2. කණ්ටක සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අභිඤ්ඤාතෙහි යනු අහසමැද පුන්සද මෙන් හිරු මෙන් දන්නා ලද්දවුන් විසින්, ප්‍රකට වූවන් විසිනි, චරපූරා යනු පසුකොටස ‘චර’ යි කියනු ලැබේ. මුල් කොටස ‘පුර’ යි කියනු ලැබේ. පෙරටුව දුවන පසුපසින් ඵහුබඳින මහපිරිවරිනි යන අරුත්ය, කණ්ටකො යනු විදින අරුතින් කණ්ටක නම් (කටුවයි). විසූකදස්සනං යනු විසුළු දැකීම්ය. මාතුගාමූපචිචාරො යනු මාගමට සමීපව හැසිරෙන බවයි.
3-4. ඉට්ඨධම්ම ආදි සූත්‍ර වර්ණනා
තෙවැන්නෙහි වණ්ණො යනු සිරුරු පැහැයයි. ධම්මා යනු නවලොවතුරු දහම්ය, සිවුවැන්නෙහි අරියාය යනු පෘථග්ජන නොවන ශීලාදියෙන් මුසුවූ බැවින් මෙසේ කියන ලදි. සාරදායී ච හොති චරදායී යනු හරය ද වරය ද දෙන්නේ වෙයි, ඔහුගේ වරය යමක්ද එය ගනී යන අරුත්ය.
5. මිගසාලා සූත්‍ර වර්ණනාව
පස්වැන්නේ මුලදී යමක් කිවයුතුද එය ඡක්ක නිපාතයෙහි කියන ලද්දේය. දුස්සීලො හොති යනාදියෙහි දුස්සීලො යනු සිල් නැත්තේයි, චෙතොවිමුත්තිං යනු ඵලසමාධියයි, පඤ්ඤාවිමුත්තිං යනු ඵලඥානයයි, නප්පජානාති යනු ඉගෙනීම් විමසීම් වශයෙන් නොදනියි, දුස්සීල්‍යං අපරිස්සෙං නිරුජ්ඣති යන මෙහි පස් දුසිල්බව සෝවාන් මගින් ප්‍රහීන වෙයි, අරහත් මගින් ඵලක්‍ෂණයෙහි ඒවා ප්‍රහීනවූයේ නම්වෙයි. පුහුදුන් පුද්ගලයාගේ ශීලය කරුණු පසකින් බිඳෙයි. පරිජියකට පැමිණීමෙන්, ශික්‍ෂාව පිළිකෙවු කිරීමෙන්, අන්තොටු පැත්ත ගැනීමෙන්, රහත්බවින් හා මරණයෙනි, එහි මුලතුන පිරිහීම සඳහා පවතියි, සතරවැන්න අභිවෘද්ධිය සඳහාය. පස්වැන්න පිරිහීම හෝ අභිවෘද්ධිය සඳහා නොපවතියි. කෙසේ නම් මේ ශීලය රහත්බවින් බිඳෙයි ද? පුහුදුන් පුද්ගලයාගේ ශීලය අත්‍යන්තයෙන් කුසලයක්ම වෙයි. රහත්මග ද කුසල අකුසල කර්‍ම නැතිකිරීම සඳහා පවතියි යයි මෙසේ එයින් එය බිඳෙයි. සවනෙනපි අකතං හොති යනු ඇසිය යුත්ත නොඅසන ලද්දේ වෙයි. බාහුසච්චෙනපි අකතං හොති යනු මෙහි බාහුසච්චං යනු වීර්යයයි. වීර්යයෙන් කළයුත්ත නොකරන ලද්දේ වෙයි. එය නොකළබැවින් ස්වර්‍ගයෙන් මාර්‍ගයෙන් පිරිහෙයි. දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති යනු දැක්මෙන් (දෘෂ්ටියෙන්) අවබෝධ කළයුත්ත අවබෝධ නොකරන ලද්දේ වෙයි. පසක් නොකරන ලදි. සාමයිකම්පි විමුත්තිං න ලභති යනු කලින්කලට දහම් ඇසීම නිසා ප්‍රීතිය හා ප්‍රමුදිතබව නොලබයි, නානාය පරෙති යනු පිරිහීම සඳහා පවතියි,
යථාභූතං පජානාති යනු සෝවාන් පෙලෙන් පස්වැදෑරුම් දුසිල්බව ඉතිරි නැතිව නැතිවේයයි ඉගෙනීම් විමසීම් වශයෙන් දනියි, තස්ස සවනෙනපි කතං හොති යනු ඇසිය යුත්ත අසන ලද්දේ වෙයි, බාහුසචෙචනපි කතං හොති යනු වීර්යයෙන් කළයුත්ත යටත් පිරිසෙයින් දුබල විදසුනක් පමණක්වත් කරන ලද්දේ වෙයි. දිට්ඨියාපි සුප්පටිවිද්ධං හොති යනු යටත් පිරිසෙයින් ලෞකික ප්‍රඥාවෙන්වත් ප්‍රත්‍යය ප්‍රතිවෙධය කරන ලද්දේ වෙයි. මේ පුද්ගලයාගේ ප්‍රඥාව ශීලය පිරිසිදු කරයි. හෙතෙම ප්‍රඥා පරිශොධනයෙන් විශේෂයකට පැමිණෙයි,