1. ආකඞ්ඛෙය්‍ය සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්‍ගයෙහි සමපන්නසීලා යනු සීලයෙන් යුක්තවූවෝ වී යන අරුත්ය. එහි කරුණු දෙකකින් ශීලයෙන් යුක්ත වූ බව වෙයි. ශීල විපත්තියෙහි ආදීනව දැකීමෙන් ද ශීලසම්පත්තියෙහි අනුසස් දැකීමෙන් ද යන කරුණු දෙකිනි. ඒ දෙකම විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලදි. එහි සම්පන්නසීලායි මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ චතුපාරිසුද්ධි ශීලය උදෙසා පාතිමොක්‍ඛසංවරසංවුතා යන්නෙන් එහි ජ්‍යෙෂ්ඨක ශීලය විස්තර කොට දැක්වූ සේකැයි අප වෙහෙරවැසි සුම්ම තෙරණුවෝ පැවසූහ. උන්වහන්සේගේ අතවැසි තෙපිටක චූළනාග තෙරණුවෝ, දෙතැන්හිම භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රාතිමෝක්ෂ සංවරයම ප්‍රකාශ කරන ලදි. ප්‍රාතිමෝක්ෂ සංවරයම ශීලයයි. ඉතිරි තුන සීලයයි කී තැනක් ඇතැයි නොපිළිගනිමින් පවසා මෙසේ කීහ: “ඉන්ද්‍රියසංවරය නම් සදොර රැකීම් පමණක්මය. ආජීව පාරිසුද්ධිය දැහැමින් සෙමෙන් ප්‍රත්‍යය ඉපදීමක් පමණි, පච්චයසන්නිස්සිතය ලබන ලද ප්‍රත්‍යයෙහි මෙය අර්‍ත්‍ථයයි සලකා පරිභෝග කිරීමක් පමණකි. නිෂ්පරියායෙන් පාතිමොක්‍ඛ සංවරයම ශීලයයි. යමෙකුගේ එය බිඳුන්ද මෙය හිසසුන් මිනිසෙක් අත්පා මෙන් සෙස්ස රකීයයි නොකිව යුතුය. යමෙකුගේ වනාහි එය නීරොගී ද එය නොසුන් හිස ඇති මිනිසෙක් ජීවිතය මෙන් සෙස්ස යළි ප්‍රකෘතිමත් කිරීමට හැකි වන්නේය. එහෙයින් සම්පන්නසීලා යන මෙයින් ප්‍රාතිමෝක්ෂ සංවරය උදෙසා සම්පන්නපාතිමොක්‍ඛා යනුවෙන් එයටම අපරනාමයක් පවසා එය විස්තර කොට දක්වමින් “පාතිමොක්‍ඛසංවරසංවුතා” යනාදිය පැවසූ සේක. එහි පාතිමොක්‍ඛසංවරසංවුතා යනාදිය කියන ලද අර්‍ත්‍ථ ඇත්තේමය. ආකඞ්ඛෙය්‍ය චෙ යන මෙය කුමක් හෙයින් අරඹන ලද්දේ ද යත්? සිල් සංසන්දනය සඳහාය. ඉදින් මෑත පැවිදිවූවන්ට හෝ අනුවණ පුද්ගලයන්ට හෝ භාග්‍යවතුන් වහන්සේ සිල්පුරවූ, සිල්පුරවූයි කියන සේක්ද? සිල් සපිරීමෙහි කවර අනුසස්ද? කවර විශේෂයක්ද? කවර අභිවෘද්ධියක්ද? ඔවුනට දස අනුසස් දැක්වීමට “අප්පෙවනාම එවං සබ්‍රහ්මචාරීනං පියමනාපතාදි ආසවක්‍ඛය පරියොසානං ආනිසංසං සුත්‍වාපි සීලං පරිපූරෙය්‍යුං”යි වදාළ සේක.
එහි ආකඞ්ඛෙය්‍ය චෙ යනු ඉදින් කැමැතිවන්නේ නම්, පියො චස්සං යනු ප්‍රිය ඇසින් බැලිය යුත්තෙක් සෙනෙහ ඉපදීමට ආසන්න හේතුවූවෙක් වන්නේය, මනාපො යනු ඔවුනට සිත වඩන්නෙක්. ඔවුන්ගේ මනසින් පැමිණිය යුත්තෙක් මෙත්සිත පැතිරවිය යුත්තේයි අරුත්ය. ගරූ යනු ඔවුන්ගේ ගෞරවයට හේතුවූයේ ගල් කුඩයක් මෙන් වූයේයි. භාවනීයො යනු ඒකාන්තයෙන්ම මේ ආයුෂ්මතුන් වහන්සේ දනිමින් දනිති දකිමින් දකිතියි මෙසේ ගරුකළ යුත්තෙකි. සීලෙස්වෙවස්ස පරිපූරකාරි යනු සිවුපිරිසුදු සීලයෙහිම සපුරන්නෙක් වන්නේය. නොඅඩු සපිරීමෙන් යුක්ත වන්නේ යයි කියන ලද්දේ වෙයි. අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො යනු තමන්ගේ සිත සන්සුන් කිරීමෙහි යෙදුනේයි. අනිරාකතජ්ඣානො යනු බැහැර නොකරන ලද ධ්‍යාන ඇත්තේයි, විපස්සනාය යනු සත්වැදෑරුම් අනුපස්සනාවගේයි, බ්‍රෑහෙතා සුඤ්ඤාගාරානං යනු ශුන්‍යාගාරයන්ගේ වඩන්නායි, මෙහිද සමථ විදර්‍ශනා වශයෙන් කමටහන් ගෙන රෑදහවල ශුන්‍යාගාරයට පිවිසි හිඳින්නා වූ භික්ෂුව බ්‍රෑහෙතා සුඤ්ඤාගාරානංයි දතයුතුය. මෙය මෙහි සංක්‍ෂෙපයයි. විස්තරය කැමති වන්නහු විසින් මජ්ඣිම නිකායට්ඨ කථාවෙහි ආකඞ්ඛෙය්‍ය සූත්‍ර වර්‍ණනාවෙහි බැලිය යුතුය.
ලාභී යනු මෙහි භාග්‍යවතුන් වහන්සේ ලාභ නිමිති කොට ඇති ශීලපරිපූරණය නොපවසන සේක. භාග්‍යවතුන් වහන්සේ වනාහි “ඝාසෙසනං ජින්නකථො න වාචං පයුතං භණෙ” යනුවෙන් මෙසේ ශ්‍රාවකයන්ට අවවාද කරන සේක. කිම උන්වහන්සේ එය (ලාභය) නිමිතිකොට ඇති ශීල පරිපූරණයක් කියන සේක්ද? පුද්ගලයාගේ අදහස වශයෙන් මෙය කියනලදි. යමෙකුන්ට ඉදින් අපි සිවුපසයෙන් නොවෙහෙසෙන්නෙමු නම් ශීලාදිය සපිරීමට හැකිවන්නෙමුයි මෙබඳු අදහසක් වන්නේ ඔවුන්ගේ අදහස වශයෙන්ම මෙසේ වදාළා සේක. තවද ශීලයේ මේ අනුසස් දසයකි. යම් මේ සිවුපසය වේද එය ශීලානිශංසයට අයත්වෙයි. එහෙයින් බුද්ධිමත් මිනිසුන්ගේ කොටුගෙවල් ආදියෙහි තබන ලද්ද ගෙනවුත් තමා විසිනුදු පරිභෝග නොකොට සිල්වතුන්ට දෙති. සීලයේ දස අනුසස් දැක්වීම සඳහා ද මෙය කියන ලදි.
තෙවැනිවර යෙසාහං යනු යෙසං අහං යන පද එකතුවයි. (යමෙකුන්ට මම යන අදහසයි) තෙසං තෙ කාරා යනු ඒ දෙවියන්ට හෝ මිනිසුන්ට, ඔවුන් මා කෙරෙහි කරන ලද ප්‍රත්‍යයකාරයෝයි. මහප්ඵලා හොන්තු මහානිසංසා යනු ලෞකික සුඛය ප්‍රතිඵල වීමෙන් මහත්ඵල ඇත්තෝයි, ලෝකෝත්තර වශයෙන් මහත් අනුසස් ඇත්තෝයි. මේ දෙකම හෝ එකම අර්‍ත්‍ථ ඇත්තේයි, සීලාදී ගුණ ඇත්තාට හැන්දක් පමණ වූ භික්‍ෂුව ද පස්රියනක් පමණ බිමෙක පන්සලකුදු කොට දෙන ලද්ද නොයෙක් කල්ප දහස් ගණන් දුගතියෙහි වැටීමෙන් රකියි. අවසන්හි අමෘතධාතුව වූ පරිනිර්‍වාණයට ප්‍රත්‍යය වෙයි. “ඛීරොදනං අහමදාසිං” (මම කිරිබත් දුන්නෙමි) යනාදිය මෙහි කථාවස්තුය. සියලුම හෝ පෙතවත්‍ථුව හා විමානවත්‍ථුව සාධකයි.
සිවුවෙනි වාරයෙහි පෙතා යනු පරලොව භවයට ගියාහුයි. ඤාතී යනු නැදිමයිලෝයි. සාලොහිතා යනු එකලෙයින් බැඳුනෝයි, පියා සීයා ආදීහුයි, කාලකතා යනු මියගියෝයි, තෙසන්තං යනු ඔවුන්ගේ ඒ මා කෙරෙහි පසන් සිතයි. පසන් සිතින් සිහිකිරීම හෝ වෙයි. යම් භික්ෂුවකගේ කලුරිය කළ පියා හෝ මව හෝ “අපගේ නෑතෙර සිල්වත්ය. කළණදහම් ඇත්තේය”යි පහන්සිත් ඇත්තේ වී ඒ භික්ෂුව සිහිකරයිද ඔහුගේ සිත පැහැදීම ද ඒ සිහිකිරීම් මාත්‍රය ද මහත්ඵලය, මහානිසංසමය.
අරතිරතිසහො යනු අභිනිෂ්ක්‍රමණ ප්‍රතිපත්තියෙහි නොඇල්මෙන් ද කාමගුණයන්හි ඇල්මෙන් ද මඬනා ලද්දේ බැසගන්නා ලද්දේයි. භයභෙරවසහො යනු මෙහි භය යනු සිතේ තැති ගැන්ම ද අරමුණ ද වේ. භෙරව යනු අරමුණමයි.
2. කණ්ටක සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අභිඤ්ඤාතෙහි යනු අහසමැද පුන්සද මෙන් හිරු මෙන් දන්නා ලද්දවුන් විසින්, ප්‍රකට වූවන් විසිනි, චරපූරා යනු පසුකොටස ‘චර’ යි කියනු ලැබේ. මුල් කොටස ‘පුර’ යි කියනු ලැබේ. පෙරටුව දුවන පසුපසින් ඵහුබඳින මහපිරිවරිනි යන අරුත්ය, කණ්ටකො යනු විදින අරුතින් කණ්ටක නම් (කටුවයි). විසූකදස්සනං යනු විසුළු දැකීම්ය. මාතුගාමූපචිචාරො යනු මාගමට සමීපව හැසිරෙන බවයි.