3. 1. 4. 4
සිවුවැන්නෙහි නිදානානි යනු කාරණයෝයි. කම්මානං යනු සංසාරගාමී කර්‍මයන්ගේයි. ලොභො නිදානං කම්මානං සමුදයාය යනු ඇලෙන පෙළඹෙන ස්වභාවය ඇති ලෝභය සංසාරගාමී කර්‍මයන්ගේ හටගැනීමට, රැස් කිරීමට නිදානයය, කාරණයය, ප්‍රත්‍යයය යන අර්‍ත්‍ථයයි. දොසො යනු කිපීම, ප්‍රදූෂ්‍යවීම ස්වභාවයකොටඇති දේවෂයයි. මොහො යනු මුළාවීම වඩාත් මුළාවීම ස්වභාවයකොටඇති මොහයයි.
ලොභපකතං යනු ලෝභයෙන් කරනලද, ලෝභයෙන් මැඬුණු ලෝභියකුවී කරනලද කර්‍මය යනාර්‍ත්‍ථයි. ලෝභයෙන් හටගත්තේයි ලොභජං නමි. ලොභය මොහුගේ හේතුවයයි ලොභනිදානං නමි. ලෝභය මොහුට හටගැනීම (සමුදය) යි ලොභසමුදයං නමි. සමුදය යනු ප්‍රත්‍යයයි. ලෝභප්‍රත්‍යය යනාර්‍ත්‍ථයි. යත්‍ථස්ස අත්තභාවො නිබ්බත්තති යනු යම් තැනක මේ ලෝභයෙන් හටගත් කර්‍මය ඇති පුද්ගලයාගේ ආත්මභාවය උපදියි. ස්කන්‍ධයෝ පහළවෙත්. තත්‍ථ තං කම්මං විපච්චති යනු ඒ ස්කන්‍ධයන්හි එම කර්‍මය පැසවයි. දිට්ඨෙ වා ධම්මෙ යනාදිය යම් හෙයකින් ඒ දිට්ඨධම්මවෙදනීය කර්‍මයවූයේ හෝ වෙයි. උපපජ්ජවෙදනීයවූයේ වෙයි. අපරාපරියවෙදනීයවූයේ හෝ වෙයි. එහෙයින් ඒ ප්‍රභේදය දැක්වීමට කියනලදි. සෙසු දෙකෙහිද මේ ක්‍රමයමයි.
අඛණ්ඩානි යනු නොබිඳුනාවූයි. අපූතීනි යනු කුණුවීමෙන් අබීජබවට නොපැමිණියාවූයි. අවාතාතපහතානි යනු සුළඟින්ද අවුවෙන්ද නොනැසුණාවූයි. සාරදානී යනු ගන්නාලද සාරයඇති, සරුවූ, නිසරුනොවූයි. සුඛසයිතානි යනු එක්රැස්වීම්බවින් සුවසේ ලැග 457 සිටියාවූයි. සුඛෙත්තෙ යනු සැරසු කෙතෙහියි. සුපරිකම්මකතාය භූමියා යනු නගුලෙන් සෑමෙන්ද පෝරුගෑමෙන්ද මනාව පිළියෙළකරනලද කෙත්බිමෙහිය. නික්‍ඛිත්තානි යනු තබනලද්දාවූ; සිටුවනලද්දාවූයි. අනුප්පවෙච්ඡෙය්‍ය යනු නොපිවිස්නේය. වුද්ධිං යනාදියෙහි උඩට මතුවී එමෙන් වැඩීමයි. යට මුල පිහිටීමෙන් වැඩීම විරූළභිං නමි. හාත්පසින් පැතුරුණු බැවින් වෙපුල්ලං නමි.
මෙහි දිට්ඨෙ වා ධම්මෙ යනාදී යමක් කියනලද්දේද එහි නොමුළාවීම සඳහා මෙතැන්හි කර්‍මවිභක්තිය නමැයි කිවයුතුය. සූත්‍රාන්තික ක්‍රමයෙන් එකොළොස් කර්‍මයක් බෙදා දක්වා ඇත. කෙසේද යත්? දිට්ඨධම්මවෙදනීය, උපපජ්ජවෙදනීය, අපරාපරියවේදනීය, යග්ගරුක, යබ්බහුල, යදාසන්න, කටත්තාවාපන, ජනක, උපත්‍ථම්භක, උපපීළක, උපඝාතක යනුවෙනි. එහි එක්ජවනවීථියක සිත්සත අතුරෙන් කුසලවූ හෝ අකුසලවූ හෝ ප්‍රථමජවන චෙතනාව දිට්ඨධම්මවෙදනීය කර්‍මයනමි. එය මේ අත්බවෙහිම විපාක දෙයි. කුසලය කාකවළිය, පුණ්ණකසිටුවරුනට මෙනි. අකුසලය නන්‍දයකු, නන්‍දමානවක, නන්‍දගොඝාතක, කොකාලිය, සුප්පබුද්ධ, දෙවදත්ත, චිඤ්චිමානවිකාදීන්ට මෙනි. එසේ නොහැකිවන කර්‍මය අහොසිකර්‍මය නම්වෙයි. විපාක නොදීමට පැමිණෙයි. එය මුවවැදි උපමාවෙන් දැක්වවියයුතුය. යම්සේ නම් මුවවැද්දෙකු විසින් මුවෙකුදැක දුන්න ඇද නික්මවූ හීය නොවරදියිද ඒමුවා එහිම හෙලයි. ඉක්බිති මුවවැද්දා ඒ මුවා සමගසා කඩකඩ කොට කපා මස් රැගෙන අඹුදරුවන් සතුටුකරමින්යයි. ඉදින් වරදියිද මුවා පළාගොස් යළි එදෙස නොබලයි. මෙය මෙබඳුයයි දැක්විය යුතුය. හීය නොවැරදී මුවාට විදීම මෙන් දිට්ඨධම්මවෙදනීය කර්‍මයාගේ විපාකවාරය ලැබීමද හීය වැරදී විදීම මෙන් අවිපාකභාවයද එළඹෙයි.
අර්‍ත්‍ථසාධනය කරන්නාවු සත්වැනි ජවන චෙතනාව උපපජ්ජවෙදනීය කර්‍මය නමි. එය අනතුරු අත්බවෙහි විපාකය දෙයි. එය කුශලපක්‍ෂයෙහි අෂ්ටසමාපත්ති වශයෙන්ද අකුශලපක්‍ෂයෙහි පංචානන්තර්ය කර්ම වශයෙන්ද දතයුතුය. එහි අෂ්ටසමාපත්තිලාභියා එක් සමවතකින් බඹලොව උපදියි. ආනන්තර්ය පසමකරන්නා එක් කර්‍මයකින් නිරයෙහි උපදියි. සෙසු සමවත්ද සෙසු කර්‍මයෝද අහොසිකර්‍ම බවටම පැමිණෙත්. විපාක නැත්තෝ වෙත්. මේ අර්‍ත්‍ථයද පළමු උපමාවෙන්ම ප්‍රකට කළයුතුය.
(ඉහත සඳහන් ජවන) දෙදෙනා අතරෙහි වන ජවන චෙතනා පස අපරාපරියවෙදනීය කර්‍මය නම්වෙයි. එය අනාගතයෙහි යම් විටෙක ඉඩ ලැබේද එවිට විපාක දෙයි. සසර පැවැත්ම ඇති කල්හි අහෝසි කර්‍මයක් නම් නොවෙයි. එය බලුවැදි උපමාවෙන් ප්‍රකට කළයුතුය. යම්සේ බලුවැද්දෙකු විසින් මුවෙකු දැක මුදාහළ බල්ලා මුවා ළුහුබැඳ යම් තැනෙක්හි පැමිණෙයිද එහිදීම දෂ්ටකරයි. එසේම මෙම කර්‍මය යම් තැනක අවකාශ ලබයිද එහිදීම විපාකදෙයි. එයින් මිදුණු සත්වයෙක් නම් නැත.