3. 1. 4. 2
දෙවැන්නෙහි තථාරූපො යනු එබඳු ස්වභාවය ඇත්තෙකි. සමාධිපටිලාභො යන සිතේ එකඟබව ලැබීමයි. ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ යනු මෙහි තමන්ගේද අනුන්ගේද යන දෙපිරිසේම කාය විඥානය සහිතය යන අරුතින් එකකැයිකොට මෙහියි කියනලදි. අභිඞ්කාරමානානුසයා යනු අහඞ්කාර දෘෂ්ටියද මමිඞ්කාර තෘෂ්ණාවද මාන අනුසයද යන මේ කෙලෙස්ය. නාස්සු යනු නොවන්නේය. බහිද්ධා ච සබ්බනිමිත්තෙසු යනු රූප නිමිත්තය, ශබ්දනිමිත්තය, ගන්ධ රස පොට්ඨබ්බ නිමිත්තය ශාශ්වතාදි නිමිත්තය, පුද්ගලනිමිත්ය, ධර්ම නිමිත්තය යන මෙබඳුවූ බාහිර නිමිතිවලය. චෙතොවිමුත්තිං පඤ්ඤා විමුත්තිං යනු ඵලසමාධිය හා ඵලඤාණයයයි. සියා යනු වන්නේය.
ඉධානන්ද භික්ඛුනො යනු ආනන්දය, මේ සසුනෙහි භික්ෂුවගේයි. එතං සන්තං එතං පණීතං යනු නිවන දක්වමින් පැවසීය. නිවන වනාහි කෙලෙසුන් සන්සුන්බවින් ශාන්ත නමි. නිවන ශාන්තයයි සමවතට නංවාම දිනකුදු හුන්නහුගේ චිත්තොත්පාදය ශාන්තවම පවතීනුයිද ශාන්ත නමි. ප්රණීතයයි (සමාධියට) නංවා හුන්නහුගේ චිත්තොත්පාදය ප්රණීතවම පවතීනුයි නිවන ප්රණීත නමි. සබ්බසංඛාරසමථා යනු එයටම පර්ය්යාය වචනයි. සියලු සංස්කාරයන්ගෙන් සංසිඳිණැයි (සමාධියට) නංවා හුන්නහුගේ දිනයෙහිම චිත්තෝත්පාදය සියලු සංස්කාරයන්ගෙන් සංසුන්වීම පවතියි. -පෙ- එසේ භවත්රයෙහි වානනම්වූ තෘෂ්ණාවගේ අභාවයෙන් නිවනයයි ලදනම් ඇති (දෙයින්) එහි සමවතට නංවා හුන්නහුගේ චිත්තෝත්පාදය නිවනෙහිම පවතීනුයි සබ්බසංඛාරසමථ ආදීනම් ලබයි. මේ අටවැදෑරුම් ආභොගසමන්නාහාරයෙහි මෙතැන්හි එකක්ද ලබයි. දෙකක්ද සියල්ලමද ලබන්නේමය.
සංඛාය යනු නුවණින් දැනයි. පරොවරානි යනු පරානි යනුද ඔවරානි යනුද වේ. අනුන්ගේ ආත්මභාවය තමන්ගේ ආත්මභාවය ආදිය පරානි යනුද ඔවරානි යනුද කිනලද්දේ වෙයි. යස්ස යනු යම් කිසි රහතන්වහන්සේගේයි. ඉඤ්ජිතං යනු රාග ඉඤ්ජිතය, දොස මොහ මානදිට්ඨි කිලෙස දුශ්චරිත යන මේ සත් ඉඤ්ජිතයෝ සැළුනාහුය. කම්පාවූවාහුය. නන්ථි කුහිඤ්චි යනු කිසිදු එකාරම්මණයකද නැත. සන්තො යනු විරුද්ධ කෙලෙසුන් සන්හුන් බැවින් ශාන්තයි. විධූමො යනු කායදුශ්චරිතාදී දුම් රහිතය. අනීඝො යනු රාගාදී විපත් රහිතය. නිරාසො යන තෘෂ්ණාරහිතය, අතාරී යනු එතෙරවූයේ එගොඩවූයේ ඉක්මවාලූයේයි. සො යනු ඒ අරහත්වූ ක්ෂීණාශ්රවයන්වහන්සේයි. ජාතිජරං යනු මෙහි ජාතිජරාදිය ගැනීමෙන් ව්යාධිමරණයන්ද ගන්නාලද්දේමයයි දතයුතුය. මෙසේ සූත්රයෙහිද ගාථාවෙහිද අරහත්ඵල සමාපත්තියම කියනලදි.
3. 1. 4. 3
තෙවැන්නෙහි සංඛිත්තෙන යනු මාතෘකා තැබීමෙනි. විත්ථාරෙන යනු තැබු මාතෘකාව බෙදා දැක්වීමෙනි. සඞ්ඛිත්තවිත්ථාරෙන යනු විටකසැකෙවින් විටකවිස්තර වශයෙනි. අඤ්ඤාතාරො ච දුල්ලභා යනු අවබෝධකරන පුද්ගලයෝ දුර්ලභයහ. මෙය භාග්යවතුන්වහන්සේ සැරියුත් තෙරුන්ගේ නුවණ ප්රකටකරවන අදහසින් පැවසූසේක. එය අසා තෙරණුවෝ ‘ස්වාමීනි, නිසැකවූ ඔබවහන්සේ දෙනු මැනව. මම නුඹවහන්සේ විසින් දෙනලද ධර්මය නයසියයෙන්ද නයදහසින්ද අවබෝධකරන්නෙමි එය මට අයත්යයි හුදෙක් අදහසින් (වචනයෙන් නොකියා), ශාස්තෘන්වහන්සේ දෙසුමට උත්සාහවත්කරවමින් එතස්ස භගවා කාලො යනාදිය පැවසූහ.
ඉක්බිති ශාස්තෘන්වහන්සේ උන්වහන්සේට ‘තස්මාතිහ’ යනුවෙන් දෙසුම අරඹූසේක. එහි ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ යනාදිය කියනලදක්රමය ඇත්තේමය. අචේඡච්ඡිතණ්හං යනු මාර්ගඥාන නමැති සැතින් (අවියෙන්) තෘෂ්ණාව සින්දේය. වාවත්තයී සංයොජනං යනු දසආකාර සංයෝජනය මුල්සහිතව උදුරා ඉවත දැමීය. සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්ස යනු මනා උපායෙන් නිවැරදි ප්රතිපත්තියෙන් නවවිධවූ මානය දුරලීම පිළිබඳ අවබෝධයෙන් සසරදුක නිමවීය. ඉදංච පනමෙතං සාරිපුත්ත සන්ධාය ශාසිතං යනු ‘ශාරිපුත්රය’ මවිසින් පාරායන (වර්ග) යෙහි උදය ප්රශ්නයේද මේ ඵලසමාප්තිය සඳහාම මෙය කියනලදි.
දැන් යමක් භාග්යවතුන්වහන්සේ විසින් කියනලද්දේද එය දැක්වීමට ‘පහානං කාමසඤ්ඤානං’ යනාදිය අරඹනලදි. උදය ප්රශ්නයෙහිද මේ පදය පහානං කාමච්ඡන්දානං යනුවෙන් අයේය. මෙහි වනාහි අඞ්ගුත්තර භාණකයන් විසින් ‘කාමසඤ්ඤානං’ යන්නට නඟනලදි. එහි ව්යාංජනය පමණක්ම වෙනස්වෙයි. අර්ත්ථය එකමය. කාමසඤ්ඤානං යනු කාමයන් අරභයා උපන් සංඥාවන්ගේය, ලොභසහගත සිත් අට සමඟ එක්ව උපන් සංඥාවන්ගේ හෝය. දොමනස්සානචූහයං යනු මෙ කාමසංඥාවන්ගේද චෛතසික දොමනස්සයන්ගේද යන දෙවර්ගයේම ප්රහාණයවූ පටිප්පස්සද්ධි ප්රහාණ සංඛ්යාතවූ අරහත්ඵලය නමැති අඤ්ඤාවිමොක්ෂය කියමැයි අර්ත්ථයි. නිද්දෙසපාලියෙහිදී කාමච්ඡන්ද දොමනස්ස යන දෙදෙනාගේම ප්රහාණය, ව්යාපශමය, දුරුකිරීම, සංසිඳීම අමෘතයය, නිර්වාණයයි කියනලදි. එය අර්ත්ථය මතුකොට දැක්වීම් වශයෙන් කියනලදි. ප්රහාණය වනාහි ක්ෂයකිරීම් සංඛ්යාතවූ වූපසමය (සංසිඳීම) යයි කියනුලැබේ. කෙලෙස් දුරුකරන මාර්ගයයිද කෙලෙස් සංසිඳීම් සංඛ්යාත ඵලයයිද කියනුලැබේ. යමකට පැමිණ කෙලෙස් දුරුවෙයිද එය අමෘතවූ නිර්වාණයයිද කියනුලැබේ. එබැවින් එහි මේපද ආයේය. අඤ්ඤාවිමොක්ඛං පබ්රෑමි යන වචනයෙන් අරහත්ඵලයම අදහස්කරනලදි. කුක්කුච්චානං නිවාරණං යනු කුකුස් වළක්වන මාර්ගයට අනතුරුව උපන්බැවින් ඵලයම අදහස් කරනලදි.