3. 1. 4. 5
පස්වැන්නෙහි, ආළවිංය යනු ආළවි රටෙහියි. ගොමග්ගෙ යනු ගවයන් යන පාරෙහියි. පණ්ණසන්‍ථරෙ යනු තෙමේ වැටුණු කොළඇතිරිල්ලෙහිය. අථ යනු මෙසේ ගොනුන්ගේ ගමන් මගවූ කෙළින් පැවති මහපාර ඇසුරුකොට සිංසපාවනයෙහි තෙමේ වැටුණුකොළ එකතු කරගෙන කරනලද ඇතිරිල්ලෙහි සුගත් මහසිවුර එළා පළක් බැඳ තථාගතයන්වහන්සේ හුන් කල්හියි. භත්‍ථකො ආළවකො යනු අතින්අතට ගියබැවින් මෙසේ ලබනලද නම්ඇති ආළවක රාජපුත්‍රයායි. එතදවොච යනු ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, කිමෙක්ද යනාදි වචන පැවසීය. කුමක් හෙයින් සම්මාසම්බුදුන්වහන්සේ එතැනට ගොස් වැඩහුන්සේක්ද? කුමක් හෙයින් රජකුමරුවා එහි ගියේද? සම්මාසම්බුදුන්වහන්සේවනාහි අර්‍ත්‍ථොත්පත්තියෙහි දම්දෙසුමක් සිදුවීම දැක එහි හුන්සේක. රජකුමරුවාද උදයෙන්ම නැඟිට පන්සියයක් උවසුවන්විසින් පිරිවරණලද්දේ බුදු උවටැනට යමින් මහමගින් ඉවත්ව ගවයන් යන පාරට බැස බුදුන් පුදනු සඳහා මුසුමල් (නොයෙක් වගින් යුතුමල්) නෙලන්නෙමැයි යන්නේ බුදුන්වහන්සේ දැක වෙතට එළඹ වැඳ එකත්පසෙක හුන්නේය. මෙසේ හෙතෙම එහි ගියේයි. සුඛමසයිත්‍ථ යනු සුවසේ නිදාගත්තේය.
අන්තරට්ඨකො යනු මැදින් නවම්මස අතරෙහි අටදිනක්පමණවූ කාලයයි. මැදින් අවසන දින සතරක්ද නවම්මුල දින සතරක්ද යන මේ කාලයයි. ඛරා යනු රළු හෝ කර්‍කෂවූයි. ගොකණ්ටකහතා යනු අලුතින් වැසීවට කල්හි දෙනුන් පෑගූපෑගූ තැන කුර අතුරින් මඩ උඩට නැඟී සිටියි. සුළඟින් සහ අව්වෙන් වියළුණු එය කියත්දත් මෙන්වෙයි. දුක්දනවන පැහැසීම් ඇත්තේයි. එය සඳහා ගොකණ්ටකහතා භූමි’යි කීය. ගොනුන්ගේ කුර අතුරින් සිදුවූ යන අර්‍ත්‍ථයයි. වෙරම්බවාතො වාති යනු සිවුදිගින් සුළං හමයි. එක් දිශාවකින් හෝ දෙදිශාවකින් තෙදිශාවකින් හෝ හමන සුළඟ වේරම්බයයි නොකියනුලැබේ.
තෙන හි රාජකුමාර යන මෙය ශාස්තෘන්වහන්සේ ‘මේ රජකුමරුවා ලොවෙහි සුවෙන් වෙසෙන්නන් හෝ දුකින් වෙසෙන්නන් නොදනියි. ඔහුට එය දන්වමි’යි මත්තෙහි දෙසුම ඉදිරිපත්කරමින් පැවසූසේක. යථා තෙ ඛමෙය්‍ය යනු ඔබට කැමති පරිද්දෙනි. ඉධස්ස යනු මේ ලෝකයෙහි වියහැක යනුයි. ගොනකත්‍ථතො යනු අඟල් සතරකට වැඩි දිගුලොමින් කළ කලුපලසින් අතුරනලද්දේයි. පටිකත්‍ථතො යනු බැටළු ලොම්ආදියෙන් කළ සුදුඇතිරිල්ලෙන් අතුරනලද්දේයි. පටලිකත්‍ථතො යනු ඝනමලින් බැටළුලොම්ආදියෙන් කළ ඇතිරිල්ලෙන් අතුරනලද්දේයි. කාදලිමිගපවර පච්චත්‍ථරණො යනු කදලිමුව සමින් කළ උතුම් සපතුරුන අතුරනලද්දේයි. ඒ පසතුරන සුදුරෙද්දක් මත කදලිමුව සම අතුරා මසා කරත්. සඋත්තරච්ඡදො යනු වියන සමගය යනුයි. උඩ බඳනාලද රතුවියන සමඟය යන අර්‍ත්‍ථයයි. උභතො ලොහිතකූපධානො යනු හිසට තබන කොට්ටයද පයට තබන කොට්ටයදැයි පර්‍ය්‍යඞ්කයෙහි දෙපසින් තැබූ රත්පැහැ කොට්ට ඇත්තාවූයි. පජාපතියො යනු භාර්‍ය්‍යාවෝයි. මනාපෙන පච්චුපට්ඨිතා අස්සු යනු සිත්ගන්නා සුලු උපස්ථානවිධිවලින් උවටැන්කරන ලද්දාහු වන්නාහුය.
කායිකා වා යනු පස්දොරකය සොළවනුලබන්නාවූයි. චෙතසිකා වා මනොද්වාරය සොලවනු ලබන්නාවූයි. සො රාගො තථාගතස්ස පහීනො යනු එබඳුවූ රාගය තථාගතයන්වහන්සේට ප්‍රහීනවූයේයයි අර්‍ත්‍ථයයි. යම් රාගයක් ඔහුටවීද එය තථාගතයන්ට නැත. ප්‍රහීන වූයේ නමි. ද්වේෂ මෝහයන්හිද මෙම ක්‍රමයමයි.
බ්‍රාහ්මණො යනු බහා තබනලද පවුඇති, කෙළෙසුන් ක්‍ෂය කළ බ්‍රාහ්මණයායි. පරිනිබ්බුතො යනු කෙලෙස් පිරිනිවනින් පිරිනිවුනේයි. න ලිම්පති කාමෙසු යනු වස්තුකාම ක්ලේශකාමයන්හි තණ්හාදිට්ඨි ලේපයන්ගෙන් නොතැවරෙයි. සීතිභූතො යනු අභ්‍යන්තරයෙහි තැවෙන කෙලෙසුන් නොමැතිවීමෙන් සිසිල්වූයේයි. නිරූපධි යනු කෙලෙස් උපධි නොමැති බැවින් නිරූපධියි. සබ්බා ආසත්තියො ඡෙත්‍වා යනු තෘෂ්ණාවෝ ආසත්තියොයි කියනුලැබෙත්. රූපාදි අරමුණුවල ඇළුණු වියැකුණු ඒ සියලු ආසත්තීන් සිඳ, විනෙය්‍ය හදයෙ දරං යනු හදවත ඇසුරුකොට ඇති දාහය දුරුකොට, සංසිඳුවායි. සන්තිං පප්පූය චෙතසො යනු සිතේ කෙලෙස් නිවනට පැමිණයි. මෙය කරණවිභක්ති වචනය හෝ වෙයි. සබ්බචෙතසො සමන්නාහරිත්‍වා යනාදියෙහි මෙනි. සිතින් නිවනට පැමිණ යන අර්‍ත්‍ථයයි.
3. 1. 4. 6
සවැන්නෙහි දෙවදූතානි යනු දේවදූතයෝයි. මෙය වනාහි වචනාර්ථයයි. දෙවො යනු මාරයායි. ඔහුගේ දූතයෝයි දෙවදූතා නමි. ජරාව්‍යාධිමරණයෝ සංවේග දනවන අරුතින් දැන් ඔබ මාරයා සමීපයට යායුතුයයි චොදනාකරන්නාහු මෙනි. එහෙයින් දෙවදූතයෝයි කියනු ලැබෙත්. දෙවියන් වැනි දූතයෝයිද දූවදුතා නම් වෙත්. යම්සේ අලංකාරයෙන් සැරසුණු දෙවඟනක අහසෙහි සිට නුඹ අසුවල් දිනයෙහි මැරෙන්නෙහියයි කීකල්හි ඇයගේ වචනය ඇදහිය යුතු වෙයිද එසේම ජරාව්‍යාධිමරණයෝ දකිනු ලබන්නාහු නුඹද මෙබඳු ස්වභාවය ඇත්තෙහියයි චෝදනා කරත් මෙනි. ඔවුන්ගේද ඒ වචනය නොවෙනස්වීම නිසා දෙවඟනක කියනලද්දක්මෙන් වෙයිනුයි දෙවියන් වැනි දූතයෝයි දෙවදූතයෝ නමි. විසුද්ධිදෙවියන්ගේ දූතයෝයිද දෙවදූතයෝ වෙත්. සියලු බෝධිසත්වයෝම ජරාව්‍යාධිමරණ හා පැවිද්දන් දැකීමෙන්ම සංවේගයට පැමිණ නික්ම පැවිදිවූහ. මෙසේ විසුද්ධි දෙවියන්ගේ දූතයෝයිද දෙවදූතයෝයි. මෙහි වනාහි ලිංගවිපර්‍ය්‍යාසයෙන් ‘දෙවදූතානි’යි කියනලදි.
කායෙන දුච්චරිතං චරති යනාදිය කුමක් නිසා අරඹන ලද්දේද යත්? දෙවදූතයන් යෙදෙන තැන පිළිවෙළ පිළිබඳ කර්‍මයන් දැක්වීම සඳහාය. මේ කර්‍මයෙන් මේ සත්වයා නිරයෙහි උපදියි. ඉක්බිති එහි යමරජ තෙමේ ඔහුට දේවදූතයන් යොදවයි. එහි කායෙන දුච්චරිතං චරති යනු කායද්වාරයෙන් ත්‍රිවිධ දුශ්චරිතයන්හි යෙදෙයි. වාචාය යනු වාග්ද්වාරයෙනි. චතුර්විධ දුශ්චරිතයන්හි යෙදෙයි. මනසා යනු මනොද්වාරයෙන් ත්‍රිවිධ දුශ්චරිතයන්හි යෙදෙයි.