කාළි කුරරඝරිකා
දසවැන්නෙහි අනුස්සවප්පසන්නානං යන්නේන් ඇසීමෙන් උපන් පැහැදීමෙන් යුත් උවැසියන් අතුරින් කාළි කුරරඝරිකා උවැසිය අග්‍රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නා ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසමින් එක් උවැසිය ඇසීමෙන් පැහැදුනවුන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්පලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි රජගහ නුවර කුලගෙයක උපන්නාය. ඇයට කාළීයයි නම් කළාහුය.
වියපත්වූ ඕ කුරරඝර නුවරෙහි කුලගෙයකට ගියාය. ඉක්බිති ඇයට සංවාසයෙන් ගැබක් පිහිටියේය. පිරිපුන් ගැබ ඇත්තී අනුන්නගේ ගෙයක දරුවකු බිහිකිරීමට නම් නුසුදුසුයයි (සිතා) තමන්ගේ කුලනගරයටම අවුත් රාත්‍රිකාලයෙහි තමන්ගේ පහය මත්තෙහි අහසෙහි සිට රත්නත්‍රය වර්‍ණනාව කරන්නා වූ සාතාගිරහේමවත දෙදෙනාගේ කථාව අසා ඇසීමෙන් පැහැදීම ඇතිකොට ගෙන ශාස්තෘන්වහන්සේ නොදැකීමෙන්ම සෝවාන් පෙලෙහි පිහිටියාය. මෑත කාලයෙහි ඇයගේ දරුඋපත විය. සියලු කථාවස්තුව යට විස්තර කරන ලද්දේමය. මෑතකාලයෙහි ශාසතෘන්වහන්සේ දෙව්රම්හි බික්සඟන මැද වැඩහුන්සේක් උවැසියන් තනතුරුවල තබමින් මේ උවැසිය ඇසීමෙන් පැහැදුනවුන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.
උපාසිකා පාළිවර්‍ණනාව නිමියේයි.
මෙපමණකින් මනොරථපූරණි අංගුත්තරනිකායට්ඨකථාවෙහි සියලුම එතදග්ග පාළිවර්‍ණනාව නිමියේයි.