උත්තරා නන්දමාතා
පස්වැන්නෙහි ක්ධායීනං යන්නෙන් ධ්‍යානයෙහි ඇලුම් ඇති උවැසියන් අතුරින් උත්තරා නන්දමාතාව අග්‍රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසමින් එක් උවැසියක ධ්‍යානයෙහි ඇලුම් ඇත්තියන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්ප ලක්ෂයක් දෙව්මිනිසුන් අතර සැරසරා මේ බුද්ධොතපාදයෙහි රජගහනුවර සුමනසිටු ඇසුරුකොට වසන පුණ්ණසීහ නමැත්තාගේ බිරියගේ කුසෙහි පිළිසිඳ ගත්තාය. ඇයට උත්තරායි නම් කළාහුය.
ඉක්බිති එක් නැකත් උත්සව දිනයෙක රජගහ සිටුතුමා පුණ්ණ කැඳවා, ‘දරුව පුණ්ණ, නැකත හෝ පොහොය දිළින්දාට කුමක් කෙරෙයිද? මෙසේ ඇති කල්හිද නැකත් කෙළි වියදම් ගෙන නැකත් කෙළින්නෙහිද (නැතහොත්) බලවත් ගොනුන්ද නඟුල්තලය හා නඟුලද ගෙන සී සාන්නෙහිදැයි කියවයි කීය. ‘ආර්‍ය්‍යයෙනි, මගේ බිරිඳ සමඟ කථාකොට දනිමි’යි පවසා පුණ්ණ ඒ කථාව බිරියට සැළකළේය. ‘සිටුතුමා නම් ස්වාමියාය. අධිපතියාය. ඔබ සමඟ කථාකරන ඔහුට (මේ කථාව හොබියි. නුඹ වනාහි තමන්ගේ කෘෂිකර්මය අත් නොහරුව’යි බිරිඳ කීවාය. හෙතෙම ඇයගේ වචනය අසා කෘෂිභාණ්ඩ ගෙන සීසෑමට ගියේය.
ඒ දවසෙහි සැරියුත් තෙරුන්වහන්සේ නිරොධසමවතින් නැඟිට අද මාවිසින් කවරෙකුට සංග්‍රහ කරනු වටීදැයි සිහි කරන්නාහු මේ පුණ්ණගේ හේතුසම්පත් දැක පිඬු හැසිරෙන වේලෙහි පාසිවුරු රැගෙන පුණ්ණ සීසානා තැනට වඩිමින් නුදුරෙහි තමන් දැක්වූසේක. පුණ්ණ තෙමේ තෙරුන් දැක සීසෑම නවත්වා අවුත් පසඟ පිහිටුවීමෙන් වැන්දේය. තෙරණුවෝ ඔහු දෙස බලා වතුර ටිකක් ගැන විමසූහ. ආර්‍ය්‍යයන්වහන්සේ මුවසෝදනු රිසි වන්නාහුයයි ඔහුට අදහස් විය. එහෙයින් ඉක්මණින් ගොස් දැහැටු කැප කොට තෙරුන්ට දුන්නේය. තෙරුන් දැහැටු වළඳනා විට පාත්‍රය සමඟ පෙරහන රැගෙන ගොස් දිය පුරවා ගෙනාවේය. තෙරණුවෝ මුවසෝදා පිඬුහැසිරෙන වේලෙහි මගට පිළිපන්හ. තෙරණුවෝ නම් අන්දිනයන්හි මේ මඟට නොපැමිණෙති. අද වනාහි මට සංග්රහකරනු සඳහා පිළිපන්නෝ වන්නහුය. මගේ බිරිඳ මා සඳහා ගෙනෙන අහර තෙරුන්ගේ පාත්‍රයෙහි පිහිටන්නේ නම් ඉතා යෙහෙකැයි පුණ්ණ සිතුවේය.
ඉක්බිති ඔහුගේ බිරිඳ අද නැකත් දිනයයයි (සිතා) උදයෙන්ම තමන්ට ලැබෙන අයුරින් කෑයුතු පියයුතුදේ සකස්කොටගෙන සැමියා සීසාන තැනට එන්නී අතරමග තෙරුන් දැක, අන්දිනයන්හි තෙරුන් දැක මට දියයුත්තක් නොවෙයි. දියයුත්තක් ඇති කල්හිද මම ආර්‍ය්‍යයන්වහන්සේ නොදකිමි. අද වනාහි දෙකම එකට එක්විය. මගේ සැමියාට යළි සපයා, ගෙනෙන්නෙමි. මෙම ආහාරය තෙරුන්වහන්සේට දෙමැ’යි සිතුවාය. (එසේ සිතා) ත්‍රිවිධ චේතනාවන්ගෙන් යුක්තවූවක් කොට ඒ බොජුන සැරියුත්තෙරුන්ගේ පාත්‍රයෙහි පිහිටුවා මෙබඳුවූ දිළිඳු දිවියෙන් මිදෙමියි පැතුවාය. තෙරණුවෝත් ‘ඔබගේ අදහස සපිරේවා’යි ඇයට අනුමෙවෙනි කොට එතැනින් ආපසු හැරී විහාරයට වැඩියහ.
ඕතොමෝත් යළි තමන්ගේ ගෙට ගොස් සැමියාට ආහාර සපයා රැගෙන සීසානා තැනට ගොස් සැමියා කිපෙන බැවින් බියවූවා ‘ස්වාමීනි, අද එක් දිනක් පමඛත් ඔබගේ සිත දරාගත (ඉවසාපුව) මැනවැයි කීවාය. ‘කුමක් හෙයින්ද?’ (සැමියා ඇසීය) ‘මම අද ඔබගේ අහැ ගෙනෙන්නී අතරමගදී තෙරකෙනෙකු දැක ඔබගේ බත්කොටස තෙරුන්ගේ පාත්‍රයෙහි බහා යළි ගෙට ගොස් අහර පිස රැගෙන ආවෙමි’යි කීවාය. ‘සොඳුර, ඔබ විසින් මනාදෙයක් කරනලදී. මවිසින්ද උදයෙන්ම තෙරුන්ට දැහැටි හා මුවදෙව්නා දිය දෙන ලදී. අද අපට සුබඋදයකි. තෙරුන්වහන්සේට හැම දෙයක්ම අප අයත් දෙයම විය.’ යනුවෙන් දෙදෙනාටම එකසමාන සිතක් වූයේය. ඉක්බිති පුණ්ණතෙමේ අහර කිස කොට බිරියගේ ඇකයෙහි හිස තබා මොහොතක් හොත්තේය. ඉක්බිති ඔහුට නින්ද එළඹියේය. හෙතෙම මදක් නිදා පිබිදියේ සීසෑ තැන බැලීය. බැලූ බැලූතැන මහවැටකොළු මලින් ගැවසුණක්මෙන්වූයේය. හෙතෙම බිරියට, සොඳුර, මේ නම් කිමෙක්ද? අද මගේ සීසෑතැන රන්වන්වී හැඟෙයි’යි කීවේය. ‘ආර්‍ය්‍යයෙනි, අද මුලුදවස ඔබ වෙහෙසුණු බැවින් ඇස් කැරකේයයි සිතමියි ඕ කීවාය. ‘සොඳු, මගේ (කීම) නොඅදහන්නී නම් තෙමේ (ඔබ) බලවයි හෙතෙම කීවේය. එකල්හි ඕ බලා, ‘ආර්‍ය්‍යයෙනි, ඔබ ස්වභාවය (පවත්නා සැටිය) කීවෙහිය. එය එසේම වන්නේය’යි (පිළිතුරු දුන්නාය)
පුණ්ණ නැඟිට එක් කැටයක් ගෙන නඟුලිසෙහි ගැසීය. යකඩ පිඩක් මෙන් එය නඟුලිසෙහි ගැටී සිටියේය. හෙතෙම බිරිඳ කැඳවා ‘සොඳුර, අන්අයගේ වපුළ කල්හි බිජුවට තුන් මසකින් හෝ සිවුමසකින් පලදෙයි. අපගේ වනාහි ආර්‍ය්‍යවූ සැරියුත් තෙරුන්වහන්සේ අතරෙහි සිටවූ සැදැහැබිජුවටින් අදම ඒකාන්තයෙන් පලදෙනලදී. මේ කිරියක් පමණවූ පෙදෙසෙහි නෙල්ලිගෙඩියක් පමණ වූද පස්පිඩක් නොරන්ව නම් නැතැ’යි කීවේය., ‘ආර්‍ය්‍යයෙනි, දැන් කුමක් කරමුද? (බිරිඳ ඇසුවාය) ‘සොඳුර, මෙපමණක් මේ රන් සොරකම් කොට කෑමට නොහැකි’යි (පවසා) බිරිඳ එතැන්හි තබා බත්පුරවා ගෙනෙනලද බඳුන රනින් පුරවා ගෙන ගොස්, ‘එක් මිනිසෙක් රන් බඳුනක් ගෙන සිටියේය’යි රජුට සැළකරවූයේය. රජතෙමේ ඔහු කැඳවා, ‘දරුව ඔබ විසින් කොයින් ලබන ලදදැ’යි ඇසීය. දේවයන්වහන්නසට, මගේ එක් සෘසෑ තැනක් සියල්ල රන්ම වීය. (සේවකයන්) යවා ගෙන්වා ගනු මැනවැයි හෙතෙම කීය. ‘දරුව, නුඹ කවරෙක්නම් වූයේහිද? ‘දේවයිනි, මම පුණ්ණ නමි’යි (හෙතෙම පිළිතුරු දුන්නේය). ‘කොල යවු, ගැල්යොදා පුණ්ණගේ සීසෑ තැනින් රන් ගෙනෙව’යි (රජතෙමේ සේවකයන්ට අණ කළේය).