යමෙක් දෙත්ද ඔවුනටම දියයුතුයයි යන්නෙන් යමක් කියන ලදද එය ඉල්වාගත් උපකරණ ගෙන යමෙක් ආපසු දෙත්ද ඔවුනටම දියයුතුය යන්න සඳහා කියනලදී.
‘යමෙක් නොදෙත්දැ’යි මෙයද ඉල්ලාගත් දෙය ගෙන ආපසු නොදෙත්ද ඔවුනට නොදිය යුතුය. යන්න සඳහා කියන ලදී.
දෙන්නහුටද නොදෙන්නහුටද දියයුතුය යන මෙය දිළිඳු නෑමිතුරන් පැමිණි කල්හි නැවත දීමට හැකි වෙත්වා හෝ නොවෙත්වා දීමටම වටීය යන්න සඳහා කියනලදී.
සුවසේ හිඳිහ යුතුය යන මෙයද නැදිමයිලන් දැක නැඟිටිය යුතු තන්හි හිඳීමට නොවටීය යන්න සඳහා කියනලදී.
සුවසේ වැළදිය යුතුය යන මෙය නැදිමයිල් සැමියන්ට පෙරාතුවම නොවළඳා ඔවුන් වළඳවා සියල්ලන් විසින් ලද නොලද දේ දැන පසුව තෙමේ වැළදීමම වටීය යන්න සඳහා කියනලදී.
සුවසේ හොවියයුතුය. යන මෙයද නැදිමයිල් සැමියන්ට පෙරාතුවම සයනයට නැඟ නොනිදිය යුතුය. ඔවුන්ට කළයුතු වත් පිළිවෙත්කොට පසුව තෙමේ නිදීමට යුතුය. යන මෙය සඳහා කියනලදී.
ගිනිපිදිය යුතුය. යන මෙය නැන්දනියද මයිලනුවන්ද සැමියාද ගිනි කඳක් මෙන්ද නාරජුන් මෙන්ද කොට දැකීමට වටීය යන්න සඳහා කියනලදී’
ඒවා එපමණ ගුණයෝ වෙත්වා? මැයගේ පියා ඇතුළත දෙවියන් නමඳවයි කීවේය. මෙහි කවර අර්‍ත්‍ථයක්දැයි (සිටුතුමා ඇසීය.) දියණිය එසේදැයි ඔවුහු අසූහ. ‘එසේය, පියවරුනි, එය ද මගේ පියා විසින් ‘දරුව ආවේණික ගෙහි වසන කාලයෙහි පටන් අපගේ ගෙදොරට පැමුණුණු පැවිද්දකු දැක ගෙහි යම් කෑයුත්තක් බිදිය යුත්තක් ඇත්ද? එයින් පැවිද්දන්ට දී කෑමටම වටීය යන මෙකරුණ සඳහා කියන ලදියි විශාඛා කීවාය. ඉක්බිති ඔවුහු සිටාණන්ට ‘මහසිටාණ, නුඹ වනාහි පැවිද්දන් දැක නොදීමට කැමත්තේ වනැයි හැඟෙයියයි කීහ. හෙතෙම අන් පිළිවදනක් නොදක්නේ අධොමුඛව හුන්නේය.
ඉක්බිති කෙළෙඹියෝ ඔහුට ‘කිමෙක්ද සිටාණෙනි, අපගේ දියණියගේ අන් දොසකුත් ඇත්දැයි ඇසුවාහුය. ‘ආර්‍ය්‍යයනි නැතැ’යි කීවේය. ‘කුමක් හෙයින් නිදොස් මැය නිකරුණේ පිටමං කළෙහිදැ’යි ඔවුහු ඇසූහ. එකෙණෙහි විශාඛා තොමෝ ‘පළමුව මගේ මයිලණුවන්ගේ වචනයෙන් මගේ යාම නොසුදුසුය. මා එන දිනයෙහි මගේ දොස්නිදොස් පිරිසිදු කිරීම සඳහා මගේ පියා නුඹලාගේ අතෙහි තබා දුන්නේය. දැන් මගේ යාම මැනවැයි පවසා දැසිදසුන් යානාදිය පිළියෙළ කරවුයයි අණ කළාය. ඉක්බිති සිටුතෙමේ ඒ කෙළෙඹියන් අත ගෙන ඇයට, ‘දියණිය, මා විසින් නොදැන කියන ලද්දට මට ක්‍ෂාමා කරන්නැ’යි කීවේය. ‘පියාණෙනි ක්‍ෂමා කරමි. ඔබගේ ක්‍ෂමා කළයුත්තට ක්‍ෂමා කරමි. මම වනාහි බුදුසසුනෙහි නොසැලෙන පැහැදීම් ඇති කුලයක දියණියක්මි. අපි බික්සඟනගෙන් තොරව නොපවතිමු. ඉදින් මගේ කැමැත්තෙන් බික්සඟන පිළිදැඟුම් කිරීමට ලබන්නෙම් නම් වසමියි විශාඛා කීවාය. ‘දරුව, නුඹ කැමති පරිද්දෙන් නුඹේ මහණුන් පිළිදැඟුම් කරව’යි (සිටුතෙමේ කීවේය).