දසක නිපාත වර්‍ණනාව
1. ප්‍රථම පණ්ණාසකය
1. ආනිසංස වර්ගය
1. කිමත්‍ථිය සූත්‍ර වර්ණනාව
දසක නිපාතයේ පළමු සූත්‍රයෙහි කුසලානි සීලානි යනු නිවැරදි සිල්ය, නොවියවුල් බව සඳහා නොවිපිළිසර බවට ඔවුන්ගේ ආනිශංසයනුයි අවිප්පටිසාරානිසංසානි නමි, යථාභූතඤාණදස්සනත්‍ථො යනාදියෙහි යථාභූතඤාණදස්සනය නම් තරුණ විදර්‍ශනාවයි, නිබ්බිදා නම් බලවත් විදර්‍ශනාවයි, විරාග නම් මාර්‍ගයයි, විමුත්ති නම් අරහත්ඵලයයි, ඤාණදස්සන නම් ප්‍රත්‍යවෙක්ෂණ ඥානයයි, අග්ගාය පරෙන්ති යනු රහත්බවට යත්.
2. චෙතනාකරණීය සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි න චෙතනාය කරණීයං යනු සිතා කල්පනා කොට විමසා නොකළ යුතුය, ධම්මතා එසා යනු එය ධර්‍මස්වභාවයයි, මෙය කාරණනියමයි, අභිසන්‍දෙන්ති යනු පවත්වත්, පරිපූරෙන්ති යනු සම්පූර්‍ණ කරති, අපාරා පාරං ගමනාය යනු මෙගොඩ ත්‍රෛභූමික සංසාරයෙන් නිවන් නමැති පරතෙරට යනු සඳහායි,
3. ප්‍රථම උපනිස සූත්‍ර වර්ණනාව
හතුපනිසො යනු නසනලද හේතු (කරුණු) ඇත්තේයි, සිවුවැනි පස්වැනි සූත්‍රවල තෙරවරුන් දෙදෙනකු විසින් කී බවම විශේෂයයි.
6. සමාධි සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස යනු පොළව අරමුණ කොට පොළවයි මෙසේ උපන් සංඥාවෙන් සංඥා සහගතවූයේ නොවන්නේය, ආපො යනාදියෙහි ද මේ ක්‍රමයමයි, න ඉධ ලොකෙ යනු මෙලොවෙහි උපදින චතුෂ්ක පඤ්චක ධ්‍යාන සංඥාවෙන් සංඥා ඇත්තේ නොවන්නේය. න පරලොකෙ යනු පරලොව උපදින චතුෂ්ක පඤ්චක ධ්‍යාන සංඥාවෙන් මෙසේ සංඥාසහගත නොවන්නේය, සඤ්ඤීච පන අස්ස යනු ඔහුගේ සමාපත්තිය සවිතර්‍ක සමාපත්තියම වන්නේදැයි අසයි. එතං සන්තං එතං පණීතං යනු ශාන්තය ශාන්තයයි සිත නඟා හුන්නහුගේ දවසම වුව ද සිත හටගැනීම ශාන්තය ශාන්තය යනුවෙන්ම පවතියි, ප්‍රණීතය ප්‍රණීතයයි සිත නඟා හුන්නහුගේ දවසමවුව ද සිත පහළවීම ප්‍රණිතය ප්‍රණීතය යනුවෙන්ම පවතියි. යදිදං සබ්බසඞ්ඛාරසමථො යනු නිවන නිවනයයි සිත නඟා හුන්නහුගේ දවසම සිත පහළවීම නිවන නිවනය යනුවෙන්ම පවතියි, මේ සියල්ලම ඵලසමාපත්ති සමාධිය උදෙසා කියන ලදි.
7. සාරිපුත්ත සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි සඤ්ඤී ච පනාහං ආවුසො තස්මිං සමයෙ අහොසිං යනු ඇවැත්නි, එසමයෙහි මම භවනිරොධය නිවනය යන මේ ඵලසමවත් හැඟීමෙන් හැඟීම් ඇත්තේ වීමි. මාගේ ඒ සමාපත්තිය විතර්‍ක සහිත වූයේයි ප්‍රත්‍යවෙක්ෂණාව කියනලදි.
8. සද්ධ සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි සමන්තපාසාදිකො යනු ප්‍රසාදය ගෙන දෙන සුලු කායකර්‍මාදීන්ගේ සත්භාවයෙන් හාත්පසින්ම පහදවනසුලු වූයේයි, සබ්බාකාරපරිපූරො යනු සියලු කරුණින් පිරිපුන් වූයේයි,
9. සන්තවිමොක්ඛ සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි සන්තා යනු අරමුණෙහි සන්සුන් බවින් ද සිරුරෙහි සන්සුන් බවින් ද ශාන්තවූයි, විමොඛා යනු සතුරු ධර්‍මයන්ගෙන් මිදුනු බැවින් අරමුණෙහි ද නොලැගුණු බැවින් මනාව මිදුණු හෙයින් මෙසේ ලද නම් ඇත්තේයි, අතික්කම්ම රූපෙ යනු රූපධ්‍යානයක් ඉක්මවා පැවැත්තාවූයි, සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
පළමුවැනි වූ ආනිසංස වර්‍ගයයි.
2. නාථ වර්ගය
1. සෙනාසන සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි පඤ්චඞ්ගසමන්නාගතො යනු ගුණාංග පසකින් යුක්ත වූයේයි, නාතිදුරං නාච්චාසන්නං යනු යම් තැනක් ඉතා දුරෙහි වේද පිඬු හැසිර එහි යන්නහුට කායචිත්ත සන්තාපයෝ වෙත්. එයින් නූපන්නාවූ සමාධිය ඉපදවීමටත් උපන් සමාධිය තහවුරු කිරීමටත් නොහැකි වෙයි. ඉතා නුදුරෙහි වූ තැන බොහෝ දෙනා ගැවසුනේ වෙයි. ඉස්බ සතළිසක් පමණ වූ පෙදෙසෙහි ඒ දෙකින් මිදුනේ, ගමනාගමනය ඇත්තේ වෙයි. අප්පකිණ්ණං යනු දහවල් කාලයෙහි මහජනයාගෙන් නොගැවසුණේයි.
2. පඤ්චඞ්ග සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි කෙවලී යනු හුදෙක් සියලු ගුණයෙන් යුක්තවූයේයි, වුසිතවා යනු විසූ බඹසර විසීම් ඇත්තේයි. අසෙඛෙන යනු අශෛක්‍ෂ ධර්‍ම යෙදුනු ලොවුතුරු වූ දෙයිනි, සීලක්‍ඛන්‍ධෙන යනු සිල්රැසෙනි, විමුත්තික්‍ඛන්‍ධෙන යනු මෙහි ශීලාදිය හැර ඉතිරි තුන්ඵල ධර්‍මයෝ විමුත්ති නම් වෙති, විමුත්තිඤාණදස්සනං යනු ප්‍රත්‍යවෙක්‍ෂණ ඥානයයි. එය ලෞකිකමය.
3-4. සංයොජන ආදි සූත්‍ර වර්ණනා
තෙවැන්නෙහි ඔරම්භාගියානි යනු යට කොටසට අයත්වූවෝයි, උද්ධම්භාගියානි යනු මතු කොටසට අයත්වූවෝයි, මේ සූත්‍රයෙහි සසරම කියනලදි. සිවුවැන්නෙහි ඛිලවිනිබද්ධයෝ පඤ්චක නිපාතයෙහි විස්තර කරන ලද්දාහුමය. ආරොහපරිණාහෙන යනු දිගු පුළුල් බවෙනි,
5. අප්‍රමාද සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි එවමෙව ඛො යනු යම්සේ සියලු සතුන්ට සම්මා සම්බුදුන් වහන්සේ අග්‍රවෙයිද එසේ සියලු කුශල ධර්‍මයන් කරවන්නා වූ අප්‍රමාදය අග්‍රයයි දැක්විය යුතුය. මෙය (අප්‍රමාදය) ලෞකික නොවේද? කුශල ධර්‍මයෝ වනාහි ලෝකෝත්තරවූවෝද වෙත්. මෙය කාමාවචරවූයේමයි. කුශල ධර්‍මයෝ චාතුර්භූමිකය. කෙසේ නම් මෙය ඔවුන්ට අග්‍රවෙයිද? ප්‍රතිලාභය ඇතිකරවන බැවිනි. අප්‍රමාදයෙන්ම ඔවුහු ලැබෙත්. එහෙයින් එය ඔවුන්ට අග්‍රය. එහෙයින්ම ඒ සියල්ලෝ අප්‍රමාද මූලක වෙතැයි කියනලදි.
ජඞ්ගමානං යනු පොලෝ තෙලෙහි හැසිරෙන්නන්ගේයි, පාණානං යනු පාසහිත ප්‍රාණීන්ගේයි, පදජාතානි යනු පදයෝයි, සමොධානං ගච්ඡන්ති යනු එක්වීමට බහා තැබීමට යති, අග්ගමක්‍ඛායති යනු ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ, යදිදං මහන්තත්තෙන යනු මහත්බවින් අග්‍රයයි කියනු ලැබේ. ගුණ වශයෙන් නොවේයයි අරුත්ය, වස්සිකං යනු සමන්මල්ය, මේ සුත්‍රය අසා භාතිය මහරජ තෙමේ විමසනු කැමැත්තෙන් එක් ගර්‍භයක සිවුදෑ ගඳින් පිරිබඩ කොට සුවඳමල් ගෙන්වා ගෙන එක් සමුගක මැද සමන්මල් මිටක් තබා සෙස්ස ඊට හාත්පසින් මිටක් කොට තබා දොර වසා පිටතට නික්මුනේය. ඉක්බිති මොහොතක් පිටත කල්යවා දොරහැර පිවිසි ඔහුට සියල්ලට පළමුව සමන්මල් සුවඳ නාසය පැහැර සිටියේය. හෙතෙම මහ (පොලෝ) තලයෙහිම මහසෑයට මුහුණලා වැදහෙව වස්සිකං තෙසං (ඔවුනට සමන්මල්) අග්‍රයයි කියන්නාවූ සම්මා සම්බුදුන් වහන්සේ විසින් මනාව කියන ලදැයි සෑය වැන්දේය. කුඩ්ඩරාජානො යනු කුඩා රජවරුයි. ඛුද්දක රාජානො යනුද පාඨයි.