2. දෙවන පණ්ණාසකය
1. සචිත්ත වර්ගය
1. සචිත්ත සූත්‍ර වර්ණනාව
දෙවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි සචිත්තපරියායකුසලො යනු තමන්ගේ සිත සඳහා වූ ඔවදනෙහි දක්ෂ වූයේයි, රජං යනු ආගන්තුක වූ උපක්ලේශයයි, අඞ්ගණං යනු එහි හටගත් අවයවයන්හි කඑතිලකාදියි, ආසවානඞ්ඛයාය යනු රහත්බව සඳහායි.
3. ඨිති සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි පටිභානෙන යනු වචන සටහනෙනි, සිවුවැන්නෙහි අධිපඤ්ඤාධම්මවිපස්සනාය යනු සංස්කාර විමර්‍ශනය කරන්නා වූ විදර්‍ශනාවෙනි,
8. මූලක සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි, අමතොගධා යනු මෙහි සොපධිශේෂ පරිනිර්‍වාණධාතුව කියන ලදි. නිබ්බානපරියොසානා යනු මෙහි අනුපාදිශේෂයෙන් අනුපාදිශේෂ නිවනට පත්වූවහුගේ සියලු ධර්‍මයෝ අවසානයට පත්වූවාහු නම් වෙති. සෙසු පද යට කියනලද අරුත් ඇත්තේම වේ.
9. පබ්බජ්ජා සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි තස්මා යනු මෙසේ නුපුහුණු සිත ඇත්තහුට ශ්‍රමණාර්‍ත්‍ථය නොපැමිණෙයි, එහෙයින් යථාපබ්බජ්ජාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති යනු පැවිද්දට අනුරූපව පුරුදු කරනලද පරිද්දෙනි, යම් කිසිවෙක් පැවිදි වෙත්ද ඔවුහු සියල්ලෝ රහත්බව පතා (එසේ වෙති). එහෙයින් යම් සිතක් රහත් බව ලැබීම සඳහා පුරුදු කරන ලද්දේ ද වඩන ලද්දේ ද එය පැවිද්දට අනුව පුරුදු කරන ලද පරිද්දෙන් නමැයි දතයුතුය. මගේ සිත එබඳු වන්නේ යයි මෙසේ හික්මිය යුතුය. ලොකස්ස සමඤ්ච විසමඤ්ච යනු සත්ත්ව ලෝකයාගේ සුචරිත දුශ්චරිතයෝයි, ලොකස්ස සම්හවඤ්ච විභවඤ්ච යනු ඒ ලෝකයේ වැඩිම ද විනාශය ද සැපත ද විපත ද යනුයි, ලොකස්ස සමුදයඤ්ච අත්‍ථගමඤ්ච යනු සංස්කාර ලෝකය සඳහා කියන ලදි. ස්කන්‍ධායතනයන්ගේ උපත ද විනාශය ද යන අර්‍ත්‍ථයි.
10. ගිරිමානන්ද සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අනුකම්පං උපාදාය යනු ගිරිමානන්‍ද තෙරුන් කෙරෙහි අනුකම්පාව නිසායි, චක්‍ඛුරොගො යනාදිය වස්තු වශයෙන් දතයුතුය. උපදවන ලද ප්‍රසාදයන්ගේ රෝගයක් නම් නැත. කණ්ණරොගො යනු පිටත කණෙහි රොගයයි, පිනාසො යනු පිට නැහැයෙහි රෝගයයි, රබසා යනු නියෙන් සීරූ තැන්හි රෝගයයි. පිත්තසමුට්ඨානා යනු පිතෙන් හටගත්තාවූයි, ඒවා දෙතිසක් වෙයි, සෙම්හසමුට්ඨානා යනාදියෙහි ද මේ ක්‍රමයමයි. උතුපරිණාමජා යනු සෘතු මිහිකිරීමෙන් දැඩි උණුසුමෙන් දැඩි සිසිලසින් උපදින රෝගයෝයි, විසමපරිහාරජා බොහෝවේලා සිටගෙන සිටීම හිඳගෙන සිටීම ආදී විසම පරිහරණයෙන් උපන්නාවූයි, ඔපක්කමිකා යනු වධබන්‍ධන උපක්‍රමයෙන් හටගත්තාවූයි, කම්මවිපාකජා යනු බලවත් කර්‍ම විපාකයෙන් හටගත්තාවූයි. සන්තං යනු රාගාදී තැවුලෙන් සන්සිඳුනේයි, පණීතං යනු නොතැවීම් අරුතිනි. සෙස්ස සියලු තැන්හි පැහැදිලිමය.
පළමු සචිත්තක වර්‍ගයයි.
2. යමක වර්ගය
1. අවිද්‍යා සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි සාහාරං යනු ප්‍රත්‍යය සහිතවූයේයි, විජ්ජාවිමුත්ති යනු ඵලඥානය මෙන්ම සමඟ යෙදුණු ධර්‍මයන් ද, බොජ්ඣඞ්ගා යනු මාර්‍ග බොධ්‍යංගයෝයි.
2. තෘෂ්ණා සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි භවතණ්හාය යනු භවය පැතීමෙනි, මෙසේ සූත්‍ර දෙකෙහිම සසරම කියන ලදි. මෙහි සසර ද පළමු සූත්‍රයෙහි අවිද්‍යා මූලකය, දෙවැනෙහි තෘෂ්ණා මූලකය,
3. නිට්ඨඞ්ගත සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි නිට්ඨඞ්ගතා යනු එකඟවූවාහුයි, ඉධ නිට්ඨා යනු මෙලොවම පිරිනිවුමයි, ඉධ විහාය යනු මෙලොව හැර බඹලොවයි.
4. අවෙච්චප්පසන්න සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි අවෙච්චප්පසන්නා යනු නොසැලෙන පැහැදීමෙන් යුක්තවූවාහුයි, සොතාපන්නා යනු ආර්‍යමාර්‍ග ශ්‍රෝතසට පත්වූවාහුයි,
5-8. පඨම සුඛ ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි සංසාරමූලක වූ සුවදුක් විමසන ලදි. සවැන්නෙහි ශාසන මූලකවූයි. සත්වැන්නෙහි නළකපානං යනු අතීතයෙහි බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටා (වඳුරු රැළක් විසින්) නළවලින් දිය බිවූ තැනෙහි මවන ලද බැවින් එසේ ලබන ලද නමයි, තුණ්හීභූතං තුණ්භීභූතං යනු යම් යම් දෙසක් බලයි ද ඒ ඒ තැන්හි නිහඬබවමයි, අනුචිලොකෙත්‍වා යනු ක්‍රමයෙන් බලායි, පිට්ඨි මෙ ආගිලායති යනු සාවුරුද්දක් දුෂ්කර ක්‍රියාවෙහි යෙදෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේට මහත් ශරීර දුකක් වූයේය. ඉක්බිති උන්වහන්සේට මහළු කාලයෙහි පිටෙහි වාතයක් උපන. භෞතික ශරීරයට සිටීම් හිඳීම් ආදියෙන් සුළුවූ ආබාධයක් නොවීමට නුපුළුවන. එය ගෙන ද තෙරුන්ට ඉඩදීම සඳහා මෙසේ කීවේය. සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා යනු සුදුසු එකත්පසෙක්හි පනවන ලද කැප ඇඳ මත්තෙහි අතුරායි.
9. පඨම කථාවත්ථු සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි තිරච්ඡානං කථං යනු අනිර්‍ය්‍යානික (විමුක්තියට යොමුනොවූ) බැවින් මෙකී ස්වර්‍ගමොක්‍ෂ මාර්‍ගයන්ට සරස් බවට පත් කථාවයි, එහි රජුන් අරභයා මහාසම්මතය, මන්‍ධාතුය, ධර්‍මාශෝකය මෙසේ මහානුභාවයයි ආදී ක්‍රමයෙන් පැවති කථා රාජකථා යි, චොරකථා ආදියෙහි මේ ක්‍රමයයි, ඔවුනතුරෙන් අසුවල් රජු මනා රුවැත්තේය, දැකුම්කලු යයි ආදී ක්‍රමයෙන් ගෘහාශ්‍රිත කථාව තිරිසන් කථාව වෙයි. එය ද මෙසේ මහානුභාව තැනැත්තේ විනාශයට ගියේයයි මෙසේ පැවැති කථාව කර්‍මස්ථාන බවෙහි සිටියි. සොරුන් අතුරෙහි ද මූලදෙව තෙමේ මෙසේ ඇත්තෙකි, මෙඝමාල තෙමේ මෙසේ ආනුභාව ඇත්තෙකියි වූ ගෘහාශ්‍රිත කථාව තිරිසන් කථාවයි, යුද්ධයන්හි ද මහාභාරත යුද්ධාදියෙහි අසුවලා විසින් අසුවලා මෙසේ මරණ ලදි. මෙසේ විදින ලදියි පැහැදීම් වශයෙන් වූ කථාව තිරච්ඡාන කථායි. ඔවුහු ද විනාශයට ගියහයි මෙසේ පැවති කථාව සියලු තැන්හි කර්‍මස්ථානයම වෙයි. තවද ආහාරාදියෙහි මෙසේ පැහැපත් රසවත් පහස සහිත ආහාරයක් කෑවෙමු. වැළඳුවෙමු. බීවෙමුයි කාමාස්වාද වශයෙන් කීමට නොවටියි, අර්‍ත්‍ථවත් කොට මෙසේ වර්‍ණ ආදියෙන් යුක්ත කෑමබීම. ඇඳුම්, යහන්, මල්දම්, සුවඳ සිල්වතුන්ට දුන්නෙමු, සෑ පුද කෙළෙමුයි කීමට වටියි.