බුජ්ජුත්තරා-සාමාවතී
තෙවෙනි සිවුවෙනි සූත්‍රයන්හි බහුස්සුතානං යදිදං ඛුජ්ජුත්තරා, මෙත්තාවිහාරීනං යදිදං සාමාවතී යන්නෙන් බොහෝ ඇසූපිරූ තැන් ඇති උවැසියන් අතුරින් බුජ්ජුත්තරාද මෙත් පැවතුම් ඇති උවැසියන් අතුරින් සාමාවතීද අග්‍රයයි දැක්වෙයි. මේ දෙදෙනාම පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන පසුකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මය අසන්නෙමුයයි විහාරයට ගියාහුය. එහි ඛුජ්ජුත්තරාවෝ එක් උවැසියක බොහෝ ඇසූපිරූතැන් ඇත්තියන් අතුරින් අගතන්හි තබන්නා වූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. සාමාවතියද එක් උවැසියක මෙත් පැවතුම් ඇත්තියන් අතුරින් අගතනතුරෙහි තබනු දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. දිවි ඇතිතෙක් කුසල්කොට දෙව්ලොව ඉපිද දෙවිමිනිසුන් අතර සැරිසරන්නාවූ ඒ දෙදෙනාටම කල්ප ලක්‍ෂයක් ඉකිමිණ.
අපගේ ශාස්තෘන්වහන්සේගේ පහළවීමට පෙරාතුවම වජ්ජිරටෙහි අභිවාතක නම් රෝගයක් හටගත්තේය. එකිනෙක ගෙහි එක වරම මිනිස්සු දස දෙනාද, විසිදෙනාද මැරෙති. රටින් පිටව ගියාහු වනාහි දිවි ලබත්! එය දැන එක් පුරුෂයෙක් තමන්ගේ අඹුදරුවන් රැගෙන අන්රටකට යන්නෙමැයි එයින් නික්මුණේය. ඉක්බිති ඔහුගේ ගෙයින් ගන්නාලද මාර්‍ගොපකරණ අතරමග කතරින් එතෙරනොවී තිබියදීම නිමාවට ගියේය. ඔවුන්ගේ සිරුරුබලය පිරිහිණි. වරක් මව පුතු ඔසවාගෙන යයි. වරක් පියා ඔසවාගෙන යයි. ඉක්බිති එම පුතුගේ පියා ‘අපගේ සිරුරු බලය පිරිහිණ. පුතා ඔසවාගෙන යන්නාවූ අපි කතරින් එතෙර වීමට නොහැකි වන්නෙමු’යි සිතුවේය. හෙතෙම ඔහුගේ මවට නොදන්වාම දිය කිස සඳහා අන් අය සමඟ නොගොස් නැවතුණු කෙනෙකු මෙන් පුතු මඟ හිඳුවා තනිවම මගට පිළිපන්නේය. ඉක්බිති ඔහුගේ බිරිය ආපසු පැමිණීම බලාපොරොත්තු වන්නී අතෙහි පුතු නොදැක වැලපෙමින් ගොස් ‘හිමියනි, මගේ පුතා කොහිදැයි ඇසුවාය. ‘නුඹට පුතුගෙන් කවර වැඩෙක්ද? ජීවත්වන්නමෝ පුතෙකු ලබන්නෙමුයයි හෙතෙම කීවේය. ඕතොමෝ මේ මිනිසා අතිශයින්ම සහාසිකයෙකැ’යි කියා ‘නුඹ යව, මම නුඹවැන්නෙකු සමඟ නොයන්නෙමැයි පැවසුවාය. හෙතෙම ‘සොදුර, මෙය මවිසින් නොසිතා කරන ලද්දකි. මට ක්‍ෂමා කරන්නැ’යි පවසා පුතු රුගෙන ගියේය.
ඔවුහු ඒ කතර ඉක්මවා සැන්දෑවෙහි එක් ගොපලු කුලයකට පැමිණියාහුය. එදවස ගොපලු කුලවැස්සෝ දියනුමුසු පායාසයක් පිසූහ. ඔවුහු මොවුන් දැක මොවුහු බෙහෙවින් සාගිනි ඇත්තෝයි (සිතා) මහ බඳුනක් පායාසයෙන් පුරවා හැන්දක් පුරා ගිතෙල්ද වත්කොට දුන්නාහුය. ඔවුන් ඒ පායාසය බුදින කල්හි ඒ ස්ත්‍රිය පමණ දැනම අනුභව කළාය. පුරුෂයා වනාහි පමණ ඉක්මවා අනුභවකොට දිරවන්නට නොහැක්කේ රාත්‍රිභාගයෙහි කළුරිය කළේය. හෙතෙම කළුරිය කරන්නේ ඔවුන් කෙරෙහි ආදර සහිත බවින් ගොපල්ලන්ගේ ගෙදර බැල්ලකගේ කුසෙහි පිළිසඳ ගත්තේය. බැල්ල නොබෝ දිනකින්ම වැදුවාය. ගොපල්ලා ඒ බලුපැටවා මනාපෙනුමැත්තකු බව දැක අහරින් පොළඹවා තමන් කෙරෙහි උපන් සෙනෙහ ඇත්තෙකුකොටගෙන සමඟම හැසිරෙයි.
ඉක්බිති එක් දිනක් එක් පසේබුදුවරයෙක් පිඬු හැසිරෙන වේලෙහි ගොපල්ලාගේ ගෙදොරට පැමිණියහ. හෙතෙම උන්වහන්සේ දැක භික්‍ෂාව දී තමන් ඇසුරුකොට වසනලෙස පිළිණ ගත්තේය. පසේ බුදුන්වහන්සේ ගොපල් කුලයට නුදුරු එක් වන ලැහැබක විසීමට එළැඹිසේක. ගොපල්ලා උන්වහන්සේ වෙතට යන්නේ ඒ බලුපැටවා රැගෙනම යයි. අතරමගෙහිදීද දරුණු මෘගයන් ඇති තන්හි එම රුදුරු මෘගයන් පලවා හැරීම සඳහා ගස්වලට හෝ ගල්වලට පහර දෙයි. ඒ බලු පැටවාත් එය (එබඳු දෙය) කිරීමේ නියමය තහවුරු කරගත්තේය. ඉක්බිති එක් දිනක් ඒ ගොපල්ලා පසේ බුදුන් සමීපයෙහි හිඳ ස්වාමීනි, අපට හැම කල්හි ඒමක් නම් නොවෙයි. මේ බලුපැටවා දක්‍ෂයෙකි. මොහු පැමිණි සලකුණින් අපගේ ගෙදොරට වඩිනුමැනවැයි කීවේය. හෙතෙම එක් දිනක් පසේ බුදුන් වඩමවාගෙන එවයි. බලුපැටවා යැවීය. බලුපැටවා ඔහුගේ වචනය අසා පිඬු හැසිරෙන වේලෙහි ගොස් පසේබුදුන්ගේ පාමුල උදරයෙන් හොත්තේය. පසේ බුදුන්වහන්සේ මෙතෙම මා සමීපයට ආයේයැයි දැන පාසිවුරු රැගෙන මගට පිළිපන්සේක. උන්වන්සේ බලුපැටවා විමසනු සඳහා මගින් ඉවත්ව වෙනත් මගක් ගත්සේක. බලුපැටවා ඉදිරියෙහි සිට ගොපලු කුලමගට පිළිපන් කල්හි ඉවත්වූයේය. ගොපල්ලා යම් යම් තැනක රුදුරු මෘගයන් පළවනු සඳහා ගසකට හෝ ගලකට හෝ පහර දුන්නේද? ඒ ඒ තැනට පැමිණ බලුපැටවා මහහඬින් කෑගසයි. ඔහුගේ හඬින් රුදුරු මෘගයෝ පලායති. පසේ බුදුන්වහ්සේද බත්කිස වේලෙහි මහත් සිනිඳු (බත්) පිඬක් ඔහුට දෙනසේක. හෙතෙම ආහාර ලැබීමෙන් පසේබුදුන් කෙරෙහි වැඩියක් සෙනෙහෙ කරයි.
ගොපල්ලා තෙමසක් විසූ පසේබුදුන්වහන්සේට සිවුරට පොහොනා සළුවක් දී, ‘ස්වාමීනි, ඉදින් ඔබවහන්සේ කැමතිවනසේක්නම් මෙහිම වසනු මැනවි. නැතහොත් කැමති පරිද්දෙන් වඩිනු මැනවැයි පැවසීය. පසේ බුදුන්වහන්සේ යන අයුරක් දැක්වූ සේක. ඒගොපල්ලා පසේ බුදුන්ට පසුගන්කොට නැවතුණේය. බලුපැටවා පසේබුදුන්වහන්සේ වෙනතක යනබව දැන බලවත් සෙනහසින් උපන් දැඩි සොවින් හදපැළීමට පත්ව මියගොස් තව්තිසා දෙව්ලොව උපන්නේය. පසේබුදුන් සමඟ යන කල්හි උස් හඬින් රුදුරු මෘගයන් පළවාහළ බැවින් දෙවියන් සමඟ කථා කරන්නාවූ ඔහුගේ හඬ සියලු දෙවිපුරය වසාසිටියේය. හෙතෙම එයින්ම නමක්ලැබ ඝොෂක දෙවිපුත් නම් වූයේය. ඉක්බිති ඔහු ඒ සැපත් අනුභව කරන කල්හි මිනිස් පියෙහි කොසඹෑනුවර උදේන නම් රජතෙමේ රාජ්‍යය කළේය. ඔහුගේ කථාවස්තුව මජ්ක්‍ධිම පණ්ණාසකයෙහි බොධිරාජකුමාර සූත්‍රවර්‍ණනාවෙහි කියනලද ක්‍රමයෙන් දතයුතුය.