් කරන්නාහු තෙළෙස්වකද පසළොස් වක් පොහොය අනුගමන් කරන්නාහු පෑළවියෙහිද පෙහෙවස් රකින්නෝවෙත්. පුඤ්ඤානි කරොන්ති යනු සරණයාම, නිතිසිල් ගැනීම, මල්පූජා, බණඇසීම, පහන්දහස් ගණන් තැබීම, වෙහෙරකරවීම ආදී නොයෙක් ආකාර පින්කරත්. ඔවුහු මෙසේ හැසිර පින්කම් කරන්නවුන්ගේ නම්ගොත් රන්මුවා පටක ලියා ගෙනගොස් සතර මහ රජවරුන්ට දෙත්. පුත්තා ඉමං ලොකං අනුවිචරන්ති යනු සතර මහ රජුන් විසින් පෙර ක්රමයෙන්ම යවනලද බැවින් හැසිරෙති. තදහු යනු එදවසයි. උපොසථෙ යනු පොහොය දිනයෙහියි.
සචෙ භික්ඛවෙ අප්පකා හොන්ති යනු සිවුමහරජවරුන්ගේ පරිචාරක ඇමතිවරු ඒ ඒ ගම්නියම්ගම් රජදහන්වලට පැමිණෙත්, ඉක්බිති එය ඇසුරුකොට අධිගෘහිතව සිටින දෙවිවරු මහරජවරුන්ගේ ඇමතිවරු පැමිණියහයි පඬුරු ගෙන ඔවුන් හමුවට යත්. ඔවුහු පඬුරු ගෙන ‘පින්වත්නි, කෙසේද බොහෝ මිනිස්සු මවට හිතවත්වූවහුදැයි කියනලද ක්රමයෙන් මිනිසුන්ගේ පුණ්ය ප්රතිපත්ති විමසා මෙගම අසුවලාද අසුවලාද පින් කරතියි කීකල්හි ඔවුන්ගේ නම්ගොත් ලියා වෙන තැනක යත්. ඉක්බිති තුදුස්වකදී සිවුමහ රජුන්ගේ පුත්රයෝද ඒ රන්පටම ගෙන ඒ අයුරින්ම හැසිරෙමින් නම්ගොත් ලියත්. පසළොස්වක් පොහෝ දිනයෙහි සිවුමහරජවරු ඒ අයුරින්ම ඒ රන්පටෙහිම නම්ගොත් ලියත්. ඔවුහු රන්පටේ ප්රමාණයෙන්ම ‘මෙකල්හි මිනිස්සු අඩුය. මෙකල්හි මිනිස්සු බොහෝය’යි දැනගනිත්. ඒ සඳහා සචෙ භික්ඛවෙ අප්පකා හොන්ති මනුස්සා යනාදිය කියනලදි. දෙවානං තාවතිංසානං යනු පළමුව උපන් තෙතිස් දෙවිපුතුන් නිසා ලද නම් ඇත්තවුන්ගේයි. ඔවුන්ගේ උත්පත්ති කථාව දීඝනිකායෙහි මහාගොවින්ද සූත්ර වර්ණණාවෙහි විස්තර කරනලදි. තෙන යනු ඒ දැන්වීමෙන් හෝ ඒ පින් කරන්නන් අඩු බැවින්ය. දිබ්බා වත හො කායා පරිහායිස්සන්ති යනු අලුත් අලුත් දෙවි පුතුන් නොපහළවීමෙන් දෙවසමූහයා පිරිහෙත්. සිත්කලුවු යොදුන් දහසක් ඇති දිව්යනගරය හිස් වන්නේය. පරිපූරිස්සන්ති අසුරකායා යනු සතර අපායයෝ පිරෙත්. මෙසේ අපි පිරිපුන් දෙවිනුවරෙහි දෙවසමූහයා මැද නැකැත් කෙළීමට නොලබන්නමුයි අසතුටු වෙත්. කුශලපක්ෂයෙහිද මේ අයුරින්ම අර්ත්ථය දතයුතුය.
භූතපුබ්බං භික්ඛවෙ සක්කො දෙවානමින්දො යනු තමාගේ සක්දෙවිරජ කාලයසඳහා පවසයි. එක් ශක්රයකුගේ හෝ අදහස ගෙන කියතියි කියනලදි. අනුසඤ්ඤායමානො යනු අවබෝධකරනු ලබන්නේයි. තායං වෙලායං යනු එකල්හියි.
පාටිහාරියපක්ඛංච යනු මෙහි පාටිබාරිය පක්ඛ නම් ඇතුළු වස තෙමස නිබඳ උපොෂථයයි. එය නොහැකිවන්නාට පවාරණ දෙක අතුරෙහි එක්මසක් නිබඳ පොහොයයි. එයද නොහැකිවන්නාට පළමුපවාරණයෙහි පටන් එක් අඩමසක් පාටිහාරිය පක්ෂයයි. අට්ඨඞ්ග සුසුමාගතං යනු ගුණ අටකින් යුක්තවූයි. යොපස්ස මාදිසො නරො යනු යම් සත්වයෙක් මාබඳුවන්නේය. ශක්රයා වනාහි කියනලද ආකාරඇති උපොෂථ කර්මයෙහි ගුණය දැන දෙදෙව්ලොව සැපත් අත්හැර මාසයට අටවරක් පෙහෙවස් රකියි. එබැවින් මෙසේ කියනලදි. මෙබඳුවූ උපොෂථකර්මයෙන් ශක්රසම්පත්තියට පැමිණීමට හැක්කේය යන මෙය මෙහි අදහසයි.
වුසිතවා යනු විසූවස් ඇත්තේයි. කතකරණීයො යනු සිවුමගෙහි කළයුතුදෙයකොට සිටියේයි. ඔහිතහාරො යනු සකන්ධභාර ක්ලෙශභාර අභිසංස්කාරභාරයන මේවා බහා තබා සිටියේයි. අනුප්පත්තසදත්ථො යනු රහත්බව සදර්ත්ථයයි කියනු ලැබේ. එයට පැමිණියේයි. පරික්ඛීණ භවසංයෝජනො යනු යම් සංයෝජනයකින් බඳනා ලද්දේ භවයන්හි අදිනු ලැබේද? එය ක්ෂයවූබැවින් ක්ෂයවූ භවසංයෝජන ඇත්තේයි. සම්මදඤ්ඤා විමුත්තො යනු හේතුවෙන්, ක්රමයෙන්, කාරණයෙන් දැන මිදුණේයි. කල්ලං වචනාය යනු කීමට යුතුය.
යොපස්ස මාදිසො නරො යනු යමෙක් මාබඳු ආශ්රව ක්ෂය කළ කෙනෙක් වේද හෙතෙමේත් මෙබඳුවූ පොහොයක් වෙසෙන්නේයයි උපොෂථ කර්මයාගේ ගුණය දනිමින් මෙසේ කියන්නේය. වෙනත් ක්රමයක්ද වේ. යොපස්ස මාදිසො නරො යනු යම් සත්වයෙක් මා බඳුවුවෙක් වන්නේද (හෙතෙම) මාලද සැපතට පැමිණීමට කැමැති වන්නේය යන අර්ත්ථයයි මෙබඳුවූ උපොෂථ කර්මයෙන් ක්ෂීණාශ්රව සම්පත්තියට පැමිණීමටහැකිය යන මෙය මෙහි අදහසයි. අටවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
3. 1. 4. 9
නවවැන්නෙහි සුඛුමාලො යනු නිදුක්වූයේයි. පරමසුඛුමාලො යනු සපුරා නිදුක්වූයේයි. අච්චන්තසුඛුමාලො යනු නිබඳ නිදුක්වූයේයි. මෙය භාග්යවතුන්වහන්සේ කිඹුල්වතෙහි උපන්කලපටන් නිදුක්බව ගෙන කීයේය. දුෂ්කර ක්රියාවෙහි හැසුරුණුකල්හි උන්වහන්සේ විසින් අත්දුටු දුකෙහි කෙළවරක් නැත. එකිස්සා යනු එක් පොකුණකයි. උප්පලං පුප්ඵති යනු නිලුපුල් පැතිරී සිටියි. එම පොකුණ නිලුපුල් වනයෙන් ගැවසී ඇත. පදුමං යනු සුදුපියුම්ය. පුණ්ඩරීකං යනු රත්පියුම්ය. මෙසේ සෙසු (පොකුණු) දෙකද හෙළපියුම් රත්පියුම් වනයන්ගෙන් ගැවසුණේ වෙයි. බෝසතුන්වහන්සේට වනාහි අවුරුදු සත අට කල්හි (පිය) රජ තෙමේ ඇමතියන්ගෙන්, ‘කුඩා දරුවෝ කවර ක්රීඩාවක් ප්රිය කරත්දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, දියකෙළියයි.’ ඉක්බිති රජතෙමේ උදලු වැඩකරුවන් කැඳවා පොකුණට නිසි තැන් ලකුණු කරවූයේය. ඉක්බිති සක්දෙව් රජතෙමේ මෙනෙහි කරන්නේ එපුවත දැන ‘මහ සතුන්ට මානුෂික පරිභොගය නොසුදුසුය. දිව්ය පරිභොගය සුදුසුය’යි විස්කම් දෙවිපුතු අමතා ‘දරුව යන්න, මහසතුන්ගේ කෙළිබිමෙහි පොකුණු මවවයි කීවේය. ‘දේවයන්වහන්ස’ කෙබඳු පොකුණු වියයුතුදැයි ඇසීය. (එම පොකුණු) ඉවත්වූ මඩ ඇත්තේ වේවා! පැතිරීගිය මුතුමැණික් වැළ ඇති, සත්රුවන්මය පවුරෙන් වටකරනලද, පබළුමය නළල්පටවලින් මිණිමුවා හිණිපෙලින් රන්රිදීමිණිමුවා පුවරුවලින් යුක්තවූ ඒවා වේවා! එහි රන්රිදී මැණික් පබළුවලින් තැනූ නැව් වේවා! රුවන් නැවෙහි රිදී පළඟක් වේවා! රිදී නැවෙහි රුවන් පළඟක් වේවා! මැණික් නැවෙහි පබළු පළඟක්ද පබළු නැවෙහි මැණික් පළඟක්ද වේවා! දිය ඉසින නාලිකාවෝ රන්රිදී මැණික් පබළුවලින් කරනලද්දෝ වේවා! පස්වණක් පියුමින් ගැවසුණේ වේවා!’ ‘මැනවි, ස්වාමීනි’යි විස්කම් දෙවිපුත් තෙමේ සක්දෙවිඳුන්ට පිළිතුරුදී රාත්රිභාගයෙහි අවුත් රජුවිසින් ලකුණු කරවන ලද පොකුණු පිහිටියයුතු තන්හි ඒ අයුරින් පොකුණු මැවීය.