තමෙනං භික්ඛවෙ නිරයපාලා යනු මෙහි ඇතැම් තෙරවරු නිරයපාලයෝ නම් නැත. යන්ත්රරූපයක් මෙන් කර්මයම දඬුවම් කරතියි කියත්. එය අත්ථි නිරයෙ නිරයපාලාති ආමන්තා අත්ථි ච කාරණිකා යනාදී ක්‍රමයෙන් අභිධර්මයෙහි ප්රතික්ෂෙප කරනලද්දේමය. යම්සේ මිනිස්ලොව වධදෙන්නෝ වෙත්ද එසේම නිරයෙහි නිරය පල්ලෝ වෙති. යමස්ස රඤ්ඤො යනු යමරජු යනු වෙමානික ප්‍රේතරාජයෙකි. එක් කලෙක දිව්‍යවිමානයක දිව්‍යකල්පවෘක්‍ෂ දිව්‍ය උද්‍යාන දිව්‍ය නාටක ස්ත්‍රීන් ආදි සම්පත් අනුභව කරයි. එක් කලෙක කර්මවිපාකය විඳියි. ධාර්මික රජෙකි. මෙතෙම හුදෙකලා වූයේම නොවේ. දොරටු සතරෙහි සතර දෙනෙක් වෙත්. අමත්තෙය්යො යනු මවට හිතවූයේ මත්තෙය්‍ය නමි. මවට මනාව පිළිපන්නේය යනාර්‍ත්‍ථයි. මත්තෙය්‍ය නොවන්නේ අමත්තෙය්‍ය නම්වේ. මව කෙරෙහි වැරදියට පිළිපන්නේය යන අර්ථයයි. සෙසුපදයන්හිද මේ ක්‍රමයමැයි. අබ්රහ්මඤ්ඤො යනු මෙහිද ක්ෂීණාශ්රවයෝ බ්‍රාහ්මණයෝ නම්වෙත්. ඔවුන් කෙරෙහි වැරදිලෙස පිළිපන්නෝ අබ්රහ්මඤ්ඤ නම් වෙත්,
සමනුයුඤ්ජති යනු පිළිපැදීමේ වතට නංවමින් අසයි. ලබ්ධියෙහි පිහිටුවන්නා සමනුගාහති නම් වෙයි. කරුණු විමසන්නේ සමනුභාසතියි. නාද්දසං යනු තමන් සමීපයට එවනලද කිසියම් දේවදූතයකුගේ අභාවය නිසා මෙසේ කියයි.
ඉක්බිති යමතෙමේ මොහුට, මෙතෙම කියනලද දෙයෙහි අදහස නොසලකතියි දැන අදහස සලකවනු කැමැත්තේ අම්හො යනාදිය කීය. එහි ජිණ්ණං යනු ජරාවෙන් දිරූයි. ගොපානසිවඞ්කං යනු ගොණැස්සක් මෙන් වක්වූයි. භොග්ගං යනු බිඳුණුයි. මෙයින්ද මොහුගේ වංකභාවයම ප්‍රකට කරයි. දණ්ඩපරායනං යනු දණ්ඩක් පිළිසරණකොට ඇති, දණ්ඩදෙවැන්නෙකු කොට ඇතියි. පවෙධමානං යනු වෙව්ලන්නාවූයි. ආතුරං යනු ජරාවෙන් ආතුරවූයි. ඛණ්ඩදන්තං යනු ජරාවේ බලයෙන් කැඩුණු දත් ඇතියි. පලිතකෙසං යනු, සුදුපැහැති කෙස් ඇතියි. විලූනං යනු උදුරාගත් කෙස් ඇත්තෙකුගේ මෙන් තට්ට හිස ඇතියි. ඛලිතංසිරො යනු මහත් තට්ටහිසක් ඇතියි. චලිතං යනු හටගත් රැලි ඇතියි. තිලකාහතගත්තං යනු සුදුතිලක කලුතිලකවලින් ගැවසුණු සිරුරයි. ජරාධම්මො යනු ජරා ස්වභාවය ඇත්තේයි. ජරාවෙන් නොමිඳුනේයි. ජරාව නම් මගේ අභ්‍යන්තරයෙහි පවතීයනුයි. පසුව එන ව්යාධිධම්මො මරණධම්මො යන පදදෙකෙහිද මෙම ක්‍රමයමැයි.
පඨමං දෙවදූතං සමනුයුඤ්ජිත්වා යනු මෙහි ජරාවෙන් දිරුණු සත්වයා අර්‍ත්‍ථවශයෙන් මෙසේ කියයිනමි: ‘පින්වත්නි, බලවු. මමද නුඹලා මෙන් තරුණයෙක් වූයෙමි. කළවා ශක්තිය ඇත්තෙම් අතේශක්තිය ඇත්තෙම් ජවසම්පන්න වුයෙම්වීමි. ඒ මාගේ බලවත් ශක්තීහු අතුරුදහන් වූහ. අත්පා වැඩ නොකරයි. ජරාවෙන් නොමිදුණු බැවින් මෙසේවූයෙමි. මම පමණක්ම නොවෙමි. නුඹලාත් ජරාවෙන් නොමිඳුනෝමය. මට යම්සේද නුඹලාටද එසේම ජරාව පැමිණෙන්නේය. මෙසේ ජරාවගේ පැමිණීමට කලින් යහපත් දෙය කරවු’ එහෙයින්ම මෙතෙම දේවදූත නම් වූයේය. ආබාධිකං යනු ආබාධයන්ට පත්වූයි. දුක්ඛිතං යනු දුකට පත්වූයි. බාළභගිලානං යනු දැඩිසේ ගිලන්වූයි.
දුතියං දෙවදූතං යනු මෙහිද ගිලන් පුද්ගලයා මෙසේ අර්‍ත්‍ථවශයෙන් කියයි නමි. ‘එම්බා බලවු! මමද නුඹලා මෙන්ම නීරෝගී වූයෙමි. ඒ මම දැන් ව්‍යාධියෙන් මඬනා ලද්දෙම් සිය මළමුවෙහි ගිලුනෙම් නැඟිටීමටද නොහැක්කෙමි. මගේ අත්පා පැවතියද අත්පා කිස නොකරයි. ව්‍යාධියෙන් නොමිඳුණු බැවින් මෙවැන්නෙක් වූයෙමි. මා පමණක් නොව තොපිද ව්‍යාධියෙන් නොමිඳුණෝය. මට මෙන්ම නුඹලාටද ව්‍යාධිය පැමිණෙන්නේය. මෙසේ එය ඒමට කලින් යහපත්දෙය කරවු’ එහෙයින්ම මෙතෙම දේවදූත නම්විය.
එකාහමතං යනාදියෙහි මළ තැනැත්තාට එක්දිනක් ඇත්තේනුයි එකාහමතො නමි. ඒ එකාහමතවූයි. පසුපද දෙකෙහිද මේ ක්‍රමයමයි. සුළඟින් පසුම්බිය මෙන් ජීවිතවිනාශයෙන් ක්‍රමයෙන් මතුවූ ඉදිමීමෙන් ඉදිමුණු බැවින් උද්ධුමාතකං නමි. වෙනස්වූ පැහැය විනීලයයි කියනු ලැබේ. විනීල වූයේම විනීලක නමි. ඒ විනීලකවූයි. එය පිළිකුල් බැවින් හෝ කුණු වූයේ විනීලයයි විනීලකං නමි. විපුබ්බකං යනු ගලා හැලෙන සැරව ඇතියි. බිඳුණු තැනින් වැගිරෙන සැරවින් වැකුණු යන අර්ත්ථයයි.
තතියං දෙවදූතං යනු මෙහි මියගිය සත්ව තෙමේ අර්ත්ථ වශයෙන් මෙසේ කියයි නමි: ‘පින්වත්නි, අමුසොහොනෙහි හෙළනලද ඉදිමීම් ආදි ස්වභාවයට පැමිණි මා බලවු. මම මරණයෙන් නොමිඳුණු බැවින් මෙබඳු වීමි. මා පමණක් නොව තෙපිද මරණයෙන් නොමිදුණාහුය. මට යම්සේද නුඹලාටද මරණය පැමිණෙන්නේය. ඊට කලින් යහපත්දෙය කරවු” එහෙයින්ම මෙතෙම දේවදූත නම් වූයේයි.
මේ දේවදූතයන් යෙදීම කවරෙක් ලබයිද කවරෙක් නොලබයිද? යමකුවිසින් බොහෝ පව් කරනලද්දේද, හෙතෙම (දේවදූතානුයෝගය) ලබයි. යම්සේ බඩුසහිත සොරෙකු ගෙන කළයුතු දෙයම කරත්ද? විනිශ්චය නොකරත් (නඩු නොඅසත්) ද, විමසා බලා ගන්නාලද්දකු අධිකරණයට පමුණුවත්ද මෙයද එබඳුය. සුළුපාපකර්මයෝ තමාගේ ස්වභාවයෙන්මද සිහිකරත්. සිහිකරවනු ලබන්නෝද සිහිකරත්.
එහි දීඝජන්තුනම් දමිළයෙක් සුමනගිරි විහාරයෙහි ආකාස චෛත්‍යයට රත්පටින් පිදීය. ඉක්බිති නිරයෙහි උසස්දසමීපයෙහි උපන්නේ දැල්හඬ අසා තමන්විසින් පුදනලද රත්පට සිහිකළේය. හෙතෙම ගොස් ස්වර්ගයෙහි උපන්නේය. තවෙකෙක්ද තම පුත්වූ තරුණ භික්ෂුවකට ඛලිසාටකයක් දෙමින් පාමුල තබන වේලෙහි ශබ්දයෙහි නිමිති ගත්තේය. හෙතෙමේත් උසස්ද සමීපයෙහි උපන්නේ දැල් හඬින් ඒ සළුව සිහි කොට ගොස් ස්වර්ගයෙහි උපන්නේය. මෙසේ වනාහි තමාගේ ස්වභාවයෙන්ම කුශලකර්මය සිහිකොට ස්වර්ගයෙහි උපදිත්.