උපාසිකා පාළි වර්‍ණනාව
සුජාත සෙනානි
උපාසිකා පාළියෙහි පළමුවැන්නෙහි පඨමං සරණං ගච්ඡාන්තීනිං යන්නෙන් සියල්ලන්ට පළමුව සරණයෙහි පිහිටි උවැසියන් අතුරින් සුජාතා සේනානි දියණිය අග්‍රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසන්නී එක් උවැසියක පළමුව සරණ ගිය උවැසියන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා අපගේ භාග්‍යවතුන්වහන්සේගේ උපතින් පෙරාතුවම උරුවේලාවෙහි සෙනානි ගමෙහි සෙනානි කෙළෙඹියාගේ ගෙදර ඉපිද වියපත්වූවා ඒක නුගරුකක් වෙත, ‘ඉදින් සමජාතික කුලගෙයකට ගොස් පළමුගැබෙහි පුතෙකු ලබන්නෙම් නම් අවුරුදු පතා බිලියම් කරන්නෙමැ’යි පැතුමක් කළාය. ඇයගේ ඒ පැතුම ඉටුවිය.
ඕතොමෝ දුෂ්කර ක්‍රියා කරන්නාවූ බෝසතුන්ගේ සවැනි වසෙහි පිරිපුන් වෙසක් පොහෝ දිනයෙහි උදෑසනම බිලියම කරන්නෙමැයි රාත්‍රියෙහි අලුයම්හි නැඟිට දෙනුන් දෙවූවාය. වසුපැටව් දෙනුන්ගේ තනමුලට නොගියහ. තනපුඩුවලින්ද බඳුන ළංකළ කල්හි තම ස්වභාවයෙන්ම කිරිදහර වැටුනේය. ඒ අසිරිය දැක සුජාතා සියතින්ම කිරිගෙන අලුත් බඳුනක දමා සියතින්ම ගිනි අවුළුවා පිසීම අරඹුවාය. ඒ පායාසය පිසෙන විට මහත්මහත් බුබුළු නැඟී දකුණට කැරකී පවතියි. එක් බිඳකුදු පිටට නොයයි. මහබඹු සතක් (කුඩයක්) දැරුවේය. ලෝපල්ලෝ සතර දෙනා කඩුගත් අත් ඇත්තාහු රැකවල් ගත්තාහුය. සක්දෙව් තෙමේ ගිනිපෙනෙලි ගෙනෙමින් ගිනි දැල්වූයේය. දේවතාවෝ සතර දිවයිනෙහි ඕජස එකතු කොට ගෙනවුත් එහි බහාපීහ. සුජාතා තෙමෝ එක් දිනයකදීම මේ අසිරිය දැක පුණ්ණා දාසියට ‘දරුව පුණ්ණාවනි, අද අපගේ දේවතාවා බෙහෙවින් පැහැදී ඇත්තීය. අපවිසින් මෙපමණ කලෙක මෙවන් අසිරියක් නම් නුදුටුවිරූය. ඉක්මණින් ගොස් දේවස්ථානය පිළිදැඟුම් කරව’යි පැවසූවාය. ඕතොමෝ ‘මැනවි, ආර්‍ය්‍යාවනි’යි ඇයගේ වචනය පිළිගෙනවහවහා රුක්මුලට ගියාය.
බෝසත්තේමේද පිඬුපිණිස හැසිරෙන වේලාව බලාපොරොත්තු වෙමින් උදෑසනින්ම ගොස් රුක්මුලෙහි හුන්නේය. රුක්මුල පිරිසුදු කිරීම සඳහා ගිය පුණ්ණා අවුත්, ‘දේවතාවා රුක්මුලෙහි හුන්නා’යයි සුජාතාට සැළකළාය. සුජාතා තොමෝ, කෙල්ල, ඉදින් ඔබ ඇත්තක් කියහිනම් අදාසි (දාසියක් නොවන්නි) යකැයි පවසා සියලු අබරණින් සරසවා ලක්‍ෂයක් අගනා රන්තලියකට පායාසය වඩා වෙනත් රන්බඳුනකින් වසා සුදුවතින් වෙළා හාත්පසින් සුවඳ මල්දම් විසුරුවා ඔසවා ගෙන ගියා බෝසතුන් දැක බලවත් සතුට උපදවා දුටු තන්හි සිට නැමි නැමී ගොස් හිසින් තළිය බහ තබා විවර කොට බඳුන සමඟම පායාසය බෝසතුන්ගේ අතෙහි තබා වැඳ යම්සේ මගේ මනදොළ සපිරිණිද එසේ නුඹවහන්සේගේද (මනදොළ) සපිරේවායි පවසා නික්මුණාය. බෝසත්තෙමේ නෙරංජන නදී තෙරට ගොස් රන්තලිය තෙරෙහි තබා නහා ගොඩට අවුත් එකුන්පනසක් පිඬු කරමින් පායාසය වළඳා රන්තලිය නදියෙහි පාකොට පිළිවෙළින් බෝමැඬට නැඟ සර්‍වඥතාඥානයට පැමිණ සත්සතියක් බෝමැඩ ඉක්මවා ඉසිපතන මිගදායෙහි පවත්වනලද උතුම් දම්සක් ඇත්තේ සුජාතාගේ පුත්වූ යස කුලපුතුගේ හේතුසම්පත් දැක ගොස් එක්තරා රුකක් මුලක වැඩහුන්නේය.
යසකුලපුත්තෙම්ද රෑකාලය අතරතුර විවරවූ ස්ත්‍රීන්ගේ නිවාසාගාරය දැක හටගත් සංවේග ඇත්තේ ඒකාන්තයෙන්ම ‘උවදුරට පත්වීමකි, විපතට පත්වීමකි’යි පවසා නිවෙසින් නික්ම නුවරින් පිටත භාග්‍යවතුන් වෙත ගොස් දම්දෙසුම අසා තුන්මඟපල පසක් කළේය. ඉක්බිති ඔහුගේ පියා පියවර අනුව අවුත් භාග්‍යවතුන් වෙත එළඹ යසගේ පුවත් විමසීය. ශාස්තෘන්වහන්සේ යස කුලපුතු සඟවා දහම් දෙසූසේක. දෙසුම කෙළවර සිටුගැහැවි තෙමේ සෝවාන් පෙලෙහි පිහිටියේය. යස රහත්පලයට පැමිණියේය. භාගයවතුන්වහන්සේ ඔහුට ‘එව මහණැ’යි පැවසූ සේක. එකෙණෙහිම ඔහුගේ ගිහි ලක්‍ෂණ අතුරුදහන්විය. සෘද්ධිමය පාත්‍රසිවුරු දරන්නේ මහතෙර කෙනෙකු මෙන් විය. ඔහුගේ පියාද ශාස්තෘන්වහන්සේ (දානය සඳහා) නිමන්ත්‍රණය කළේය. ශාස්තෘන්වහන්සේ යස කුලපුතු කැටුවයන මහණකොට ඔහුගේ ගෙට ගොස් කරනලද බත්කිස ඇතිසේක් දහම් දෙසූසේක. දෙසුම කෙළවර යසගේ මව සුජාතාද පැරණි බිරියද සෝවාන් පෙළෙහි පිහිටියාහුය. එදවස මේ සුජාතා තොමෝ ලේලිය සමඟ තේවාචික සරණයෙහි පිහිටියේය. මේ මෙහි සංක්‍ෂේපයයි. විස්තර වශයෙන් මේ කථාවස්තුව ඛන්‍ධකයෙහි ආයේමය. ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි පිළිවෙළින් උවැසියන් තනතුරුවල පිහිටුවන සේක් මේ උවැසිය පළමුව සරණ යන්නියන් අතුරෙන් අගතැන්හි තැබූසේක.
විසාඛා මිගාරමාතා
දෙවැන්නෙහි දායිකානං යන්නෙන් දීමෙහි ඇලුම් ඇති උවැසියන් අතුරින් විශාඛා මිගාරමාතාව අග්‍රයයි දැක්වෙයි. ඕ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුල ගෙයක ඉපිද පසුකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසන්නී එක් උවැසියක දායිකාවන් අතුරින් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා කාශ්‍යප බුද්ධකාලයෙහි කිකී කාශි රජුගේ නිවසෙහි සොහොයුරියන් සත්දෙනාගෙන් සියල්ලනට කනිටුව උපන්නීය. එකල්හි :-
සමණී, සමණගුත්තා, භික්‍ඛුනී, භික්‍ඛුදායිකා, ධම්මා, සුධම්මා සහ සත්වැනිවූ සංඝදාසී යන
මේ සත් සොහොයුරියෝ වූවාහුය. ඔවුහු මෙකල්හි ඛෙමා, උපපලවණ්ණා, පටාචාරා, (ප්‍රජාපතී) ගොතමි, ධම්මදින්නා, මහාමහා සහ සත්වැනි වූ විසාඛා ද යන
මෙබඳු නම් ඇත්තියෝම උපන්නාහුය. එහි මේ සඞ්ඝදාසී තොමෝ එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි අඟුරට භද්දිය නගරයෙහි මෙණ්ඩක සිටුපුත් ධනඤ්ජය සිටුගේ අගමෙහෙසියවූ සුමනා නම් දේවියගේ කුසෙහි උපන්නාය. විශාඛායයි ඇයට නම් කළාහුය. ඇයට සත්අවුරුදු කල්හි භාග්‍යවතුන් වහන්සේ සෙල බමුණාගේද අනෙක් අවබෝධ කරවිය හැකි නෑදෑයන්ගේද හේතුසම්පත් දැක මහබික්සඟන විසින් පිරිවරන ලදසේක් චාරිකාවෙහි හැසිරෙමින් එරටෙහි ඒ නුවරට සැපැමිණිසේක.