3. 1. 4. 6
සවැන්නෙහි දෙවදූතානි යනු දේවදූතයෝයි. මෙය වනාහි වචනාර්ථයයි. දෙවො යනු මාරයායි. ඔහුගේ දූතයෝයි දෙවදූතා නමි. ජරාව්‍යාධිමරණයෝ සංවේග දනවන අරුතින් දැන් ඔබ මාරයා සමීපයට යායුතුයයි චොදනාකරන්නාහු මෙනි. එහෙයින් දෙවදූතයෝයි කියනු ලැබෙත්. දෙවියන් වැනි දූතයෝයිද දූවදුතා නම් වෙත්. යම්සේ අලංකාරයෙන් සැරසුණු දෙවඟනක අහසෙහි සිට නුඹ අසුවල් දිනයෙහි මැරෙන්නෙහියයි කීකල්හි ඇයගේ වචනය ඇදහිය යුතු වෙයිද එසේම ජරාව්‍යාධිමරණයෝ දකිනු ලබන්නාහු නුඹද මෙබඳු ස්වභාවය ඇත්තෙහියයි චෝදනා කරත් මෙනි. ඔවුන්ගේද ඒ වචනය නොවෙනස්වීම නිසා දෙවඟනක කියනලද්දක්මෙන් වෙයිනුයි දෙවියන් වැනි දූතයෝයි දෙවදූතයෝ නමි. විසුද්ධිදෙවියන්ගේ දූතයෝයිද දෙවදූතයෝ වෙත්. සියලු බෝධිසත්වයෝම ජරාව්‍යාධිමරණ හා පැවිද්දන් දැකීමෙන්ම සංවේගයට පැමිණ නික්ම පැවිදිවූහ. මෙසේ විසුද්ධි දෙවියන්ගේ දූතයෝයිද දෙවදූතයෝයි. මෙහි වනාහි ලිංගවිපර්‍ය්‍යාසයෙන් ‘දෙවදූතානි’යි කියනලදි.
කායෙන දුච්චරිතං චරති යනාදිය කුමක් නිසා අරඹන ලද්දේද යත්? දෙවදූතයන් යෙදෙන තැන පිළිවෙළ පිළිබඳ කර්‍මයන් දැක්වීම සඳහාය. මේ කර්‍මයෙන් මේ සත්වයා නිරයෙහි උපදියි. ඉක්බිති එහි යමරජ තෙමේ ඔහුට දේවදූතයන් යොදවයි. එහි කායෙන දුච්චරිතං චරති යනු කායද්වාරයෙන් ත්‍රිවිධ දුශ්චරිතයන්හි යෙදෙයි. වාචාය යනු වාග්ද්වාරයෙනි. චතුර්විධ දුශ්චරිතයන්හි යෙදෙයි. මනසා යනු මනොද්වාරයෙන් ත්‍රිවිධ දුශ්චරිතයන්හි යෙදෙයි.
තමෙනං භික්‍ඛවෙ නිරයපාලා යනු මෙහි ඇතැම් තෙරවරු නිරයපාලයෝ නම් නැත. යන්ත්‍රරූපයක් මෙන් කර්‍මයම දඬුවම් කරතියි කියත්. එය අත්‍ථි නිරයෙ නිරයපාලාති ආමන්තා අත්‍ථි ච කාරණිකා යනාදී ක්‍රමයෙන් අභිධර්‍මයෙහි ප්‍රතික්‍ෂෙප කරනලද්දේමය. යම්සේ මිනිස්ලොව වධදෙන්නෝ වෙත්ද එසේම නිරයෙහි නිරය පල්ලෝ වෙති. යමස්ස රඤ්ඤො යනු යමරජු යනු වෙමානික ප්‍රේතරාජයෙකි. එක් කලෙක දිව්‍යවිමානයක දිව්‍යකල්පවෘක්‍ෂ දිව්‍ය උද්‍යාන දිව්‍ය නාටක ස්ත්‍රීන් ආදි සම්පත් අනුභව කරයි. එක් කලෙක කර්‍මවිපාකය විඳියි. ධාර්මික රජෙකි. මෙතෙම හුදෙකලා වූයේම නොවේ. දොරටු සතරෙහි සතර දෙනෙක් වෙත්. අමත්තෙය්‍යො යනු මවට හිතවූයේ මත්තෙය්‍ය නමි. මවට මනාව පිළිපන්නේය යනාර්‍ත්‍ථයි. මත්තෙය්‍ය නොවන්නේ අමත්තෙය්‍ය නම්වේ. මව කෙරෙහි වැරදියට පිළිපන්නේය යන අර්ථයයි. සෙසුපදයන්හිද මේ ක්‍රමයමැයි. අබ්‍රහ්මඤ්ඤො යනු මෙහිද ක්‍ෂීණාශ්‍රවයෝ බ්‍රාහ්මණයෝ නම්වෙත්. ඔවුන් කෙරෙහි වැරදිලෙස පිළිපන්නෝ අබ්‍රහ්මඤ්ඤ නම් වෙත්,
සමනුයුඤ්ජති යනු පිළිපැදීමේ වතට නංවමින් අසයි. ලබ්ධියෙහි පිහිටුවන්නා සමනුගාහති නම් වෙයි. කරුණු විමසන්නේ සමනුභාසතියි. නාද්දසං යනු තමන් සමීපයට එවනලද කිසියම් දේවදූතයකුගේ අභාවය නිසා මෙසේ කියයි.
ඉක්බිති යමතෙමේ මොහුට, මෙතෙම කියනලද දෙයෙහි අදහස නොසලකතියි දැන අදහස සලකවනු කැමැත්තේ අම්හො යනාදිය කීය. එහි ජිණ්ණං යනු ජරාවෙන් දිරූයි. ගොපානසිවඞ්කං යනු ගොණැස්සක් මෙන් වක්වූයි. භොග්ගං යනු බිඳුණුයි. මෙයින්ද මොහුගේ වංකභාවයම ප්‍රකට කරයි. දණ්ඩපරායනං යනු දණ්ඩක් පිළිසරණකොට ඇති, දණ්ඩදෙවැන්නෙකු කොට ඇතියි. පවෙධමානං යනු වෙව්ලන්නාවූයි. ආතුරං යනු ජරාවෙන් ආතුරවූයි. ඛණ්ඩදන්තං යනු ජරාවේ බලයෙන් කැඩුණු දත් ඇතියි. පලිතකෙසං යනු, සුදුපැහැති කෙස් ඇතියි. විලූනං යනු උදුරාගත් කෙස් ඇත්තෙකුගේ මෙන් තට්ට හිස ඇතියි. ඛලිතංසිරො යනු මහත් තට්ටහිසක් ඇතියි. චලිතං යනු හටගත් රැලි ඇතියි. තිලකාහතගත්තං යනු සුදුතිලක කලුතිලකවලින් ගැවසුණු සිරුරයි. ජරාධම්මො යනු ජරා ස්වභාවය ඇත්තේයි. ජරාවෙන් නොමිඳුනේයි. ජරාව නම් මගේ අභ්‍යන්තරයෙහි පවතීයනුයි. පසුව එන ව්‍යාධිධම්මො මරණධම්මො යන පදදෙකෙහිද මෙම ක්‍රමයමැයි.
පඨමං දෙවදූතං සමනුයුඤ්ජිත්‍වා යනු මෙහි ජරාවෙන් දිරුණු සත්වයා අර්‍ත්‍ථවශයෙන් මෙසේ කියයිනමි: ‘පින්වත්නි, බලවු. මමද නුඹලා මෙන් තරුණයෙක් වූයෙමි. කළවා ශක්තිය ඇත්තෙම් අතේශක්තිය ඇත්තෙම් ජවසම්පන්න වුයෙම්වීමි. ඒ මාගේ බලවත් ශක්තීහු අතුරුදහන් වූහ. අත්පා වැඩ නොකරයි. ජරාවෙන් නොමිදුණු බැවින් මෙසේවූයෙමි. මම පමණක්ම නොවෙමි. නුඹලාත් ජරාවෙන් නොමිඳුනෝමය. මට යම්සේද නුඹලාටද එසේම ජරාව පැමිණෙන්නේය. මෙසේ ජරාවගේ පැමිණීමට කලින් යහපත් දෙය කරවු’ එහෙයින්ම මෙතෙම දේවදූත නම් වූයේය. ආබාධිකං යනු ආබාධයන්ට පත්වූයි. දුක්‍ඛිතං යනු දුකට පත්වූයි. බාළභගිලානං යනු දැඩිසේ ගිලන්වූයි.