එතදග්ග පාළිය
පළමුවෙනි වර්‍ගය
එතදග්ගපදවණ්ණනා
එතදග්ගසූත්‍රයන්හි ප්‍රථම වර්‍ගයෙහි පළමුවැන්නෙහි ‘එතදග්ගං’ යනු මේ ශ්‍රේෂ්ඨය යනුයි. මෙහිද මේ අග්ගශබ්දය ආදිය (ආරම්භය) කෙළවර, කොසට, ශ්‍රේෂ්ඨ යන අර්‍ත්‍ථයන්හි දක්නාලැබේ. ‘අජ්ජතග්ගෙ සම්ම දොවාරික ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨිනං’ යනාදියෙහි ආදියෙහි (ආරම්භයෙහි) දක්නාලැබෙයි. ‘තෙනෙව අඞ්ගුලග්ගෙන තං අඞ්ගුලග්ගං පරාමසෙය්‍ය,’ ‘උච්ඡග්ගං වෙළග්ගං’ යනාදියෙහි කොළවරෙහිය. ‘අනුජානාමි භික්‍ඛවෙ අම්භිලග්ගං වා මධුරග්ගං වා තිත්තකග්ගං වා විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා භාජෙතු’ යනාදියෙහි කොටසෙහිය. යාවතා භික්‍ඛවේ සත්තං අපදා වා -පෙ- තථාගතො තෙසං අග්ගමක්‍ඛායති’ යනාදියෙහි ශ්‍රේෂ්ඨාර්‍ත්‍ථයෙහිය. ඒ මේ අග්ග ශබ්දය මෙහි කෙළවරෙහිද ශ්‍රේෂ්ඨත්‍වයෙහිද වටී. ඒ තෙරවරු තමතමන්ගේ තැනෙහි කෙළවරට පත්වූවෝද ශ්‍රෙෂ්ඨවූවෝදැයි අග්‍රවෙති. එබැවින් එතදග්ගං යනු මේ කෙළවරය, මේ ශ්‍රේෂ්ඨය යන මෙය මෙහි අර්‍ත්‍ථයයි. සියලු සූත්‍රයන්හි මේ ක්‍රමයයි.
මේ එතදග්ග සන්නික්‍ඛෙපය (එතදග්ගය දෙශනාකිරීම) නම් කරුනු සතරකින් ලබයි. අර්‍ත්‍ථොත්පත්ති වශයෙන්, පැමිණීම් වශයෙන්, පුරුදුකිරීමේ බලවත් බැවින් හා ගුණමහත්වයෙන්ද යනුයි. එහි කිසියම් තෙරුන්වහන්සේ නමක් එක් කරුණකින් එතදග්‍රස්ථානය ලබති. කිසිවෙක් දෙකකින් කිසිවෙක් තුනකින් කිසිවෙක් ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේ මෙන් සියලු සතරින්ම අග්‍රස්ථානය ලබති. උන්වහන්සේ අර්‍ත්‍ථොත්පත්ති වශයෙන්ද මහ පැනවත් බැවින් එතදග්‍රස්ථානය ලැබූහ. ආගමනාදියෙන්ද ලැබූහ. කෙසේදයත්? එක් සමයෙක්හි ශාස්තෘන්වහන්සේ දෙව්රම් මහ වෙහෙරෙහි වසන සේක් ගණ්ඩම්බ වෘක්‍ෂ මූලයෙහි තීර්ථකමථනය කෙරෙන යමක ප්‍රාතිහාර්‍ය්‍යය දක්වා පෙරබුදුවරු යමාපෙළහරකොට කොහි වස්එළඹෙත්දැයි සිහිකරන්නේ තාවතිංසභවනයෙහියයි දැන පියවර දෙකක් දක්වා තෙවැනි පියවරින් තාවතිංසභවනයෙහි පෙනීසිටිසේක. සක්දෙවිරජතෙමේ භාග්‍යවතුන්වහන්සේ දැක පඬුපුල් සලස්නෙන් නැගිට දේව සමූහයා සමඟ පෙරගමන් කළේය. ‘සක් දෙවිරජතෙමේ දෙවිසමූහයා විසින් පිරිවරණලදුයේ සැට යොදුනක්වූ පඬුපුල්සලස්නෙහි හිඳ සැපවිදියි. බුදුන්වහන්සේ හුන්කල්හි පටන් අනෙකෙකු විසින් එහි අත තැබීමටවත් නොහැකි’යි දෙවිවරු සිතූහ. ශාස්තෘන්වහන්සේද එහි හිඳින්නේම ඔවුන්ගේ සිත්හසර දැන කුඩාපුටුවක මහාපංසුකූලිකයෙකු සේ සියලු පඬුපුල් සලස්නම වසාසිට වැඩහුන්සේක. මෙසේ වැඩහිඳිනසේක් තම සිරුර මහත්කොට මැවූසේකැයි හෝ පඬුපුල්සලස්න කුඩාකළසේකැයි හෝ නොසැලකියයුතුය. බුද්ධවිෂය අචින්ත්‍යය. මෙසේ වැඩහුන්නාහුවනාහි මව කායසාක්‍ෂ්‍යකොට දසදහසක් සක්වළ දෙවියන්ට ‘කුසලා ධම්මා අකුසලා ධම්මා අඛ්‍යාකතා ධම්මා’ යනුවෙන් අභිධර්‍ම පිටකය දේශනාකළසේක.
පෙළහැර පෑ තන්හිද දොළොස් යොදුනකවූ සියලු පිරිස අනුරුද්ධ තෙරුන්වෙත එළඹ ‘ස්වාමීනි, දශබලයන්වහන්සේ කොහි වැඩිසේක්දැ’යි පිළිවිසීය. ‘තව්තිසා භාවනයෙහි පඬුපුල්සලස්නෙහි වස් එළඹ අභිධර්‍මපිටකය දෙසීමට පටන්ගත්සේකැ’යි (තෙරුන්වහන්සේ පිළිතුරු දුන්හ.) ‘ස්වාමීනි, අපි ශාස්තෘන්වහන්සේ නොදැක නොයන්නෙමු. ශාස්තෘන්වහන්සේ කවදා ආපසු පැමිණෙත්දැයි බුදුන්වහන්සේ පැමිණෙන කාලය දන්නහුදැ’යි ඇසීය. ‘මහමුගලන්තෙරුනට භාර කරන්න. උන්වහන්සේ බුදුන් සමීපයට ගොස් හසුනක් (පණිවිඩයක්) ගෙන එන්නාහුය’යි කීහ. ‘කිමෙක්ද තෙරුන් වහන්සේට එහි යාමට බලයක් නැද්දැ’යි ඇසීය. ‘ඇත. (එහෙත්) වෙසෙස් හැකියාවක් ඇත්තවුන්ගේ වෙසෙස බලත්වා’යි කීහ. මහජනයා මුගලන්තෙරුන්වෙත එළඹ ශාස්තෘන්වහන්සේගේ හසුනක් ගෙන එනු පිණිස ඇයැදීය. තෙරුන්වහන්සේ මහජනයා බලා සිටියදීම මහපොළොවෙහි කිමිදී මහමෙර තුළින් ගොස් ශාස්තෘන්වහන්සේ වැඳ, ස්වාමීනි, මහජනයා නුඹවහන්සේ දකිනු කැමැත්තේ නුඹ වහන්සේ පැමිණෙන දිනය දැන ගැනීමට කැමැත්තේය’යි කීහ. එසේනම් මෙයින් තෙමසක අවෑමෙන් සංකස්ස නුවර දොරටුවෙහි බලවුයයි උන්වහන්සේට පැවසූසේක. තෙරුන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේගේ හසුන ගෙනවුත් මහජනයාට පැවසූහ. මහජනයා එහිම තෙමසක් කඳවුරු බැඳ විසීය. සුළු අනෙපිඬු තෙමේ දොළොස් යොදුනෙක්හිවූ පිරිසට තෙමසක් කැඳබත් දුන්නේය.
ශාස්තෘන්වහන්සේද සප්තප්‍රකරණයන් දෙසා මිනිස් ලොවට එනු පිණිස අදහස දැක්වූසේක. සක්දෙවිරජතෙමේ විස්කම් දෙවි අමතා තථාගතයන්වහන්සේට බැසීම සඳහා හිණිමඟක් මැවීමට ඇණවීය. හෙතෙම එක්පසෙකින් රන්මුවාවූද අනෙක් පසින් රිදීමුවාවූද හිණිමඟක් මවා මැදින් මිණිමුවා හිණිමඟක් මැවීය. ශාස්තෘන්වහන්සේ මිණිමුවා හිණෙහි සිට මහජනයා මා දකීවායි ඉටූසේක. තමාගේ ආනුභාවයෙන්ම මහජනයා අවීචිමහනිරය දකීවායිද ඉටුසේක. නිරය දැකීමෙන් මහජනයාට උපන්සංවේගය දැන දෙව්ලොව දැක්වූසේක. ඉක්බිති බසින්නාවූ උන්වහන්සේට මහබඹු සත දැරීය. සක්දෙවි රජතෙමේ පාසිවුරු ගත්තේය. සුයාම දෙව්රජතෙමේ දිව වල්විදුනා සෙලවීය. පන්සිළු ගදැඔ පුත්තෙමේ බෙලුවපණ්ඩුවෙණ සමපනස් තත්වලින් ගටා වයමින් ඉදිරියෙන් ඉදිරියෙන් බැස්සේය. බුදුරජානන්වහන්සේ පොළොවෙහි පිහිටි කල්හි ‘මම පළමුව වඳිමි, මම පළමුව වඳිමි’යි මහජනයා සිටියේය. මහපොළොව ඇක්මීමත් සමඟ භාග්‍යවතුන්වහන්සේට පළමුව වැඳීම මහජනයා හෝ අසූමහසව්වෝ අත්කරනොගත්හ. දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝම අත්කරගත්හ.
ඉක්බිති ශාස්තෘන්වහන්සේ දොළොස් යොදුනක්හිවූ පිරිස අතුරෙහි තෙරුන්වහන්සේගේ ප්‍රඥානුභාවය දැනගනිත්වායි පෘථග්ජන පංචක ප්‍රශ්න ඇසීම ඇරඹූසේක. පළමුව ලෞකික මහජනයා සලකාබලනු ඇතැයි පෘථග්ජන ප්‍රශ්නයක් ඇසූසේක. යමෙක් යමෙක් සලකා බැලුවාහුද ඔවුහු පිළිතුරු දුන්හ. දෙවනුව පෘථග්ජනවිෂය ඉක්මවා සෝවාන් මාර්‍ගයෙහි ප්‍රශ්නයක් විමසූසේක. පෘථග්ජනයෝ නිහඬවූහ. සෝවාන්වූවෝම පිළිතුරු දුන්හ. ඉක්බිති සෝවාන්වූවන්ගේ විෂයය ඉක්මවා සකෘදාගාමී මාර්‍ගයෙහි ප්‍රශ්නයක් ඇසූසේක. සෝවාන්වූවෝ නිහඬවූහ. සකෘදාගාමීවූවෝම පිළිතුරු දුන්හ. ඔවුන්ගේද විෂයය ඉක්මවා අනාගාමිමාර්‍ගයෙහි ප්‍රශ්නයක් ඇසූසේක. සකෘදාගාමිවූවෝ නිහඬවූහ. අනාගාමි වූවෝම පිළිතුරුදුන්හ. ඔවුන්ගේද විෂය ඉක්මවා අර්‍හත්මාර්‍ගයෙහි ප්‍රශ්නයක් ඇසූසේක. අනාගාමිවූවෝ නිහඬවූහ. රහත්වූවෝම පිළිතුරුදුන්හ. එයින් අවම කෙළවරේ සිට ප්‍රකට ප්‍රකට ශ්‍රාවකයන්ගෙන් ප්‍රශ්නවිමසූ සේක. ඔවුහු තමතමන්ගේ ප්‍රතිසම්භිදා විෂයෙහි සිට පිළිතුරු දුන්හ. ඉක්බිති මහමුගලන් තෙරුන් විමසූසේක. (එම) තෙරුන්වහන්සේම පිළිතුරු දුන්හ. උන්වහන්සේගේද ගෝචරය ඉක්මවා සැරියුත් තෙරුන්වහන්සේගේ විෂයයෙහි විමසූසේක. මහමුගලන් තෙරණුවෝ නිහඬවූහ. සැරියුත් තෙරණුවෝම පිළිතුරු දුන්හ. තෙරුන්වහන්සේගේද විෂය ඉක්මවා බුද්ධවිෂයයෙහි ප්‍රශ්නයක් ඇසූසේක. දම්සෙනෙවි සැරියුත්තෙරණුවෝ සිහි කරන්නාහුද (පිළිතුරු) දැකීමට අපොහොසත් වූහ. පෙරදිග, පෑළදිග, උතුරුදිග හා දකුණුදිග යන සතර දිසා සහ සතර අනුදිසාද යන ඔබිමොබ සලකා බලන්නාහු ප්‍රශ්නය උපන්තැන සලකා ගන්නට නොහැකිවූහ.