විසාඛා මිගාරමාතා
දෙවැන්නෙහි දායිකානං යන්නෙන් දීමෙහි ඇලුම් ඇති උවැසියන් අතුරින් විශාඛා මිගාරමාතාව අග්රයයි දැක්වෙයි. ඕ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුල ගෙයක ඉපිද පසුකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසන්නී එක් උවැසියක දායිකාවන් අතුරින් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා කාශ්යප බුද්ධකාලයෙහි කිකී කාශි රජුගේ නිවසෙහි සොහොයුරියන් සත්දෙනාගෙන් සියල්ලනට කනිටුව උපන්නීය. එකල්හි :-
සමණී, සමණගුත්තා, භික්ඛුනී, භික්ඛුදායිකා, ධම්මා, සුධම්මා සහ සත්වැනිවූ සංඝදාසී යන
මේ සත් සොහොයුරියෝ වූවාහුය. ඔවුහු මෙකල්හි ඛෙමා, උපපලවණ්ණා, පටාචාරා, (ප්රජාපතී) ගොතමි, ධම්මදින්නා, මහාමහා සහ සත්වැනි වූ විසාඛා ද යන
මෙබඳු නම් ඇත්තියෝම උපන්නාහුය. එහි මේ සඞ්ඝදාසී තොමෝ එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි අඟුරට භද්දිය නගරයෙහි මෙණ්ඩක සිටුපුත් ධනඤ්ජය සිටුගේ අගමෙහෙසියවූ සුමනා නම් දේවියගේ කුසෙහි උපන්නාය. විශාඛායයි ඇයට නම් කළාහුය. ඇයට සත්අවුරුදු කල්හි භාග්යවතුන් වහන්සේ සෙල බමුණාගේද අනෙක් අවබෝධ කරවිය හැකි නෑදෑයන්ගේද හේතුසම්පත් දැක මහබික්සඟන විසින් පිරිවරන ලදසේක් චාරිකාවෙහි හැසිරෙමින් එරටෙහි ඒ නුවරට සැපැමිණිසේක.
එසමයෙහි මෙණ්ඩක ගෘහපති තෙමේ ඒ නුවරෙහි මහ පින්වතුන් පස්දෙනා අතුරින් ජ්යෙෂ්ඨයාවී සිටුතනතුර කරයි. පස් පිනැත්තෝ නම් මෙණ්ඩක සිටු, චන්දපදුමා නම් වූ ඔහුගේම අගමෙහෙසිය, ඔහුගේම පුත් ධනඤ්ජය ඔහුගේ බිරියවූ සුමනාදේවි සහ මෙණ්ඩක සිටාණන්ගේ පුණ්ණ නම්වූ දාසයාද යන අයයි. හුදෙක් මෙණ්ඩක සිටුපමණක් නොව බිම්සර රජුගේ අණ පවතින තන්හි අමිතභොගී නම්වූ පස්දෙනෙක් වූහ. ජොතිය, ජටිල, මෙණ්ඩක, පුණ්ණක හා කාකවලිය යනුවෙනි. ඔවුනතුරින් මේ මෙණ්ඩක සිටුතෙමේ තම නුවරට භාග්යවතුන්වහන්සේ සැපත්බව අසා පුත් ධනඤ්ජය සිටුගේ දූ විශාඛාදැරිය කැඳවා, දුව, නුඹටද මඟුලකි, අපටද මඟුලකි. ඔබගේ පරිචාරිකා දැරියන් පන්සියය සමඟින් රිය පන්සියයක නැඟී දැස්සන් පන්සියයක් විසින් පිරිවරනා ලදුව භාග්යවතුන්වහන්සේට පෙරගමන් කරව’යි කීවේය. ඕතොමෝ සීයාගේ වචනය අසා එසේ කළාය. කාරණාකාරණයන්හි දක්ෂතාව ඇති බැවින් යානයෙන් යායුතු දුර යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් ඇත්තීව භාග්යවතුන්වහන්සේ වෙත එළඹ එකත්පසෙක සිටියාය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඇයට චරිත වශයෙන් දහම්දෙසූසේක. ඒ දෙසුම අවසන්හි සෝවාන් පෙලෙහි පිහිටා හෙට දිනය සඳහා ශාස්තෘන්හන්සේට නිමන්ත්රණයකොට දෙවැනි දිනයෙහි තම නිවසෙහි ප්රණීතවූ කෑයුතු හා බිදියයුතු දෙයින් බුදුපාමොක් බික්සඟන වළඳවා මේ ක්රමයෙන්ම අඩමසක් මහදන් දුන්නාය. ශාස්තෘන්වහන්සේ භද්දිය නුවරෙහි කැමැතිපරිද්දෙන් වැස වැඩිසේක.
මෙයින් මතු අනෙක් කථාමාර්ග අතහැර විහාඛාවගේ උත්පත්ති කථාවම කිවයුතුය. සැවතෙහි කොසොල් රජතෙමේ, ‘මගේ අණ පවතින තන්හි අමිතභොග වින්දන (අපමණ සම්පත්විදින) කුලයක් නම් නැත. අපට එක් අමිතභොගවින්දන කුලයක් එවනු මැනවැ’යි බිම්සර රජු වෙතට හසුන් යැවීය. රජතෙමේ ඇමතිවරුන් සමඟ සාකච්ඡා කළේය. ඇමතියෝ මහාකුලයක් යැවීමට නොහැකිය. එක් සිටු පුතෙකු යවන්නෙමුයි (කතිකා කොට) මෙණ්ඩක සිටුගේ පුත් ධනඤ්ජය සිටාණන්ට සැළකළාහුය. රජතෙමේ ඔවුන්ගේ වචනය අසා ඒ සිටුවරයා යැවීය. ඉක්බිති කොසොල් රජතෙමේ ඔහුට සැවතින් සත්යොදුන් පමණවූ සාකෙත නගරයෙහි සිටු තනතුරදී වාසය කරවූයේය.