තමාගේ ධර්මතාවෙන් සිහි නොවන විට දේවදූතයන් තිදෙනෙකුගෙන් විමසත්. එහි කිසිවෙක් පළමු දේවදූතයා මගින් සිහිකරති. දෙවැනි තෙවැනි දේවදූතයන් මගින්ද කිසිවෙක් සිහිකරති. යමෙක් තිදෙනා මගින්ම සිහි නොකරත්ද? යම රජතෙමේ ඔහුදැක තෙමේ සිහිකරවයි. එක් ඇමතියෙක් දැසමන් මල්බඳුනකින් මහසෑය පුදා යමරජුට පින් පැමිණවීය. අකුසල කර්මයකින් නිරයෙහි උපන් ඔහු යමරජු වෙතට පැමිණෙව්වාහුය. ඔහු දේවදූතයන් තිදෙනා මගිනුදු කුසලයක් සිහි නොකරනකල්හි යමරජතෙමේ තමාම බලමින් දැක දැසමන් මල් බඳුනකින් මහසෑය පුදා මට පින්දුන්නේ නොවේදැයි සිහිකරවීය. හෙතෙම එකල්හි සිහිකොට දෙව්ලොවට ගියේය. යමරජ තමා විමසා බලාද නොදක්නේ මේ සත්වයා මහදුකක් විඳින්නේයයි නිශ්ශබ්ද වෙයි.
තත්තං අයො ඛිලං යනු තුන්ගවු ආත්මභාවය ගිනිගෙන දැල්වෙන ලොහො පොළවෙහි උඩුකුරුව හොවා දකුණුඅතෙහි තල්ගසක් පමණවූ යකඩහුලක් පිවිසුවත්. වම්අත් ආදියෙහිද එසේමය. උඩුකුරුව හොවා මෙසේ උදරයෙන්ද වම්පසින්ද දකුණු පසින්ද හොවා ඒ දඬුවම කරත්. සංවෙසෙත්වා යනු ඇවිලෙන ලොහොපොළොවෙහි තුන්ගව් ආත්මභාවය හොවායි. කුඨාරීහි යනු මහත්වූ ගෙයක එක්පසෙක වහලය පමණවූ කෙටේරිවලින් සසිත්. ලේ ගංගාවක්වී ගලයි. ලොහොපොළොවෙන් ගිනිදැල් මතුවී සැසූ තැන් පුළුස්සයි. මහදුකක් උපදියි. සසින්නාහු නූල්ගසා ලීයක් මෙන් අටැස්ද සොළසැස්ද කරත්. වාසීහි යනු මහකුලු පමණවූ වෑවලිනි. රථෙ යොජෙත්වා යනු වියදණ්ඩ රැහැන අංශය, රෝද, බෝන්ලීය, කෙවිට යන මේවායින් හාත්පසින් ගිනිගත් රියෙහි යොදවයි. මහන්තං යනු මහකුළුගෙයක් පමණවූයි. ආරොපෙති යනු ගිනිගෙන දැවෙන යකඩ පොලුවලින් තලමින් නංවයි. සකිම්පි උද්ධං යනු අතිශයින් කකාරවනලද හැලියක බහනලද සහල් මෙන් උඩ යට සරසද ගමන් කරයි. මහානිරයෙ යනු අවීචිමහා නරකයෙහිය.
භාගසො මිතො යනු භාගයෙහි තබා බෙද ලද්දේයි. පරියන්තො යනු වටකරනලද්දේයි. අයසා යනු මත්තෙහි යපටින් වසන ලද්දේයි. සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨති යනු හාත්පසින් යොදුන් සියයක සිට බලන්නහුගේ ඇස් ගුළිදෙකක් මෙන් නික්මෙයිද එසේ පැතිර සිටියි.
හීනකායූපගා යනු පහත් කයකට එළඹුනාහුවී. උපාදානෙ යනු තෘෂ්ණාදෘෂ්ටි ගැනීමෙහියි. ජාතිමරණ සම්භවෙ යනු උපතටද මරණයටද හේතුභූතවූයි. අනුපාදා යනු සතර උපාදානයන්ගෙන් දැඩිව නොගෙනයි. ජාතිමරණසංඛයෙ යනු ජාතිමරණ ක්ෂයවීම් නමැති නිවනෙහි මිදෙත්. දිට්ඨධම්මාභිනිබ්බුතා යනු ඉහාත්මයෙහි, මේ අත්බැව්හිදීම සියලු කෙලෙසුන්ගෙන් නිවීමෙන් නිවුණාවුයි. සබ්බං දුක්ඛං උපච්චගුං යනු සියලු සසර දුක ඉක්මුවාහුය.
3. 1. 4. 7
සත්වැන්නෙහි අමච්චා පාරිසජ්ජා යනු සේවක දෙවිවරුයි. ඉමං ලොකං අනුවිචරන්ති යනු අට්ඨමි දිනයෙහි සක්දෙවිරජතෙමේ සතර (වරම්) මහරජදරුවන්ට අණකරයි. ‘දරුවනි, අද අට්ඨමි දිනයයි. මිනිස්ලොව හැසිර පින් කරන්නන්ගේ නම් ගොත් උගෙන එවු’ යනුවෙනි. ඔවුහු ගොස් තමන්ගේ සේවකයන්, ‘දරුවනි, මිනිස් ලොවෙහි හැසිර පින් කරන්නන්ගේ නම්ගොත් රන්පටක ලියා ගෙනෙවු’යයි පවසා පිටත්කොටහරිත්, ඔවුහු එසේ කරත්. එහෙයින් මෙලොව විමසාබලත්යයි කියනලදි. කච්චි බහු යනාදිය ඔවුන්ට පරීක්ෂාකර බැලීමේ ආකාරය දැක්වීම සඳහා කියනලදි. මෙසේ පරීක්ෂාකරමින් ඔවුහු හැසිරෙත්. එහි උපොසථං උපවසන්ති යනු මසකට අටවරක් උපොෂථාංග අදිටත්. පටිජාගරොන්ති යනු පටිජාගර උපොෂථ නම්වූ කර්මයක් කරති. එය කරන්නාහු එක් අඩමසෙක පෙහෙස් දින සතරට පෙරගමන් අනුගමන්වශයෙන් කරත්. පඤ්චමී උපොෂථය පෙරගමන් කරන්නාහු සිවුවැනි දිනයෙහි පෙහෙවස් රකින්නෝවෙත්. අට්ඨමී උපොෂථය පෙරගමන් කරන්නහු සත්වැනි දිනයද අනුගමන් කරන්නාහු නවවැනි දිනයද පෙහෙවස් රකින්නෝවෙත්. තුදුස්වක් පොහොය පෙරගමන් කරන්නාහු තෙළෙස්වකද පසළොස් වක් පොහොය අනුගමන් කරන්නාහු පෑළවියෙහිද පෙහෙවස් රකින්නෝවෙත්. පුඤ්ඤානි කරොන්ති යනු සරණයාම, නිතිසිල් ගැනීම, මල්පූජා, බණඇසීම, පහන්දහස් ගණන් තැබීම, වෙහෙරකරවීම ආදී නොයෙක් ආකාර පින්කරත්. ඔවුහු මෙසේ හැසිර පින්කම් කරන්නවුන්ගේ නම්ගොත් රන්මුවා පටක ලියා ගෙනගොස් සතර මහ රජවරුන්ට දෙත්. පුත්තා ඉමං ලොකං අනුවිචරන්ති යනු සතර මහ රජුන් විසින් පෙර ක්‍රමයෙන්ම යවනලද බැවින් හැසිරෙති. තදහු යනු එදවසයි. උපොසථෙ යනු පොහොය දිනයෙහියි.
සචෙ භික්ඛවෙ අප්පකා හොන්ති යනු සිවුමහරජවරුන්ගේ පරිචාරක ඇමතිවරු ඒ ඒ ගම්නියම්ගම් රජදහන්වලට පැමිණෙත්, ඉක්බිති එය ඇසුරුකොට අධිගෘහිතව සිටින දෙවිවරු මහරජවරුන්ගේ ඇමතිවරු පැමිණියහයි පඬුරු ගෙන ඔවුන් හමුවට යත්. ඔවුහු පඬුරු ගෙන ‘පින්වත්නි, කෙසේද බොහෝ මිනිස්සු මවට හිතවත්වූවහුදැයි කියනලද ක්‍රමයෙන් මිනිසුන්ගේ පුණ්‍ය ප්‍රතිපත්ති විමසා මෙගම අසුවලාද අසුවලාද පින් කරතියි කීකල්හි ඔවුන්ගේ නම්ගොත් ලියා වෙන තැනක යත්. ඉක්බිති තුදුස්වකදී සිවුමහ රජුන්ගේ පුත්‍රයෝද ඒ රන්පටම ගෙන ඒ අයුරින්ම හැසිරෙමින් නම්ගොත් ලියත්. පසළොස්වක් පොහෝ දිනයෙහි සිවුමහරජවරු ඒ අයුරින්ම ඒ රන්පටෙහිම නම්ගොත් ලියත්. ඔවුහු රන්පටේ ප්‍රමාණයෙන්ම ‘මෙකල්හි මිනිස්සු අඩුය. මෙකල්හි මිනිස්සු බොහෝය’යි දැනගනිත්. ඒ සඳහා සචෙ භික්ඛවෙ අප්පකා හොන්ති මනුස්සා යනාදිය කියනලදි. දෙවානං තාවතිංසානං යනු පළමුව උපන් තෙතිස් දෙවිපුතුන් නිසා ලද නම් ඇත්තවුන්ගේයි. ඔවුන්ගේ උත්පත්ති කථාව දීඝනිකායෙහි මහාගොවින්ද සූත්‍ර වර්ණණාවෙහි විස්තර කරනලදි. තෙන යනු ඒ දැන්වීමෙන් හෝ ඒ පින් කරන්නන් අඩු බැවින්ය. දිබ්බා වත හො කායා පරිහායිස්සන්ති යනු අලුත් අලුත් දෙවි පුතුන් නොපහළවීමෙන් දෙවසමූහයා පිරිහෙත්. සිත්කලුවු යොදුන් දහසක් ඇති දිව්යනගරය හිස් වන්නේය. පරිපූරිස්සන්ති අසුරකායා යනු සතර අපායයෝ පිරෙත්. මෙසේ අපි පිරිපුන් දෙවිනුවරෙහි දෙවසමූහයා මැද නැකැත් කෙළීමට නොලබන්නමුයි අසතුටු වෙත්. කුශලපක්ෂයෙහිද මේ අයුරින්ම අර්ත්ථය දතයුතුය.